ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න දගලන උඩකන්ද ගැමියන්ගේ කතාව…..

722

රා හදන එක අපිට ලාභයි…

ඉස්සර ගහේ තිබුණු තෙලිජ්ජ මුට්ටිත් බාගෙන ගිහින් නඩු දැම්මා…


සීත සළු ඉරී මීදුම බේරෙමින් තිබේ. තුරු පත්, වන වදුළු පමණක් නොව මහ පොළොව ද තෙත බරිත වී තිබේ. සමනළ කඳු මස්තකයේ සිට පහළට රූටන චණ්ඩ සීතල දැඩිව අපව වැළඳගෙන සිටී. ඉඳිකටුවලින් අනිනවා සේ සීතල ගතට දැනේ. එහෙත් කලිසම් කොටයකින් නිරුවත වසාගත් වියපත් මිනිසෙක් කිතුලක මුදුනේ සිටිනවා දකින විට මගේ ගත හිරි වැටුණේ පුදුමයෙනි. සීත ගත දෑතින් බදාගෙන කිතුල කපන වියපත් මිනිසා දෙස වික්‍ෂිප්තව බලා සිටින අප දෙසට හැරුණු ගමන් සගයා සිනා සීය.

ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න දගලන උඩකන්ද ගැමියන්ගේ කතාව.....

‘මේ සීතල අපිට හුරුයි මහත්තයො… දුව, පැන ඇවිදින කාලේ ඉඳලා ඔට්ටු සෙල්ලම් කළේ මේ සිරිපාද අඩවියේ. අපේ අත්ත, මුත්තගේ කාලේ ඉඳලා මේ කැලේ කිතුල් මදිනවා. අපිත් දැන් ඒ රස්සාවම කරනවා. කාටත් ණයත් නෑ. බයත් නෑ. තෙලිජ්ජ බේරෙන තරමට අපේ ජීවිත සරුයි…’

ඔහු දසුන් සංජීවය. වයස අවුරුදු විසිහතකි. එක්දරු පියකු වුවද හේ කුරුල්ලෙක් මෙන් නිදහසේ දිවිගෙවන බව කියන විට බුලත් කසටය බැඳුණු දත් විලිස්සිණි.

‘‘මම ඉස්කෝලෙ ගියේ සාමාන්‍ය පෙළට විතරයි. නවය, දහය පන්තිවල ඉගෙනගන්න කාලේ ඉඳලා කිතුල් මල් මැද්දා. දැන් මම මේ කර්මාන්තය අග්ගිස්සටම දන්නවා. දවසකට මල් පහක් විතර මදිනවා. මාසෙකට හොඳ ආදායමක් හොයනවා…’’ දසුන්ගේ උණුසුම් වචන සීතලට මුසු වන විට කිතුලේ සිටි වියපත් මිනිසා තෙලිජ්ජ මුට්ටියක් රැුගෙන අප අසල පෙනී සිටියේය. හේ ලියනාරත්නය. වයස අවුරුදු හැත්තෑ තුනකි. දීග ගිය ඔහුගේ දරුවන්ටත් ලොකු ළමයි සිටින සෙනෙහෙබර සීයා කෙනෙකි. එහෙත් වීර්යවන්ත වචනවලින් මෙන්ම, පෙනුමෙන් ඒ ශක්තිවන්ත මිනිසාට වයස අවුරුදු හැත්තෑ තුනක් නොපෙනෙන තරම්ය. තෙලිජ්ජ ටිකක් බොන්න පුළුවන්ද? කතාවට සම්බන්ධ කරගැනීමේ අටියෙන් මම ඔහුගෙන් විමසුවෙමි.

ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න දගලන උඩකන්ද ගැමියන්ගේ කතාව.....


‘‘තෙලිජ්ජ මොකෝ… ඇබිත්තක් ඉන්න. රා ටිකක්ම බොමු…’’ වචන එක්ක මුව තුළ ඇඹරෙන බුලත් කසටත් අප දෙසට විසිරිණි.

අප මේ සිටිනුයේ බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වලේබොඩ ග‍්‍රාම සේවා වසමේ මායිමේ සිරි පා අඩවියේය. ගල් පිට පෙරළෙමින්, දිය බුන් නඟමින්, නිල් කැටයට සුදිළෙමින් පහළින් ගලා බසිනුයේ වලවේ ගඟය. සිරි පා කඳු මුදුනේ ඉපිද, හම්බන්තොටින් මුහුදට දිය වී යන වලවේ ගඟ ප‍්‍රථමයෙන් ගම්මානයක් හරහා ගලා බසිනුයේ වලේබොඩ ග‍්‍රාම සේවා කොට්ඨාසය මායිමෙන්ය. දැන් අප සිටිනුයේ ඊට ඉහළින් මහා කැලෑව මැදය. ගල් ගෙඩි මතින් පනිමින් වලවේ ගඟ තරණය කරමින්, මහ කැලෑවට බඩ ගෑම අසීරුය. එහෙත් හිමිදිරි පාන්දර, සීත සළු ඉරාගෙන සිරිපා අඩවියේ ඇවිදීමට ලැබීම වාසනාවකි.

ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න දගලන උඩකන්ද ගැමියන්ගේ කතාව.....

සිරි පා අඩවියටත් රාවනා කඳු පන්තියටත් මැදිව කඳු වළලූවලින් වට වූ වලේබොඩ නිම්නයක පිහිටි අති සුන්දර ගම්මානයකි. බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර් විසිදෙකක් පමණ ඈතින් පිහිටි එගම්වාසීන් බහුතරයකගේ ප‍්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ තේ සහ කිතුල් කර්මාන්තයයි. කෝල්කැටිය, එගොඩගොඩ ගම්වල ජීවත්වන සියලූම පවුල් කිතුල් මල් මැදීම ප‍්‍රධාන ආදායම් මාර්ගය කරගෙන සිටින බවත් ලියනාරත්න අපට කීවේය.

‘‘කිතුල් මදින්න හැතැක්ම දෙක, තුන බඩ ගානවා. තනිකර කඳු. සමහර කඳු රිටි වගේ. තැනිතලාවක් තිබුණොත් ඒ කුඹුරක් විතරයි. අද මම ගෙදරින් ආවේ පාන්දර හයට. මල් ටික මැදගෙන ගෙදරට යනකොට නවය, දහය වෙනවා. ඒ ගිහිල්ලා ළිප් මොලවලා, තෙලිජ්ජ උණු කර, පෙන ඉවත් කරලා ගන්නකොට වරුවක් විතර ගත වෙලා. දවාලට කාලා අහවර වෙනකොට හවස මල කපන වෙලාව හරි. හවස මල් ටික කපාගෙන එනකොට බිම කළුවරයි. ඒ විදිහට තමයි අපේ දවස ගෙවිලා යන්නෙ…’’ වන මැද දිවි ගෙවෙන ලියනාරත්නලාගේ ජීවිත දියවෙන හැටි එසේ වචන කළේය.

ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න දගලන උඩකන්ද ගැමියන්ගේ කතාව.....



‘‘කිතුල් මල් මදින්න පටන් ගන්නකොට මට අවුරුදු දාහතක් විතර ඇති. එදා ඉඳලා මේ කර්මාන්තය කරගෙන යනවා. ගෙවල් දොරවල් හදාගෙන, දරු මල්ලො දීග ¥න්නෙත් පැණි, හකුරවලින් ලැබුණු ආදායමෙන් තමයි. මල් හතරක්, පහක් මැදගත්තොත් මාසෙකට රුපියල් ලක්‍ෂයකට ආසන්න ආදායමක් උපයාගන්න බැරිකමක් නෑ. මම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ දෙක වසරට විතරයි. ඒත් අද මම යුතුකම් ඉටු කළ පියෙක් විදිහට සතුටින් ඉන්නෙ මේ කර්මාන්තයේ පිහිටෙන් තමයි…’’ හේ, ඒ වචන ටික කීවේ නම් මහත් ආඩම්බරයකින් බව සිනාව පැතිරුණු මුහුණින් අපි දුටිමු.

කඳු මුදුන් අතරින් එබිකම් කරන හිරුගේ රශ්මිය හීනියට ගතට දැණිනි. සූර්ය ආලෝකයත් සමඟ විකසිත වන නිල් වන් තුරු වදුළු අතරින් ඇසෙන කුරුලූ නාදය, වළවේ ගෙඟ් දිය පෙරළෙන හඬ දෙසවනට සුමිහිරි සංගීතයක් වැනිය. වන වඳුළු පෙරළාගෙන සතුන් දුව, පණින හඬ ඇසුණාට නානාප‍්‍රකාර කුරුල්ලන් විනා සිව් පා සතෙක් නම් ඇස නොගැටුණේය. තෙලිජ්ජ පිර වූ බැරල් දෙකක් කර තියාගත් ලියනාරත්න ඉස්සර විය. මා හා මගේ මිත‍්‍රයා මැදි කරගෙන දසුන් පිටු පසින් ගමන් කළේය. ගල් උඩින් පනිමින් වලවේ ගෙඟන් එගොඩ වී තේ වතු මැදින් ගම් මැද්දාවට පැමිණි අපි වලේබොඩ, උඩකන්ද ගමේ නිවසක් ඉදිරිපිට මිදුලක නතර වීමු. අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි තවත් කිතුල් කර්මාන්තකරුවන් කිහිපදෙනෙක්ම ඒ නිවස ඉදිරිපිටට පැමිණ සිටීහ. ඒ සියලූදෙනා මැදි කොටගෙන කිතුලේ කතාව නැවත ආරම්භ කිරීමට මම මෙසේ පැනයක් යොමු කළෙමි. ‘‘මේ රජය කිතුල් කර්මාන්තකරුවන්ට ගොඩක් සහන දීලා තියෙනවා. රා නිෂ්පාදනයටත් අවසර දීලා තියෙනවා…’’ මට පැනය අවසාන කිරීමට ඉඩක් නොලැබිණි. කිතුල් කර්මාන්තකරුවන්ගේ පොදු හඬ එකවර උස් විය.

‘‘රා හදන එක අපිට ලාබයි…’’

ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න දගලන උඩකන්ද ගැමියන්ගේ කතාව.....

රා හැදීමේදී අපිට මහන්සි වෙන්න තියෙන්නේ මල් කපන්න විතරයි. ගහෙන් බාලා හරි ගහේදී හරි තෙලිජ්ජට රා මණ්ඩි ටිකක් දාලා තිබ්බා නම් දවසක් යනකොට රා හැදෙනවා. රා බෝතලයක් විකුණන්නේ රුපියල් එකසීය පනහයි, දෙසීයයි. පැණි බෝතලයක් හදන්න තෙලිජ්ජ බෝතල් හත, අටක් යනවා. පැණි උණු කරන්න දර යනවා. පැණි ටික උණු වෙනකම් කවුරුහරි ළිප ගාව ඉඳගෙන හැදිගාන්න ඕනෑ. තෙලිජ්ජ බෝතල් පහළොවක්, විස්සක් ළිපේ තිබ්බොත් පදමට පැණි ටික

හදාගන්න අඩුම තරමේ පැය හතරක්වත් යනවා. ගින්දර කාලා උණු කරගන්න පැණි බෝතලයක් අපිට දෙන්න පුළුවන් උපරිම මිල රුපියල් අටසීයයි. හකුරු කිලෝ එකක් හදන්න පැණි බෝතල් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් යනවා. පැණි උණු කරනවට වඩා, හකුරු හදන්න තවත් පැය එකහමාරක් දෙකක් ගින්දර කන්න ඕනෑ. ඒත් හකුරු කිලෝ එකක් දෙන්න පුළුවන් උපරිම මිල රුපියල් නවසියයි. ඒ මිලට දෙන්න පුළුවන් අපි නගරයට අරගෙන ගිහින් කන්තෝරුවල මිස්ලා, සර්ලට දුන්නොත් විතරයි. ගමේ පැණි, හකුරු එකතු කරන අයට දුන්නොත් ඉතිරි වෙන්නේ මහන්සියයි, දුකයි විතරයි. ඒ නිසා කිතුල් මල් මදින හැමෝම බලන්නෙ රා හදන්න. ගහෙන් බාපු හැටියේ සල්ලි වෙනවා…’’ වලේබොඩ උඩකන්දේ දී පමණක් නොව කලවාන ප‍්‍රදේශයේ සිංහරාජ රක්‍ෂිතයට මායිම් වූ ගම්මානවල ජීවත්වන කිතුල් කර්මාන්තකරුවන් මෙන්ම බදුරලිය, කළුගල, ගාල්ල දෙණියායේ ප‍්‍රදේශවල ජීවත්වන කිතුල් කර්මාන්තරුවන් ද අපට කීවේ පැණි, හකුරු හදනවට වඩා රා විකිණීමෙන් වැඩි ලාභයක් ලැබෙන බවය. එහෙත් දැන් කිතුල් මදින්නන් රා හැදීමට විශේෂ උනන්දුවක් දක්වන නිසා රා මිලත් කුණුකොල්ලයට වැටී ඇති බව බදුරලිය, මොරපිටිය ප‍්‍රදේශයේ කිතුල් මදින්නෙක් අපට කීවේය.

‘‘ඉස්සර නම් සුරාබදු නිලධාරීන්, පරිසර පොලිසියේ අය ගහේ තිබුණු තෙලිජ්ජ මුට්ටියත් බාගෙන ගිහින් රා කියලා නඩු දැම්මා. රා හදනවා නම් අනිවාර්යෙන්ම මාසයකට නඩුවක් දෙන්න වුණා. රා නිෂ්පාදනයට අවසර දීමත් සමඟ ඒ බාධක නම් නෑ. නිදහසේ කර්මාන්තය කරගෙන යෑමට අවස්ථාව ලබා දුන්නාට ජනාධිපතිතුමාට පින් දෙනවා. දැන් ඉස්සරට වඩා පැණි, හකුරුවලටත් හොඳ ඉල්ලූමක් තියෙනවා. ටවුමේ කන්තෝරුවලට අරගෙන ගියොත් පැණි බෝතලයක් රුපියල් දහට, හකුරු කිලෝව එක්දාහස් එකසියට විතර දෙන්න පුළුවන්. මම නම් තොග දෙන්නෙ නෑ. රස්සගල, බලංගොඩ ඉස්පිරිතාලේ මිස්ලට, වෙනත් කන්තෝරුවල මිස්ල, සර්ලට ගිහින් දෙනවා. ඒ කන්තෝරුවල අයට අපිව දැක්කම හරි සතුටුයි. ඒ අපේ පැණි, හකුරුවල තියෙන කොලිටිය නිසයි. කෑමක් හදලා විකුණනකොට හොඳට හදලා දෙන්න ඕනෑ. වැඩි ලාභ ගන්න ජරාවක් දුන්නොත් එකෙන් අපිට අත් වෙන්නෙ මහ පවක්. කර්මාන්තයට යා දෙන්නෙත් නෑ. මලූත් ඇරිලා යනවා. අපි මේ කතා කරන්නේ අද්දැකීමෙන්…’’ උඩකන්දේ ලියනාරත්නලා තේරුම් ගෙන සිටින යථාර්ථය මෙරට සෑම ආහාර නිෂ්පාදකයෙක්ම තේරුම් ගන්නේ නම් පාරිභෝගිකයන්ට වස විස නොලැබෙන බව අපගේ විශ්වාසයයි.

‘‘අපේ පැණි, හකුරු කලවම් නෑ. සමහර ගම්වල මදින්නො පැණිවලටත් සීනි උණු කරලා දානවා. උණු වතුර කලවම් කරනවා. හකුරුවලට සීනි කිලෝ ගණන් දානවා. දැන් මිනිස්සුන්ට බොරු කරලා දෙන්න බෑ. කිතුල් රස හොඳට දිවට දැනෙනවා. පැණි ගැන දන්න අය බෝතලය හොඳට සොලවලා මූඩිය අරිනවා. පෙන ආවොත් ගන්නෙ නෑ. හෙළෙව්වම පෙන එන්නේ පදමට උණු නොවුණු, සිනී කලවම් කරපු පැණිවල. ඒ වගේම සීනි කලවම් නැති, පදමට උණු වෙච්ච පැණි භාජනයකට වක්කරනකොට නූලේ වැක්කෙරෙනවා. වතුර වැක්කෙරෙනවා වගේ ශබ්ද ඇහෙන්නේ සීනි කලවම් කරපු, පදමට උනු නොවුණු පැණි. ඒ වගේම හොඳ පැණි බෝතලයක හරියටම බර කිලෝ එකක් තියෙනවා. පදමට උණු කරගත් පැණි, බෝතල්වල දාලා හුළං වදින්නෙ නැති වෙන්න තිබ්බොත් කරදරයක් නැතිව මාසයක්, දෙකක් තියාගන්න පුළුවන්. පරණ වෙනකොට වැලි හකුරු වෙනවා. හොඳ පැණිවල සූකිරි වගේ බෝතලය යට බැඳෙනවා. සීනි කලවම් කරපු පැණි වැලි කැට වගෙ හැදෙනවා…’’

‘‘ඒ වගේම සමහර කිතුල් මල්වලින් එන තෙලිජ්ජවලට සීනි කලවම් කරන්නේ නැතිව හකුරු හදන්න බෑ. පැණි හොඳට උණු වෙනකොට ඉටි වෙනවා. හකුරු හැදෙන්නෙ නෑ. එහෙම තෙලිජ්ජවලින් හකුර හදනකොට සීනි ඇබිත්තක් දානවා. ඒ තෙලිජ්ජ ගහෙන් බාලා පැය දෙකක් යන්න ඉස්සර වෙලා මතුපිටින් සුදු වෙලා රා හැදෙනවා. ඒ නිසා මුට්ටිය ගහෙන් බාලා පැය භාගයක් යන්න පෙර ළිපේ තියනවා. නැති නම් මණ්ඩි ටිකක් දාලා රා වෙන්නම තියනවා…’’ කතාව ගලාගෙන යන අතරේ පෙන දාන රා මුට්ටියක් අප අසල තැබිණි. හකුරු බෝල සමඟ දුම් දමන තේ කෝප්ප සහිත බන්දේසියක් කෙටි බංකුවක් මත තැබිණි. කතාවට විරාමයක් තබා හකුරු බෝලයක රස බලන විට මගේ දෙනෙත් ඈත, මෑත කඳු වැටි අතර දෝලනය විය. පහසුවෙන් තරණය කළ හැකි කුඩා කඳුවැටියක් ඇස නොගැටෙන තරම්ය. ඇස ගැටෙන දැවැන්ත කඳු තරණය කළ කිතුල් ගස් බඩ ගා කරන මේ රැුකියාව අපට නම් විශ්මයජනකය.

‘‘ඔය පේන කඳු කිතුල් විමාන. හැම කන්දකම කිතුල් ගස් තියෙනවා. ඒත් මහත්තයො… අපේ රස්සාව අතුරේ යනව වගේ තමයි. කිතුලට නඟිනකොට පය ලිස්සුවොත් පත බෑවෙන්නෙ කළු ගලක් මතට. මේ ගම්වල පහළොවක්, විස්සක් කිතුල්වලින් වැටිලා, හත් අටදෙනෙක් මැරිලත් තියෙනවා. තව කිහිපදෙනෙක් සදාකාලික අබ්බගාතයන් වෙලා ඉන්නවා…’’ පත්මසිරිගේ හඬින් අප අතර පැවති කෙටි නිහඬියාව බිඳිණි. හතළිස් අටහැවිරිදි පත්මසිරි ද වෘත්තියෙන් කිතුල් මදින්නෙකි. අප හමුවට පැමිණියේ කිතුල් මල් පහක් මැද අවසානකොට බව හේ පැවසීය.

‘‘කිතුල් මල්වලින් හැමදාම එක විදිහට තෙලිජ්ජ ලැබෙන්නෙ නෑ. මල හදපු හැටියේ කඳුළු වැටෙනවත් අඩුයි. ටිකක් මල කපාගෙන යනකොට හොඳට කඳුළ වැටෙනවා. තෙලිජ්ජ බෝතල් විස්ස, තිහ දෙනවා. සමහර මල්වලින් තෙලිජ්ජ බෝතල් හත, අටයි. තෙලිජ්ජ බෝතල් දෙක, තුන දෙන මලූත් තියෙනවා. ඒ

වගේම මල පරණ වෙනකොට තෙලිජ්ජ අඩු වෙනවා. මාස හය, හතක් යනකොට මල් ඇරෙනවා. සමහර මල්වලින් අවුරුද්ද හමාර තෙලිජ්ජ දෙනවා. කිතුලක හතරවෙනි මල තමයි හොඳටම තෙලිජ්ජ දෙන්නේ. ඒ මලට අපි කියන්නෙ රජ මල කියලා. කිතුල් ගස්වල මල් ඵලගත්ත අලූත සහ ගස් පරණ වෙනකොටත් තෙලිජ්ජ අඩු වෙනවා. ඒ වගේම මල් දහයක් දොළහක් ඵලගත්තට පස්සෙ ගහ ඉවරයි…’’

කිතුල් මල් ඵලගන්න කාලයක් තියෙනවද? පත්මසිරිට අපි පැනයක් යොමු කළෙමු.

‘‘එහෙම නෑ. අවුරුද්ද මුළුල්ලේම කිතුල් ගස්වල මල් පූදිනවා. කිතුල් මදින රස්සාව අවුරුද්ද පුරාම එකම විදිහට කරන්න පුළුවන්. ඒ වගේම මහ වැස්සටත් මල මදින්න ඕනෑ. දවස් දෙකක් කපාගන්න බැරි වුණත් මල ඇරෙනවා. ඒ වගේම කිතුල් ගහක එක මලක් ඇවිත් තව මලක් එන්න අවුරුදු එකහමාරක් විතර යනවා. තෙලිජ්ජ වැඩියෙන් තිබුණොත් ඊළඟ මල එන්න තවත් කල් යනවා…’’

කිතුල් මලක් හදන්න ක‍්‍රමවේදයක් තියෙනවා නේද? නැවත අපි ඔහුට පැනයක් යොමු කළෙමු.

‘‘ඔව්… ගහෙන් මල මෝදු වෙලා පාත් වෙනකොට සුද්ද කරලා බෙහෙත් තියලා හුළං වදින්නේ නැති වෙන්න හොඳට බඳිනවා. ඉස්සර නම් තිබ්බේ ගමේ බෙහෙත්. ලූණු, මිරිස්, කොච්චි, ගම්මිරිස්, ඉඟුරු, කිතුල් පැණි දාලා මිරිස් ගලේ හොඳට අඹරලා ගුලියට අරගෙන මල අග ටිකක් ඇතුළට හරලා බෙහෙත් දානවා. පැණි බුරුල්ලෙත් බෙහෙත් ටිකක් හිර කරනවා. මල ලොකු නම් බෙහෙත් බඳින්න ඉස්සර වෙලා ටිකක් තලනවා. දැන් රජයෙන් අනුමත කරපු බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් බැඳලා දවස් එකහමාරක්, දෙකක් තියලා කපන්න පටන් ගන්නවා. ඒ වගේම මේ රජය අපේ කර්මාන්තයට ගොඩක් සහන දීලා තියෙනවා. රා හදන්න අවසර දුන්නා. ණය සහන දෙනවා. පැණි උණු කරන්න විශේෂ ළිප්, තාච්චි, ආරක්‍ෂිත බඳ පටි, තියුණු පිහි දුන්නා. පැණි, හකුරුවල මිල තව ටිකක් වැඩි වුණොත් අපේ කර්මාන්තයේ කිසිම ගැටලූවක් නෑ…’’ පත්මසිරිගේ හඬට සෙසු කිතුල් කර්මාන්තකරුවන්ගේ ද හඬ එකතු විය.

‘‘රජය මැදිහත් වෙලා අපේ ගම්වලටම ඇවිත් පැණි, හකුරු ගන්න ක‍්‍රමවේදයක් සකස් කරනවා නම් බොහොම හොඳයි. ටවුමට යන කාලය ඉතුරු වෙලා, තව නිෂ්පාදන වැඩි කරන්න පුළුවන්. එහෙම වුණොත් වෙළෙන්දන්ට අපේ බඩු කුණු කොල්ලයට දෙන්න ඕනෙත් නෑ. අවදානමට, මහන්සියට උපරිම සාධාරණයක් ලබාගන්න පුළුවන්…’’ වලේබොඩ කිතුල් කර්මාන්තකරුවන්ගේ පොදු හඬ එසේ ගලා යන විට මට මෙසේ සිතිණි. පවතින රජය විසින් කිතුල් කර්මාන්තයට උපරිම සහන ලබා දී ඇති බව වාර්තා වේ. එවැනි පසුබිමක පැණි, හකුරු මිල කිරීමට වෙළෙඳපොළක් සකස් කිරීමත් රජයට පැවරීම මස් රාත්තලම ඉල්ලීමක් වැනිය. තම නිෂ්පාදන අලෙවි කරගැනීමට ස්ථිර වෙළෙඳපොළක් සකස් කරගැනීමට කර්මාන්තකරුවන් ද දක්‍ෂ විය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment