ගිලන් රථයට ගෙවන්න රු. 8000ක් නැතිව මාස පහේ පුතාගේ මළසිරුර බෑගයක දමාගෙන තාත්තා කිලෝමීටර් 200ක් බස් එකේ ගිහින්

931

ගිලන්රථ ගාස්තුව ගෙවීමට නොහැකි වූ නිසා මාස පහක් වයසැති තම මියගිය දරුවාගේ සිරුර බෑගයක දමාගෙන කිලෝමීටර් 200ක් දුර බසයකින් ගිය පියකු පිළිබඳ ශෝචනීය පුවතක් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මළසිරුර නිවසට රැගෙන යෑමට ගිලන් රථ රියැදුරකු විසින් ඉල්ලා සිටි රුපියල් 8,000 ක් තමා සතුව නොමැති නිසා මාස පහක් වයසැති දරුවාගේ සිරුර බෑගයක දමාගෙන කිලෝමීටර් 200 ක් පමණ පොදු බස් රථයක ගමන් කළ බව මේ අසරණ පියා කියයි. දරුවාගේ පියා වන අෂිම් ඩෙබ්ෂර්මා මෙසේ පැවසීය.

“මගේ මාස පහක් වයසැති පුතා සිලිගුරිහි උතුරු බෙංගාල වෛද්‍ය විද්‍යාල රෝහලේ දින හයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගියා. දරුවාගේ ප්‍රතිකාර සඳහා මම රුපියල් 16,000 ක් වියදම් කළා. නමුත් මගේ දරුවාගේ මළසිරුර කලියගන්ජ් වෙත ප්‍රවාහනය කිරීම සඳහා එහි ගිලන් රථ රියැදුරෙකු ඉල්ලා සිටි රුපියල් 8,000 ක් ගෙවීමට මට මුදල් තිබුණේ නැහැ”

මෘතදේහය බෑගයක දමාගෙන කිසිවකුටත් නොදැනෙන ලෙස ප්‍රාදේශීය බස් රථයකින් තමා ගමන් කළ බවත්, මගීන් මේ ගැන දැන ගතහොත් තමා බසයෙන් බස්සනු ඇතැයි බියවූ බවත් මේ අසරණ පියා කියයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment