ගිරුවායේ පවුල් දේශපාලනය… ලෙනාඩ් වුල්ෆ් එදා කළ හෙළිදරව්වේ රහස්…

1864

රාජපක්‍ෂවරු ගැන දිගු සටහන් තබලා…

එදා කී කාරණා අදටත් වලංගුයි…

ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් යටත් විජිත සමය තුළ ශ්‍රී ලංකාවේ සේවය කළ කීර්තිමත් සිවිල් සේවකයෙකු ලෙස ප්‍රකටය. එංගලන්තයේ සුප්‍රකට ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වූ ඔහු 1904 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යටත් විජිතයක්ව පැවති ලංකාවේ සිවිල් සේවයට සම්බන්ධ වීමට වරම් ලැබීය. 1904 සිට 1906 දක්වා යාපනයේ ප්‍රාදේශීය ආදායම් පාලක (DRO) ලෙස සිය මුල් පත්වීම ලද ඔහු යාපනය වසර දෙකක සේවයෙන් පසුව මහනුවර කච්චේරියේ උප දිසාපති වරයෙකු ලෙස වර්ෂයක් සේවය කිරීමෙන් පසු 1907 වර්ෂයේ හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස පත්වීමක් ලබා එකල දරිද්‍රතාවයෙන් පූර්ණ ශුෂ්ක දේශගුණයකින් යුත් අති දුෂ්කර ප්‍රදේශයක්ව පැවති හම්බන්තොටට යෑම සිදු කරන ලද්දේ කුඩා කල පටන් ඔහුගේ සිත තුළ සැඟව තිබූ “නැති බැරි එකාට ප්‍රමුඛව සේවය කිරීමේ” ගුණාංගය මුල් කොටගෙනය.

1907 සිට 1911 දක්වා පුරා වසර හතරක් ඔහු හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස සේවය කළ අතර මේ කාල සීමාව තුළ සිය වෘත්තීය ජීවිතය කාර්යාලයට පමණක් සීමා නොකොට මාගම්පත්තුවේ අසරණ ගැමියන්ගේ දුක සැප සොයා බැලීමට කරත්තවල නැගී, අශ්වයා පිටින්, මෙන්ම පාද චාරිකාවන්හිද යෙදෙමින් ගම් නියම්ගම්වල සැරිසැරීම විනෝදාංශයක් කර ගත්තේය. එකල යාල වනෝද්‍යානයේ මුල්ම පාලකයා ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු බෝයර් ජාතිකයෙකු වු “Engel Bred” වුල්ෆ් ගේ කුළුපග මිතුරෙකු වූ නමුත් බ්‍රිතාන්‍ය රජයට විරෝධය පෑම සඳහා එංගල් බෙර්ට් හම්බන්තොට නගරයේ නිරුවතින් ඇවිද යෑමේ චෝදනාව මත ඔහුට සිලින් 5 ක දඩයකට යටත් කිරීම පවා ලෙනාඩ් වුල්ෆ් විසින් සිදුකර ඇත්තේ මිතුරුකම අභිබවා ගිය නීතියේ ආධිපත්‍යය තහවුරු කරමිනි.

ලෙනාඩ් වුල්ෆ් ඒජන්තවරයා ජනහිතකාමී රාජ්‍ය නිලධාරියකු වුවත් තම ආධිපත්‍ය තුළ අහිංසක ගැමියන් තලා පෙළීමට ලක් කරන ගං ආරච්චිල, නිලමේවරු, විදානේවරු සහ කෝරලේ මහත්තුරු සමඟ වෘත්තිමය කරුණු අලළා නිරතුරුවම ගැටුම් ඇති කරගත් අයෙක් විය. විවිධ ප්‍රශ්නයන් හමුවේ ස්වදේශීය පාලකයන් විසින් ඒජන්තවරයා වෙත එවනු ලබන වාර්තා එක එල්ලේම විශ්වාස නොකළ ඔහු සැමදා ඔහු සමඟ මිතුරු සමාජයට එක්ව සිටි සාමාන්‍ය ගැමියන්, ගම්භාරයන් වැනි පහල පැළැන්තියේ අයගෙන් එවැනි සිද්ධීන්වල යථාර්ථය දැනගෙන ඒ අනුව අවසන් තීන්දුවට එළඹීම සිදු කළේය. මේ හේතුවෙන් “වුල්ෆ්” ස්වදේශීය රාජ්‍ය නිලධාරීන් අතර එතරම් ජනප්‍රිය පුද්ගලයෙකු නොවූ අතර ගිරුවායේ රාජපක්ෂ පරපුරට ළඟ ඥාති සම්බන්ධතාවක් පැවති බුද්ධියගම විජේසිංහ නිලමේ (පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සෑම් විජේසිංහ මහතාගේ මුත්තණුවන්) නමැති ස්වදේශීය නිලධාරියාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඔහුට බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟද ගැටීමට අවසානයේදී සිදු විය. එංගලන්තයට යෑමෙන් පසුව ඔහු කවදත් ඇලුම් කළ සාහිත්‍යකරණයට නැවත පිවිසි අතර ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත කළ සමය තුළ ග්‍රහණය කරන ලද කටුක වූත් සුන්දර වූත් අතීත සිදුවීම් අළලා ඔහු සාහිත්‍ය කෘතීන් ගණනාවක් රචනා කළ අතර මෙම කෘතීන් අතර මාගම්පත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාමත්ම දුෂ්කර ගම්මානයක්ව පැවති උඩමත්තල ග්‍රාමයේ 1910 වකවානුවේ සිදු වූ දිවිත්ව මිනීමැරුමකට සම්බන්ධ සත්‍ය සිද්ධියක් පසුබිම් කොට ඔහු විසින් රචිත “The Village in the Jungle” කෘතිය ඉංග්‍රීසි සාහිත්‍යය තුළ මෙම ගණයට අයත් වන කෘතීන් කාණ්ඩය අතර සුවිශේෂ කෘතියක් ලෙස විචාරකයන්ගෙන් නිබද ප්‍රශංසාවට ලක්වීම සිදුවිය. මෙම කෘතිය “බැද්දේගම” නමින් ඒ. පී. ගුණරත්න ශූරීන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර සිංහල කෘතිය අළලා මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන ශූරීන්ගේ තිර රචනයෙන් කෘතහස්ත ජාත්‍යන්තර සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද “බැද්දේගම” සිනමා කෘතියද ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ විශිෂ්ටතම සිනමා කෘති අතරට ගැනෙන සුවිශේෂ සිනමා කෘතියක් ලෙස ද හැඳින්වූ වුවහොත් නිවැරැදිය.

1911 දී ලංකාවෙන් එංගලන්තයට සංක්‍රමණය වූ ලෙනාඩ් වුල්ෆ් එයින් හරියටම වසර පනහකට පසු 1961 වර්ෂයේදී සිය යොවුන් දිවිය තුළ අමරණීය මතකයන් රැසක් එක්කළ මෙම සොඳුරු දිවයින නැවත දැක ගැනීමේ රිසියෙන් වයස අවුරුදු 80 ක් වූ වයෝවෘද්ධකයකු ලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරයේදී ලෙනාඩ් වුල්ෆ්ගේ සහායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ එවකට හම්බන්තොට ප්‍රදේශයේ පුවත්පත්වල සමූහ වාර්තාකරු ලෙස කටයුතු කළ විජේසිංහ බෙලිගල්ල මහතා විසිනි. ගිරුවාය අරක්ගෙන සිටින “රාජපක්ෂ දේශපාලන පිළිලය” ගැනද කරුණු කාරණා රාශියක් අන්තර්ගතව තිබීම හේතුවෙන් එවකට කම්කරු අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කෘතිය දකුණු පළාත තුළ බෙදා හැරීම සම්බන්ධව නිල නො වන වාරණයක් පැනවීම සිදුකළ බව ප්‍රසිද්ධ රහසකි. 2001 වර්ෂයේදී ලියුම්කරු මෙම කෘතියේ රචකයා වන බෙලිගල්ලේ විජේසිංහ සාහිත්‍යධරයා ඔහුගේ නිවසේදී හමු වූ අවස්ථාවේ දී එතුමා විසින් මෙම තත්ත්වය සනාථ කරන ලද බව සඳහන් කරමි.

එදා ගිරුවායේ පැවති සමාජ තත්ත්වය සහ විශේෂයෙන්ම ගිරුවාය අරක්ගෙන සිටි රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ගැන 1961 වර්ෂයේදී ලෙනාඩ් වුල්ෆ් විසින් සඳහන් කරන ලද කරුණු කීපයක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ අතීත සිදුවීම් වර්තමානයට ගළපා ගැනීමේ අවශ්‍යතාව මුල්කරගෙනය.

අසරණ ගැමියන්ට බොරු නඩු ගොතා ඔවුන් අමාරුවේ දැමීම එකල මාගම්පත්තුවේ මෙන්ම ගිරිවායේ ද නිල උරුමක්කාරයන් විසින් සිදුකරන ලද දෙයකි. ඒ ගැන වුල්ෆ් සිය සංචාරයදී මෙසේ සඳහන් කළේය.

ගිරුවායේ පවුල් දේශපාලනය… ලෙනාඩ් වුල්ෆ් එදා කළ හෙළිදරව්වේ රහස්…

“රාජකාරි වලව් ගැන මං දන්නවා වලව්වලින් වන කරදර ගැන ගොවියන් මට නිතර පැමිණිලි කළා. රාජකාරියෙන් වලව්කාරයා වීම හොඳ දෙයක් නොවෙයි. දුප්පතුන්ට පිහිට වීමයි වැදගත්. විදානආරච්චි වලව් කාරයන් වැනි අය සමඟ මිනිස්සු මනාපයක් නෑ. මා විභාග කළ නඩුවලින් පැහැදිලි වූ වැදගත් ම කාරණය තමයි නඩු බොහොමයක්ම බොරු නඩු බව දුප්පත් මිනිසුන්ට විරුද්ධව රාජකාරි කාරයෝ බොරු නඩු ගොතනවා”

මාගම්පත්තුවේ විසූ අදීන කවි කාරයෙකු වූ “බැදිගම අප්පුහාමි” සිය කවියෙන් හැමවිටම පහර දුන්නේ ස්වදේශිය පාලක පැලැන්තියටය. එම තත්ත්වය ගැන වුල්ෆ් විසින් සිය සංචාරයේදී සඳහන් කළේ මෙසේය.

මගේ කාලේ බැදිගම අප්පුහාමි කියන ප්‍රසිද්ධ කවියෙක් මුදලි උත්තමයින්ව තුට්ටුවකටවත් කිසි තැකීමක් කළේ නෑ. එඩිතර මිනිහා අප්පුහාමිගේ මල්ලි තමයි බැදිගම රතනපාල” මහා ස්වාමීන් කියන්නේ

සල්ලි ගත් නමුත් නිල විකුණා මෙහෙම බල්ලෙකුත් කරයි ගිරවා මුදලි කම අල්ලස් අරන් මුලාදෑනි තනතුරු දුන්න මුදලියකුට බැදිගම අප්පුහාමි එහෙමයි කවියෙන් පහරදුන්නේ.

රාජකාරි කරන හොරකම් තිබුන වලව් පැලැන්තියේ හාමුලාගේ නොසන්ඩාලකම් ගැන බැදිගම අප්පුහාමි ප්‍රසිද්ධියේම කවියෙන් බැන වැදුනා. කවියෝ ලේඛකයෝ පුවත්පත් කාරයෝ එහෙම ඉන්න ඕනා අනික් කාරණය තමයි ලොක්කන්ට බය නැතිව ලියන කියන මිනිහට මිනිස්සු කැමතියි.

ගිරුවායේ දේශපාලනය මෙන්ම වුල්ෆ්ට ආපසු එංගලන්තයට යෑමට මුල් වූ කරුණු ගැනද ඔහු සිය සංචාරයේදී මෙසේ සඳහන් කළේය.

එක්දහස් නවසිය තිස් එකේ පටන් ලංකාවෙ මිනිස්සු සර්වජන ඡන්දයෙන් තමන්ගේ මන්ත්‍රීවරු තෝරා ගත්තේ. නමුත් හම්බන්තොට පළාත දියුණු වෙලා නෑ. නම්බුකාර හාමු මහත්තුරු නැත්නම් වලව් පැලැන්තියේ හාමුදුරුවරු මන්ත්‍රණ සභාවට ගියාම දුප්පත් ගම්මුන්ට සේවයක් කරල නැහැ. මේ පළාත් පිරිහෙන්න හේතුව ඒකයි.

උන් හිටි හැටියෙම සිවිල් සේවය අතහැරදමා එංගලන්තයට ගියේ මා මුහුණ දුන් අසාධාරණය නිසයි. හිතට එකඟව නීතියට අනුව සේවයක් කරන්නට ඉඩක් නැත්තං ඒ සිවිල් සේවයෙන් ඉවත්ව ගෙදර යෑම සුදුසු බව මම සර් හියු ක්ලිෆඩ් තුමාට ලියා යැව්වා සංවිධානය වුණු ලංකාවේ වලව් පැලැන්තිය මට විරුද්ධව එක පෙරමුණක් වුණා විජේසිංහ මුදලිගේ වැඩ තහනම් කිරීම නිසා මම කළ දේ නිවැරදියි. නිවැරදිව නීතියට එකඟව වැඩ කරන්නට ඉඩක් නැත්නම් මං ඉල්ලා අස්වෙනවා යැයි ආණ්ඩුකාරයාටත් මම ලියා යැව්වා.

රාජපක්ෂ පවුල්වාදය ගැන ලෙනාඩ් වුල්ෆ් සිය සංචාරයේදී සඳහන් කර ඇත්තේ මෙසේය

ශතවර්ෂ බාගයක්ම හම්බන්තොට පවතින්නේත් පවුල් දේශපාලනය. 1931 දී හම්බන්තොට දිසාවට එක මන්ත්‍රී කමයි දැන්නම් මන්ත්‍රී කොට්ඨාස තුනයි. මුලින්ම මන්ත්‍රීවරයා වුණේ තංගල්ලේ වික්‍රමනායක උන්නැහේ. 1936 බුද්ධියාගම ඩී. එම්. රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රී වුණා. අපි ඡන්දෙ දුන්නේ දැන් වගේ පක්ෂ ලකුණුවලට නං නොවෙයි. පාටක් දීල තිබුණ ගිහින් නියමිත පාට පෙට්ටියට ඡන්දය දමනවා. ඩී. එම්. රාජපක්ෂ උන්නැහැට තිබුණෙ දුඹුරු පාට කුරක්කන් පාට. මං ඉල්ල ගත්තා කියලා රාජපක්ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන් කාරයන්ට කිව්වේ අපේ කුරහන් පාට ජය වේවා කියලා. ගමේ මිනිස්සු කෑ ගැහුවා ඩී. එම්. රාජපක්ෂ උන්නැහැට ගුරුපාට දීමත් රසවත් කතාවක්. රාජපක්ෂ උන්නැහේගේ අප්පොච්චි මුලින් ගම්මුලාදෑනියා. පස්සේදී ඉංග්‍රීසි ආණ්ඩුවෙන් විදානාරච්චි තානාන්තරයක් ලැබුණා. විදානාරච්චි තානාන්තරය ලැබුණම ගරු නම්බු ලැබිල හාමුලා වෙනවා. නැවි පනා, කළු කෝට් කඩු කස්තාන රිදී බොත්තම් පාට සරුවාල ඇඳුම් ආයිත්තම් ලැබෙනවා. බුද්ධියගමත් වලව්වක් වුණේ එහෙමයි. ඩී. එම්. රාජපක්ෂ උන්නැහැ කියන්නේ බුද්ධියගම විදානාරච්චි ගේ ලොකු පුතා සම්ප්‍රදායට අනුව එතුමාත් හාමු කෙනෙක්.

1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රී ඡන්දෙදි ඩී. එම්. රාජපක්ෂ හම්බන්තොටට නාමයෝජනා දෙන්න ගියේ හඩ්සන් ඒජන්ත ළඟට. දෙන්නට දෙන්නා නයි පොළොං අමනාපයෙන් හිටියේ. නීතිඥ ලූෂන් පෝලියර්, වික්‍රමසූරිය, පෙරේරා වගේ ප්‍රභූන් මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට බුද්ධියාගම ඩී. එම්. රාජපක්ෂ උන්නැහේ නාමයෝජනා කඩදාසිය දිසාපතිතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමා ගෙන් ඇහුවා. ආ …. ඩී. එම්. රාජපක්ෂද? උඹේ පාටද ඇසූ දිසාපති පී. ජේ. හඩ්සන් මහතා එක වරම තම කකුලක් ඔසවා මේසය උඩින් තියලා මෙන්න උඹේ පාට ගනින් කිව්වා. මෙන්න මේ අන්දමට තමයි ඩී. එම්. රාජපක්ෂට දුඹුරුපාට ලැබුනේ. ඒත් ඔහු ඒ පාට කුරහන් පාට කියල දුප්පත් හේන්කාරයන් රැවැට්ටුව.

හරියටම මැතිවරණ දවසෙ පී. ජේ. හඩ්සන් දිසාපතිතුමා රාජපක්ෂ උන්නැහේව වීරකැටියෙ මඬුව පාසලේ ඡන්ද පොළේදී මැතිවරණ චෝදනාවකටච අත්අඩංගුවට ගැනීමත් ඔහුට වාසියක් වුණා. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදීම රාජපක්ෂ මහතා හම්බන්තොට මන්ත්‍රී වුණා. මෙතනින් ආරම්භ වූ දේශපාලන රටාව දිගින් දිගටම පැවතුනා. දැන් මේ පවුල් අත්තිවාරම ශතවර්ෂ භාගයක් තරම් පැරැණියි. පවුල්වාදයෙන් යම් ප්‍රදේශයක් පිරිහීමේ විපාකයට ලංකාවේ ඇති හොඳම උදාහරණය අපේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි.

පශ්චාත් නිදහස් සමය තුළ ශ්‍රී ලංකාවේ පාලනය සකස්ව ඇති ආකාරය සහ සකස් විය යුතු ආකාරය ගැන වුල්ෆ් මෙම සංචාරය දී පළ කළේ මෙවැනි අදහසකි.

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණු රාජ්‍යයන්හි නායකත්වය සාමාන්‍ය පන්තියේ පොදු ජන හිතකාමී මහජන සේවකයන්ට ලැබෙන්න ඕනා. නැත්තං ඒ රටවල් විනාශ වෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ඡන්දයෙන් මහේශාක්‍ය බල පුළුවන් කාරයෝ රටවල්වල පාලනයට පත් වීම ඉක්මනින් අවසාන වෙන්න ඕන.

පාලකයෝ යටත් විජිත කාලයේදී සමාජයෙන් නම්බුකාර නිලතල දේපළ උරුම වුණු ප්‍රබල පවුල්වල ඉංග්‍රීසි උගත් උදවිය ඒ අය හිතන්නේ තමන්ගෙන් පස්සේ රාජ්‍ය පාලනය ඊළඟ අයට දෙන්න අප්පොච්චිච්චිගෙන් දූ පුතුන්ට පවුලේ මහා බූදලය උරුම වෙනවා වගේම රාජ්‍ය නායකකමත් හත්මුතු පරම්පරාවේ උරුමයක් විදිහටයි. නිදහස ලැබුණු යටත් විජිතවල නායකයෝ කල්පනා කළේ ලංකාවෙත් මේ කිව්ව කාරණය සිද්ධ වුණා. සිද්ධ වේගෙන යන්නෙත් ඒකයි.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 1960 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජපක්ෂ පරම්පරාවට අවශ්‍ය ආකාරයට මැතිවරණ කොට්ඨාස බෙදුනු අන්දම ගැන ලෙනාඩ් වුල්ෆ් සිය සංචාරයේදී උපහාසාත්මකව සඳහන් කළේ මෙසේය. ඒ වගේම පවුල් දේශපාලනයට නිර්දය ලෙස පහර ගැසීමටද වුල්ෆ් සිය කෘතහස්ත දේශපාලන දැනුම මේ අවස්ථාවේදී උපයෝගී කරගෙන ඇත.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වෙච්ච බුද්ධියාගම ඩී. එම්. රාජපක්ෂ 1945 මැයි මාසයේ 18 වෙනිදා හදිසියේම අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ ඇවෑමෙන් මන්ත්‍රීකමට පත් වුණේ ඔහුගේ බාල සොහොයුරා ඩී. ඒ. රාජපක්ෂ. එයාගේ මල්ලි අමාරුවෙන් පොළඹවාගෙන නාමයෝජනා දෙන්න එක්කන් ගියා වෙන කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. දිසාපති හැටියට හිටියේ ඩී. ජේ. ඕවර්ලොෆ් හාමුදුරුවෝ. ඩී. ඒ. රාජපක්ෂ මහත්තයා එදා

නිතරගයෙන්ම හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රීකමට පත්වුණා. ලංකාවට නිදහස ලැබුණේ හතළිස් අටේදී. සෝල්බරි සාමිගේ නිර්දේශය මං දන්නවා. 1947 මහ මැතිවරණයෙන් ඩී. ඒ. රාජපක්ෂ බෙලිඅත්ත මන්ත්‍රී වුණා. ලක්ෂ්මන් රාජපක්ෂ හම්බන්තොට මන්ත්‍රී වුණා. හැටේ මාර්තු මාසයේ ඒ කිව්වේ ලබන මාසේ මහමැතිවරණයෙන් ඒකටත් මුල්කිරිගල කියලා අලුත් ආසනයක් බෙදලා මුල්කිරිගල ආසනය බෙදලා දුන්නේ තවත් රාජපක්ෂ මහත්තයෙකුට පාර්ලිමේන්තු යන්න. ඩී. එම්. රාජපක්ෂ මැරුණා. රාජ්‍ය මන්ත්‍රීතුමාගේ දෙවැනි පුතා ජෝර්ජ් රාජපක්ෂ මහත්මයාට ඒ මහත්මයාත් මැතිවරණය දිනයි කිසිම සැකයක් නැහැ. අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස බෙදෙන්නේ රාජපක්ෂ පවුලෙන් උගත් උදවිය කලඑලි බහින අන්දමට නේ.

ගිරුවායේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ආරම්භ කරන්නේ බුද්ධියගම ඩී. එම්. රාජපක්ෂ විසින් කොන්දගල වලව්වේ පදිංචිව සිටි ඩී. එම්. ගේ ඇවෑමෙන් ඔහුගේ සොයුරු මැදමුලන පදිංචිව සිටි ඩී. ඒ. රාජපක්ෂ දේශපාලන කරළියට පිවිසියේය. එදා මෙදා තුර හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයට හසුවී තිබීම වුල්ෆ් සිය සංචාරයේදී දුටුවේ මෙසේය.

මේ ප්‍රදේශය මුලින්ම හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රණ සභාවට අයත් වුණා. 1946 හිටපු ඩී. එම්. රාජපක්ෂ මහත්තයා හදිස්සියේ මළාම එතුමාගේ මල්ලි මැදමුලනේ ගොවිතැන් කරමින් උන්න ඩී. ඒ. රාජපක්ෂ මහත්තයා එදා නිතරගයෙන් අයියාගේ අඩුපාඩුව සම්පූර්ණ කළා. වැරදිලාවත් ඩී. එම්. රාජපක්ෂ මන්ත්‍රීතුමා මියයන වෙලාවේදී එතුමාගේ ලොකු පුතා ලක්ෂ්මන් රාජපක්ෂ වයස සම්පූර්ණ වෙලා උන්නා නම් ඩී. ඒ. රාජපක්ෂ බාප්පොච්චිට මන්ත්‍රීකම ලැබෙන්නෙ නෑ. කොන්දගල වලව්වෙන් මැදමුලන වලව්වට මන්ත්‍රීකම හුවමාරු වුණේ එදා ලක්ෂ්මන් රාජපක්ෂ නොමේරු ළමයෙක්ව සිටි නිසයි. 47 මැතිවරණය වෙලාවෙදි ලක්ෂ්මන් රාජපක්ෂ වයස සම්පූර්ණයි. මියගිය පියාගේ මන්ත්‍රීකමට ඉදිරිපත් වෙන්න සූදානම් වුණා. ඩී. ඒ. රාජපක්ෂ මේකට හොඳටම බය වුණා. ලක්ෂ්මන් පුතා ඉදිරිපත් වුණොත් මට ආපහු මැදමුලනේ කුඹුරු කොටන්න වෙනවා. දැන් වහාම හම්බන්තොට දිස්ත්‍රික්කය දෙකට කඩලා ලක්ෂ්මන්ටත් ආසනයක් හදලා දෙන එකයි තියෙන්නේ. වහාම ඩී. ඒ. රාජපක්ෂ කොළඹ ගියා ඩී එස් සේනානායක, බණ්ඩාරනායක වැනි නායකයන්

මුණගැහුණා. කරුණාකර හම්බන්තොට කොට්ඨාසය දෙකකට කඩන්න. නැත්තං මෙදා ලක්ෂ්මන් එනවා මට එන්න ලැබෙන්නෙ නෑ. ගෙදර ඉන්න වෙනවා. කරුණාකර හම්බන්තොට දෙකට කඩන්න. මට බෙලිඅත්තේ කියලා ආසනයක් බෙදලා දෙන්න. ඩී. ඒ. රාජපක්ෂ බැගෑපත්ව කන්නලව් කළා. ඔන්න ඉතින් රාජපක්ෂ පවුල්වාදයට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය දෙකට බෙදුවා 1947 දි ලක්ෂ්මන් රාජපක්ෂ මුලින්ම හම්බන්තොටට තරග කෙරුවා. ඩී. ඒ. රාජපක්ෂ බෙලිඅත්තට තරග කළා. එදා ඉඳලා මේ බාප්පයි පුතයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීවරුන්. මේ අතරවාරයේදී මැරුණ ඩී. එම්. රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ දෙවැනි පුතා අධිනීතිඥ වෙලා දැන් ගමේ ඇවිත් දේශපාලනය ගැන කුසු කුසු ගාන්නට වුණා. පුංචි බග්ෆියට් කාර් එකකින් ගම්මඬුවේ ඇවිදිමින් මන්ත්‍රීකම ගැන තැන තැන කන්කෙඳිරි ගෑවා. මේ වෙනකොට කොන්දගල වලව්වේ ලක්ෂ්මන් රාජපක්ෂගේ මල්ලි ජෝර්ජ් රාජපක්ෂ දේශපාලනයට ඉව අල්ලමින් හිටියේ. ජෝර්ජ් රාජපක්ෂටත් හම්බන්තොටින්ම කෑල්ලක් කඩලා නුදුන්නොත් ලබන සැරේ බෙලිඅත්තට ඉදිරිපත් වෙයි කියලා ඩී. ඒ. රාජපක්ෂ හිතුවා. මේ අතරවාරයේ අගමැති බණ්ඩාරනායක මැතිවරණ කොට්ඨාස බෙදීමේ කොමිසමත් දැම්මා. ඩී. ඒ. රාජපක්ෂ ගිහින් බණ්ඩාරනායකට කන් කෙඳිරි ගෑව ජෝර්ජ් රාජපක්ෂටත් හම්බන්තොටින් තවත් කෑල්ලක් කඩල නොදුන්නොත් ලබන ඡන්දෙදි මං පරදිනවා. ඒ අනුව තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන තුනකට කැඩුවේ. හම්බන්තොට ලක්ෂ්මන් රාජපක්ෂට, මුල්කිරිගල ජෝර්ජ් රාජපක්ෂට බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂට ඔන්න ඔහොමයි කොන්දගලයි මැදමුලනෙයි වලව්වල ප්‍රශ්නය විසඳුනේ. රාජපක්ෂ පවුලෙන් කල එළි බහින අයට පාර්ලිමේන්තු යන්න ඕනේ ඕනා විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කය කෑලිවලට කැඩුණා.

“1945 මැයි 18 වෙනිදා මට මතකයි එදා තමයි මගේ පියා මියගිය දවස. මම ඇද ළඟ උන්නා. පියා මියයන්න විනාඩි කිහිපයකට කලින් ඔහු කොට්ටේ යට තිබුණු ලියුම් කවරයක් අරන් මගේ අතට දුන්න. ඒ ලියුම් කවරේ තිබුණේ පෑනයි ශත 18ක මුදලකුයි පමණයි. මොහොතකින් මගේ පියා මිය ගියා. මම එක පිම්මටම දිව්වා බණ්ඩාරනායක මැතිතුමා මුණගැහෙන්න. මං දුවගෙන ගිහින් බණ්ඩාරනායක මැතිතුමාට අඬාගෙන කිව්වා දැන් මගේ පියා මිය ගියා ඔහු මිය යන්න කලියෙන් මට දුන්න ලියුම් කවරෙ බණ්ඩාරනායක මහතා අතට දුන්නා. ඒකෙ ශත දහඅටකුයි පෑනකුයි තිබුණා. මං එනකං මේක දැන් ගෙනියන්න කියලා මුදලක් සඳහන් නොකරන ලද චෙක්පතක් බණ්ඩාරනායක මහතා මට අත්සන් කරලා දුන්නා. අපේ පදිංචි ඉඩමත් ඒ වනවිට උගසට බැඳිලයි තිබුණේ. මගේ පියාගේ මළ කඳ ගමට ගෙනාවේ එදා බණ්ඩාරනායක මහත්තයා අත්සන් කර දුන්න ගණනක් සඳහන් නොකළ චෙක්පත මාරු කරගෙනයි. ජෝර්ජ් රාජපක්ෂ මහතා එදා වලස්මුල්ලේදී කළ මේ කතාවට කන්දී සිටි ලෙනාඩ් වුල්ෆ් මහතා එහි අන්තර්ගතද සිය සංචාරක සටහන් අතරට එක්කරගෙන සිටින ලදී.”

එදා මීට හරියටම වසර 62 කට ප්‍රථම කෘතහස්ත ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු විසින් පවසන ලද මෙම කරුණු කොතෙක් දුරට වර්තමානය සමඟ ගළපා ගැනීමට හැකි වේ දැයි අප හොඳින් සලකා බැලිය යුතුය.

ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)

advertistmentadvertistment
advertistmentadvertistment