ගිරිඋල්ලේ නිවසක මත්පැන් සාදයට පැන කපා කොටා 2 ක් මරති – හේතුව පරණ කෝන්තරයක්

585

මියගිය එක් අයෙක් STF සැරයන්වරයෙක්

ගිරිඋල්ල උදියාවල ප්‍රදේශයේ නිවසක පැවැති මත්පැන් සාදයකට පෙරේදා (15 වැනිදා) රාත්‍රී කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු සහ තවත් තරුණයකු තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කර පළා ගොස් ඇත.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පසුව ගිරිඋල්ල පොලිසියට භාරවී තිබේ. සැකකරුවන් අතර සිටි ‘කබරයා’ නැමැත්තා මෙම ප්‍රහාරය මෙහෙයවා ඇත.

කාලයක් තිස්සේ පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන් (28704) ඩබ්ලිව්. තුෂාර මහේෂ් බණ්ඩාර සහ වෙල්ඩින් ක්‍රියාකරුවකු වන කසුන් පුෂ්පකුමාර නමැත්තකු බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියා සැරයන් ධුරයට උසස් වීමෙන් පසු පුහුණුවක් සඳහා අනුයුක්ත කර ඇත. ඒ අතර ඔහු සිය නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඊට වෙල්ඩින් ක්‍රියාකරුවකු වන කසුන් පුෂ්පකුමාර ද සම්බන්ධ වී තිබේ.

පෙරේදා රාත්‍රියේ මෙම සාදය පැවැත්වෙද්දී ඝාතකයන් දෙදෙනා බීමත්ව මෙම නිවසට පැමිණ ඇත. වෙල්ඩින් ක්‍රියාකරු සමඟ පැවැති ආරවුලක් විසඳාගැනීමට මෙම පුද්ගලයන් දෙදෙනා පැමිණ තිබූ අතර ඔවුන් තියුණු ආයුධවලින් ද සන්නද්ධ වී සිට ඇත.

එහිදී ඇතිවූ බහින්බස් වීමෙන් පසු ඝාතකයන් දෙදෙනා වෙල්ඩින් ක්‍රියාකරුට තියුණු ආයුධවලින් පහරදී ඇත. ඒ අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයද තම මිතුරා බේරාගැනීමට ඉදිරිපත් වී ඇති අතර ඔහුටද පිහි ප්‍රහාර එල්ල වී තිබේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයා සහ වෙල්ඩින් ක්‍රියාකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා මෙන්ම ඝාතකයන් දෙදෙනාද විවාහ වී දරුවන් සිටින පියවරුන්ය. සැකකරුවන් දෙදෙනා ඊයේ (16දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment