ගිරිතලේ සුදුකන්ද රක්‍ෂිතයේ වන විනාශය නවත්වන්න – ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලති

40

දුර්ලභ ශාක වර්ග රාශියකින් සමන්විත ඉතාමත් වටිනා ස්වාභාවික උරුමයක් වන පොලොන්නරුව, ගිරිතලේ සුදුකන්ද රක්‍ෂිතයේ සිදුකෙරෙන නීති විරෝධී වන විනාශය නැවැත්වීමට වහා පියවර ගන්නැයි මහජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අලි ඇතුන් මුවන්, ගෝනුන්, වලසුන් ආදී වන සතුන් සහ දුර්ලභ පක්‍ෂීන් වර්ග රාශියක් වෙසෙන ජෛව විවිධත්වය මෙන්ම ඉතාමත් සුවිශේෂී පාරිසරික අගයකින් යුත් සුදුකන්ද රක්ෂිතයේ මෙම වන විනාශය සිදුකෙරෙනුයේ වනසංක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගිරිතලේ වැවට මුහුණලා පිහිටි ප්‍රදේශයේය.

ගිරිතලේ සුදුකන්ද රක්‍ෂිතයේ වන විනාශය නවත්වන්න - ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලති

දැවමය වටිනාකම්වලින් සමන්විත ශාක වර්ග ආදිය කපා දමා බරපතළ පරිසර විනාශයක් සිදුකර තිබෙන බවත් පසුගිය දිනවල ඇතිවූ මහවැසි සමග පස්කඳු සේදීගොස් මේ වනවිට සුදුකන්ද නායයෑමේ තර්ජනයකටද ලක්ව තිබෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මෙම පස්කඳු සේදී යෑම නිසා එහි වැඩිම බලපෑම ඇතිවන්නේ ආසන්නයේ පිහිටි ගිරිතලේ වැවට යැයිද එම පස්වලින් වැව ගොඩවීම අනිවාර්ය බවද මෙහි ගොවිජනතාව කියා සිටිති.

මෙම වැව යටතේ කුඹුරු අක්කර 15000කට වැඩි ප්‍රමාණයක් යල මහ දෙකන්නයේ වගා කෙරෙන බවත් මෙම පරිසර විනාශය හේතුවෙන් ඉදිරි කාලයේදී අපට බත් ඇටයක් කන්නට තිබෙන අවස්ථාවත් අහිමිවනු ඇතැයි ද එම ගොවි ජනතාව පෙන්වා දෙති.

කැලෑව හෙළිපෙහෙළි කර ඇති භූමියේ මේ වනවිට අනවසර ගොඩනැඟිලි ආදිය ඉදිකරමින් තිබෙන බවද කියා සිටි එම ගොවීහු මේවා වැළැක්වීමට අදාළ බලධාරීන් නොපමාව පියවර නොගතහොත් සුදුකන්දත්, ගිරිතලේ වැවත් විනාශ මුඛයේ බවද කීහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශයේ ගොවියකු වන ගිරිතලේ යාය 01 පදිංචි කේ. ජී. වික්‍රමසිංහ (57) මහතා “අපේ අම්මලා අප්පච්චිල තමයි ආණ්ඩුවෙන් ඉඩම් හම්බවෙලා මෙහේ මුලින්ම පදිංචියට ආවේ. අපි දෙවෙනි පරම්පරාවේ අය. මේ සුදුකන්ද කියලා කියන්නේ ඉතාම වටිනා සම්පතක්. ඒ වගේම විශාල ප්‍රදේශයක්. මේ කන්ද සුදුපාට ගල්වලින් හැදිලා තියෙන නිසා සමහරු සුදුගල්කන්ද කියලත් කියනවා. මේ කැලෑවේ ඉතාම දුර්ලභ ඖෂධ වර්ග රාශියක් තියෙනවා. අලි, ඇත්තු, මුවෝ, ගෝන්නු, වලස්සු මේ කැලෑවේ ඉන්නවා. ඒ සෑම සතෙක්ම වාගේ පායන කාලයට වතුර බොන්න ගිරිතලේ වැවට එනවා. අපි දැකලා තියෙනවා. මේ වැවට මුහුණලා තියෙන රක්‍ෂිතය මෑතක ඉඳලා විශාල විනාශයකට ලක්වෙලා. කිසිම නීතියක් මෙහේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. බලපුළුවන්කාරකමට කැලෑව සුද්ධ කරනවා. පලු, වීර, බුරුත, කොහොඔ වගේ වටිනා ගස් වර්ග පවා කපලා විනාශ කරලා. දැන් කන්ද සෝදාගෙන ඒ පස් ඔක්කොම වැවට එනවා. කාලයක් යනකොට වැව ගොඩවෙනවා ඒකාන්තයි. අපි ගොවිතැනක් බතක් කරගෙන බත් ඇටයක් කාලා ඉන්නේ මේ වැවට පිංසිද්ධ වෙන්න. මෙහෙම ගියොත් ඒකත් නැති වෙනවා. අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලා හිටින්නේ මේ වන විනාශය නවත්වලා සුදුකන්ද කැලෑවයි, වැවයි ආරක්ෂා කරලා දෙන්න කියලා.”

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment