ගිලන් රථයේ තෙල් තිබුණේ නැහැ – ඩිපෝවේ තිබූ ඉන්ධන ගෙන ජැක්සන් කොළඹ යැව්වා

1165

අලියාගේ ඇඟේ ගැටුණු සිංහයාට අද සැත්කමක්

රථයේ ගැටුණු  වන අලියා  අතුරුදන්

ගිලන් රථයේ තෙල් තිබුණේ නැහැ - ඩිපෝවේ තිබූ ඉන්ධන ගෙන ජැක්සන් කොළඹ යැව්වා

අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේදී අලියකුගේ සිරුරේ වාහනය ගැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට අද (04 දා) විශේෂ සැත්කමක් සිදුකිරීමට නියමිත බව එම රෝහලේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට ඊයේ (03 දා) පැවසීය.

ගිලන් රථයේ තෙල් තිබුණේ නැහැ - ඩිපෝවේ තිබූ ඉන්ධන ගෙන ජැක්සන් කොළඹ යැව්වා

ජැක්සන් ඇන්තනි මහතාගේ සුෂුම්නාව ප්‍රදේශයට අදාළව මෙම සැත්කම සිදුකරන අතර ඔහු යථා තත්ත්වයට පැමිණීමට යම් කාලයක් ගතවනු ඇතැයි වෛiවරුන්ට නිරීක්‍ෂණය වීම නිසා මෙම සැත්කම විශේෂත්වයක් වී ඇත.

ජැක්සන් ඇන්තනි මහතා ඔහුගේ සොයුරු සමන් ඇන්තනි සහ ඉරේෂ් යන තිදෙනා ගමන් ගත් කැබ් රථය පෙරේදා (02 දා) රාත්‍රි 9.30 ට පමණ පාර හරහා ගිය අලියකුගේ සිරුරේ වැදීමත් සමඟ අලියා කැබ් රථය මතට වැටීමෙන් එහි ගමන් කළ තිදෙනාම බරපතළ තුවාල ලබා තිබේ.

ජැක්සන් ඇන්තනි මහතා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක මහතා නිෂ්පාදනය කරන සිංහබාහු චිත්‍රපටයේ සිංහයාගේ චරිතය නිරූපණය කරන ප්‍රධාන නළුවා වේ. ඔහු ඇතුළු තිදෙනා කැබ් රථයෙන් පැමිණීමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවත් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් සෝමරත්න දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය. සිංහබාහු චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලින් මේ වන විට තුනෙන් දෙකක පමණ වැඩ අවසන් කර තිබෙන බවත් චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමට ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු පිරිස කාල වේලාවන් නොසලකා කැපවීමෙන් කටයුතු කළ බව ද දිසානායක මහතා කියා සිටියේය.

අනතුරින් තුවාල ලැබූ තිදෙනා තලාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්, මොරගොඩ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අංක එකොළහ වාට්ටුවට ඇතුළත් කොට මූලික ප්‍රතිකාර ලබාදී තිබේ. අනතුරින් ජැක්සන් ඇන්තනි මහතාගේ සුෂුම්නාව ප්‍රදේශයේ ඇති වූ ආබාධයකට වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මගින් ඊයේ (03 දා) අලුයම කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන තිබිණි.

අනතුර සිදුවීමත් සමඟ කැබ් රථය මතට අලියා ඇද වැටීම නිසා ඔවුන් තිදෙනා මෙලෙස තුවාල ලබා ඇති බව විමර්ශන සිදුකරන තලාව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු පිරිස ගමන් ගත් කැබ් රථයට ද දැඩි ලෙස හානි සිදු වී ඇත.

තඹුත්තේගම සහ ගල්ගමුව යන ප්‍රදේශවල පැවති රූගතකිරීම් කීපයකට සහභාගිවීමෙන් අනතුරුව රාත්‍රි නවාතැන් ගැනීම සඳහා අනුරාධපුර නගරය දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන් තිදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇති බව තලාව පොලිසිය පවසයි.

මේ අතර සමන් ඇන්තනි මහතා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේත්, ඉරේෂ් මහතා අංක එකොළහ වාට්ටුවේත් ප්‍රතිකාර ලබමින් සිටින බව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.

අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේදී පාර හරහා ගමන් කළ වන අලියකුගේ ඇඟේ ගැටීමෙන් ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි ඇතුළු පිරිසක් ගමන් ගත් වාහනයට අලාභහානි සිදු කරමින් එහි ගමන් කළ පිරිස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.

එම රෝගීන් ජාතික රෝහලට යැවීම සඳහා ගිලන් රථවලට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට එම රාත්‍රියේ රෝහල් කාර්ය මණ්ඩලයට විශාල වෙහෙසක් ගැනීමට සිදු වූ බව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවක එකමුතුවේ සභාපති සරත් සෙනෙවිරත්න මහතා ‘දිවයින’ට පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය.

පෙරේදා රාත්‍රියේදී සිදු වූ එම අනතුරින් පසු ජැක්සන් ඇන්තනි ඇතුළු රෝගීන් තිදෙනකු රාත්‍රි 10.30 ට පමණ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කළා. පසුව රෝහල් කාර්ය මණ්ඩලය හදිසි මූලික ප්‍රතිකාර සිදුකළා. එසේ වුවද ඔවුන්ගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට යැවීමට වෛiවරුන් තීරණය කළා. රෝහලේ ගිලන් රථවල ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙම අවස්ථාවේ වෛi කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්‍ෂ සුනිල් අල්විස් මහතා පවා එම රාත්‍රියේ මහත් වෙහෙසක් ගත්තා අවශ්‍ය ඉන්ධන සොයාදීම සඳහා.

මෙම රෝගීන් කොළඹ යැවීම සඳහා ගිලන් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට අනුරාධපුර සියලු ඉන්ධනහල්වලට කතා කළත් කිසිම ඉන්ධනහලක ඉන්ධන නොමැති බව පැවසුවා.

පසුව අප අනුරාධපුර ඩිපෝ අධිකාරි කළුආරච්චි මහතා ඇමතීමෙන් පසු රාත්‍රි 12.00 පමණ වන විට ගිලන් රථ තුනක් සඳහා අවශ්‍ය ඩීසල් ලබා දුන්නා. ඩිපෝ අධිකාරිවරයා නීතිය අමතකකර මෙම ජීවිත බේරා ගැනීම සඳහා බස් රථවලට වෙන්කර තිබූ ඉන්ධන ක්‍ෂණිකව ලබාදීම නිසා එම රෝගීන් කඩිනමින් ජාතික රෝහල වෙත යැවීමට හැකි වුණා.

මේ වන විට ඉන්ධන අර්බුදය හේතුවෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවදානමකට පත්වෙලා. විශේෂයෙන් වකුගඩු හා පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ටික පවා ගෙන්වා ගැනීමට නොහැකි වෙලා. එම රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වෙලා. ඉතා හදිසියෙන් මෙම ඖෂධ ගෙන්වා ගැනීමට අවශ්‍යයි. මෙම තත්ත්වය තුළ රෝගී ජීවිත අවදානමට නොතබා කඩිනමින් අවශ්‍ය ඉන්ධන ලබාදීමට රජය කටයුතු කළ යුතුයි.

අනතුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම ප්‍රදේශයේ නිතර අනතුර සිදුවන බවත්, අලි අගල් ලෙස කුඩා කාණු කපා තිබුණත් ඒවායින් අලින් පැන මාර්ගය හරහා ගමන් කරන බවත් ය.

චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, අනුරාධපුර විශේෂ –  පර්සි කුරුනේරු, නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා – මිහින්තලය – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment