ගීතය පරෙස්සම් කළ යුතු කලා මාධ්‍යයක්

671

ප‍්‍රවීණ ගීත රචක වසන්ත කුමාර කොබවක

වසන්ත කුමාර කොබවක පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් සඳහන් කර සිටියේ ‘මසුරු ලෙස වචන මුදාහරින, ගීත දොර දන් නොදෙන’ ගීත රචකයෙක් ලෙසය. එම ප‍්‍රකාශය කෙතරම් සැබෑ ද යන්න සනාථ කරමින් ඔහුගේ ගීත රචනා ඇතුළත් ‘පමාවී ආ වසන්තේ’ කෘතිය නිකුත්වන්නේ 2003 වර්ෂයේදීය. එය වසරේ විශිෂ්ටතම ගේය පද රචනා කෘතිය ලෙස රාජ්‍ය සම්මානයට පාත‍්‍ර විය. වසර 18 ක දිගු නිහැඬියාවකින් අනතුරුව ‘පමාවී පිපුන මල් සුවඳයි’ නමින් ඔහුගේ දෙවන කෘතිය ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය. මෙවර ‘අකුරු දිගේ’ සංවාදය හා එක්වන්නේ ‘පමාවෙමින්’ නිර්මාණකරණයේ යෙදෙන, මසුරු ලෙස වචන මුදාහරින ප‍්‍රවීණ ගීත රචක වසන්ත කුමාර කොබවකය.

ප‍්‍රශ්නය – ඔබේ නිර්මාණ දිවියේ ආරම්භය හා එහි ස්වර්ණමය අවධීන් පිළිබඳව අද වන විට ඔබ තුළ පවතින්නේ මොනවගේ හැඟීමක්ද?

පිළිතුර – මගේ නිර්මාණකරණයේ තිඹිරි ගෙදර මගේ ගෙදරයි. මගේ පියාණන් ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු නගරය ඇතැර එවකට අති දුෂ්කර යටගම්පිටිය ගමට යන්නේ ස්වෙච්ඡුාවෙන්. අම්මා ගුරුවරියක්. එකම අක්කා සිංහල, සාහිත්‍ය මැනවින් හැදෑරූ උපාධිධාරී ගුරුවරියක්. ගෙදර පරිසයෙන්, විශේෂයෙන් තාත්තගේ මුවින් පිටවන ජනගී, සංස්කෘතික ශ්ලෝක ආදිය නිසා මගේ නිර්මාණ දිවිය අවදි වුණා. ඉන්පසු ඉතා උසස් ගීත ශ‍්‍රවණය කරන්නට අක්කා දුන් පෙළඹවීම. මගේ පාසල හොරණ තක්‍ෂිලා මැදි විදුහල. එය කලාකරුවන්ගේ තෝතැන්නක්. ඉන්පසුව ස්වර්ණමය යුගය සේ සඳහන් කළ හැක්කේ 70 දශකයේ ඇරඹුම. එය ජාතික ගුවන්විදුලියේත් ස්වර්ණමය යුගය. එවකට මා අ.පො.ස. (සා.පෙළ) ලියා සිටි 1974 වසරේ අග. මම ගුවන්විදුලියට මුලින්ම අතින් ලියපු ගීතයක් තැපැල් කරනවා. ඒ රට දැය නංවන ගීත අතුළත් ‘ප‍්‍රබුද්ධ ගී’ සඳහා මා තැපැල් කර යැවූ ‘එක දිය බිඳුවෙන් කෙළෙසද පවසක් සිඳලන්නේ’ ගීතය රෝහණ වීරසිංහයන් සංගීත නිර්මාණය කොට ගයනවා. මුල්වරට 1975 වසෙර් ඒ ගීතය ප‍්‍රචාරය වෙනවා. ඒක තමයි මගේ පළමු ගුවන්විදුලි ගීතය. ඉන් පස්සේ අ.පො.ස. (උ.පෙළ) සඳහා මම තෝරා ගන්නේ විද්‍යා ධාරාව. ගණිත අංශය. 1978 දී මම භෞතික විද්‍යා උපාධි අපේක්‍ෂකයකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එකල විශ්වවිද්‍යාලයේ ‘වින්දන කලා කේන්ද්‍රය, පෙරදිග සංගීත සංගමය’ වැනි ශිෂ්‍ය සංගම්වල මම කි‍්‍රයාකාරීව කටයුතු කළා. කලා පීඨයේ සහෝදර සිසුන් සමග අපි ප‍්‍රසංග පැවැත්වූවා. ඒ සඳහා විවිධ කලාකරුවන් ගෙන්වූවා. සුනිල් එදිරිසිංහයන් පැමිණි මොහොතක ඔහු මගේ මිතුරන්ට ඔහුගේ ලිපිනය දෙනවා. ‘හොඳ ගීත’ ලියන අය ඉන්නවනම් ඒ නිර්මාණ එවන්න කියලා. එතෙක් හමුවී නැති ඔහුට මා විසින් රචිත ‘ශිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ’ තැපැල් කරල යවනවා. මේ සිද්ධිය වෙන්නෙ 1979 වර්ෂයේදියි. මගේ ගීත රචනා කලාව ඇරඹෙන්නේ එහෙමයි.

ප‍්‍රශ්නය – දශක හතරකට අධික ඔබේ නිර්මාණ චාරිකාව ගත් විට නිර්මාණාත්මක තෘප්තිය අතින් ඔබ වඩාත් සාර්ථක වන්නේ කොතැනකදීද?

පිළිතුර – සාර්ථක වූ අවස්ථා 2 ක් තිබෙනවා. ජාතික ගුවන්විදුලිය ඇසුරේ සරල ගී වැඩසටහන් වෙනුවෙන් දිවයිනේ සුභාවිත ගීත ගයන ගායන ශිල්පි ශිල්පිනියන් වෙත යොමු කළ ගීත කිිසිදු මූල්‍යමය වියදමකින් තොරව, රජයේ අනුග‍්‍රහයෙන් ගැයී, පටිගත වී, තැටිගත වී, නිරන්තර ප‍්‍රචාරය වීම සහ රචකයා ගේ නම ඊට සමගාමීව ප‍්‍රකාශ වීම මගින් මා වැනි අලූත් රචකයන්ගේ ගේය පද රචනා රසික ප‍්‍රජාව විසින් හඳුනා ගත්තා. එය මගේ ප‍්‍රගමණයට ඉමහත් සේ බලපෑවා. ඉන්පසුව ‘සිංග් ලංකා’ වැනි ආයතන මුල්වී සුභාවිත ගීතය ඉතා ඉහළ තලයකට ඔසවා තබද්දී ගේය පද රචකයෙක් ලෙස මට ඉදිරියට යන්න ඉඩ ප‍්‍රස්ථාව ලැබුණා.

ප‍්‍රශ්නය – රාජ්‍ය සම්මාන ලාභී ගීත රචකයකු වන ඔබ ඔබේ ගීත නිර්මාණ ඇතුළත් දෙවන කෘතිය ‘පමාවී පිපුණු මල් සුවඳයි’ පාඨකයන් අතට පත් කිරීමට මේ තරම් පමාවුණේ ඇයි?

ගීතය පරෙස්සම් කළ යුතු කලා මාධ්‍යයක්

පිළිතුර – 1975 ඇරැුඹි මගේ ගේය පද රචනා කාර්යය 2003 වන විට ගීත 104 ක් දක්වා වර්ධනය වී තිබුණා. ඉන් බහුතරයක් විවිධ ගායන ශිල්පී ශිල්පිනියන් ගැයූ සුභාවිත ගීත හා ඒ වන විට මා සිනමා හා ටෙලිනාට්‍ය සමග එක්වී කළ ගේය පද රචනා කිහිපයක් එක්ව මේ 104 හැදුනේ. බලන්න අවුරුදු 28 කට ගීත 104 යි. වසරකට ගීත 4 ක් පමණයි ලියා ඇත්තේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මට දුන් විවරණය අනුව මා ‘මසුරු ලෙස වචන මුදාහරින, ගීත දොර දන් නොදෙන රචකයෙක්’ ‘පමාවී ආ වසන්තේ’ වූයේ එයයි. ඉතින් 2003 සිට 2021 දක්වා වසර 18 ක කාලය තුළ ලියැවුණු ගීත 86 ක් තමයි ‘පමා වී පිපුණු මල් සුවඳයි’ කෘතිය තුළ ඇත්තේ. ආසන්නව වසරකට මා විසින් ගීත 4 ක් 5 ක් පමණ ලියා ඇති වග ඒ මගින් පැහැදිලියි.

2003 පමාවී ආ වසන්තේ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. ඉන්පසුව බොහෝ දෙනාගෙන් ගීත නිර්මාණ ඉල්ලීම් ලැබුණා. එහෙත් තෝරා බේරාගෙන ගීත ප‍්‍රවාහය මුදාහැරීමේ ප‍්‍රතිපත්තිය නිසයි මේ ‘පමාව’.

ප‍්‍රශ්නය – කලාත්මක ගීතය පිළිබඳව ඔබගේ කියැවීම මොන වගේද?

පිළිතුර – බොහෝ දෙනා දරණ මතයක්, කලාත්මක ගී නිර්මාණයක් සඳහා මටසිලිටි වදන්. රාගාශි‍්‍රත තනු සහ ඉතා ලයාන්විත සන්සුන් ඉදිරියව්වෙන් ගැයිය හැකි සමාධිගත වන ආකාරයේ ගායනා පැවතිය යුතුයි යන්න. එය උත්තර භාරතීය සංගීතය ඇසුරේ ආ සිතුවිලි පරම්පරාවට අයත් දෙයක්. නමුත් අප ජීවත් වන රට ආදීවාසීන් ඇතුළු විවිධ කලාපීය ජන කොටස්වල එකතුවෙන් ජනශ‍්‍රැතිය පෝෂණය වෙමින්ද, බෞද්ධ හැදියාව මගින් ආජීවය පුරුදු පුහුණු වෙමින්ද, පරදේශක්කාරයන්ගේ ආක‍්‍රමණ නිසා සංස්කෘතිකමය බලපෑම්වලට නතු වෙමින්ද, ගෝලීයකරණය සහ නාගරික කරණය නිසා ගමෙන් නගරයට, නගරයෙන් විදේශයට සංක‍්‍රමණය වෙමින් ද වරින්වර වෙනස් වූ සමාජ ස්ථර සහිතව පවතින්නක්. ඉතින් ගේය පද රචනාවකට වස්තු විෂය තෝරා ගැනීමේදී අපි සෑම විටම මටසිලිටි වදන් භාවිතයේම සිටිය යුතු යැයි මා සිතන්නේ නැහැ. ඒ පරිසරයට උචිත වදන් මාලාවක් අපි උපයා සපයා ගත යුතුයි. කලාත්මක බව රැුකෙන්නේ එහි පෙර නොදුටු විරූ (අපූර්ව) බව සහ සංයන විලාසය අනුවයි. උදාහරණයක් ලෙස ‘ඇඩ‍්‍රස් නෑ’ සිනමා නිර්මාණයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියන ගේය පද රචනාව එලෙසම ‘පාරදිගේ’ සිනමා නිර්මාණයේ තේමා ගීතය එබැවින් කලාත්මක ගීත නිර්මාණ ‘ඈත කඳුකර හිමිවී අරණේ, සන්නාලියනේ වැනි තැනක සිට ඈත ගව් ගණන් දුරින් (හාරිච්චි බෝරිච්චි) ‘ඇඩ‍්‍රැස් නෑ’ මල්ලී (ඇඩ‍්‍රස් නෑ) දක්වා මහා පරාසයකට පවතිනවා.

ප‍්‍රශ්නය – ඔබ විසින් රචනා කරන ලද ජනපි‍්‍රය ගීත කීපයක්ම ගම, ගමේ කම, ගැමි ජීවිත මුහුණ දෙන අනේක විධ සිදුවීම් වස්තු විෂය කරගත් ආකාරය මැනැවින් දක්නට ලැබෙනවා. ඒ කාරණා පිලිබඳව එතරම් හෘද සංවේදී වීමේ අරුමය කුමක්ද?

පිළිතුර – මා ගම සහ ජනශ‍්‍රැතිය ඇසුරෙන් ලියූ ගී වගේම දුප්පත් නාගරික දිවියේ අනුසාරයෙන් ලියූ ගීත තිබෙනවා. එහෙත් මා උපන් කළුතර දිස්ති‍්‍රක්කයේ ඈත මායිමේ යටගම්පිටිය ගමත්, ඉන්පසුව උපාධිය ලබා මා නිරත වූ වන සංගණන ව්‍යාපෘතියේදී මා ගත කළ වියළි කලාපයේ ගොවි බිම්, කටුසර වන්නිකරය, තෙත් කලාපීය වැසි වනාන්තර ආසන්න (සිංහ රාජය) ගම් නියම්ගම්වල දිවි ගත කරන ඇත්තන්ගේ චර්යා රටා, මුහුණ දෙන අත්දැකීම්, ජනශ‍්‍රැතිය හැසිරවීම, අව්‍යාජත්වය මගේ ගී මග සසල කර ඉන් ‘වෙනස්’ ගේය පද නිර්මාණකරණයක් සඳහා ඉඩ ප‍්‍රස්ථාව සලසා තිබුණා.

එනමුත් ජනශ‍්‍රැතිය ඇසුරේ, ජන ගීයේ, ගැමියන්ගේ ජනකතා, සිද්ධි ගවේෂණයෙන් ලබන පන්නරය මතින් බිහිවූ ගීත තුළ ප‍්‍රබල කතාවක් තිබෙනවා. ඒවාට ලැබෙන රසික ප‍්‍රතිචාරය වැඩියි. මිනිසා නගරයේ හිටියත්, මහල් නිවාසයේ හිටියත්, තරු පන්ති හෝටලයක හිටියත් ඉඩ ලැබුණු වෙලාවට ගමට, ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවලට සංචාරයේ යෙදෙනවා වගේම තමයි එය.

ප‍්‍රශ්නය – ප‍්‍රබල නිර්මාණ කටයුත්තක් වන ‘ගීතය’ පිණිස ගේය පද රචකයාගෙන් ඉටුවන කාර්ය භාරය සහ එහි හැඩරුව කුමන මුහුණුවරක් ගත යුතුද?

පිළිතුර – 60 දශකයේ පටන්ම අපි අනුකරණවාදී ගීත කලාවෙන් බැහැරවන්නට පටන් ගත්තා. එය ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වුණේ 70 දශකයේදීයි. 80, 90 දශකවලදී නව පරපුරක් ඉන් යහපත් ප‍්‍රතිඵල නෙළා ගත්තා. මමත් දශක හතරහමාරක් (අවුරුදු 46 ක්) අත්විඳින්නේ ඒ සුවඳයි. නව කතාව, චිත‍්‍රපට වේදිකා නාට්‍යය, කෙටි කතාව, කවිය සහ ගීතය යන මාධ්‍ය තුළින් අපි රසික ප‍්‍රජාව ඉතා බලසම්පන්න තැනකට ගෙන ආවා. නිදහසෙන් පසු මේ දශක 7 තුළ වේදිකා නාට්‍ය, සිනමාව වැනි මාධ්‍ය වරින්වර කඩා වැටුණා. අවරගනයේ නිර්මාණ හතු පිපෙන්නා සේ පැමිණියා. නවකතාව මේ රැල්ලට ගොදුරු වුවත් (කාම කතා) නැවත නැඟී සිටියා. කෙටි කතාව, කවිය සහ ගීතය එසේ නොවී ක‍්‍රමයෙන් ප‍්‍රබල රසික පර්ශදයක් වෙත ළඟ වුණා. ගීතය විනාශ කිරීමේ වෙළෙඳ අරමුණු ඇති පිරිසක් නැත්තේ නොවෙයි. එහෙත් මේ දශක ගණන පුරා ගීතය ‘පරෙස්සම්’ කළ යුතු කලා මාධ්‍යයක් ලෙස සිතා කටයුතු කරන සංගීත නිර්මාණකරුවන්, ගායන ශිල්පී ශිල්පිනීන් සේම ප‍්‍රබලව නැඟී සිටින ගේය පද රචක පරපුරක් අප සතුයි.

මේ සියල්ලන්ම ගීතය යන කලා මාධ්‍යය තුළ සංගීතකරුවා සහ ගායන ශිල්පියා යන චරිත දෙකට සමාගමී වන පරිදි නිර්මාණාත්මක පිවිසුමකට එළඹ සිටීම ප‍්‍රබල ගීතයකට හේතු කාරනා වනවා. ඔවුන්ගේ වදන් හා භාෂා භාවිතය, අත්දැකීම් හා සංදර්භයන්හි අපූර්වත්වය, නිසි විරිත් යොදා ගැනීම, සුගායුනීය ආකාරයෙන් තේමාව ගොඩනැඟීම සහ ප‍්‍රහේලිකාමය බවින් තොරවීම, කවියෙන් ගීතය වෙන්කොට හඳුනාගෙන, කාව්‍යමය සහ ගීතමය ආකාරයෙන් විනාඩි 3-4 කාල පරාසයක ශ‍්‍රවණය කළ හැකි අයුරින් පද සංඝටනය වැනි දේ නිසා රචකයා ප‍්‍රබල ස්ථානයක පිහිටා කි‍්‍රයා කරනවා පමණක් නොවෙයි සංගීත නිර්මාණකරුවාට අති මහඟු අත්වැළක් සපයනවා ඉතා මනහර සංගීත රචනාවක් නිමවන්නට. ඉතින් ගායන ශිල්පියාට ඇත්තේ මේ මනෝභාවයන් දැන හඳුනාගෙන ඊට ආවේෂ වී ගායනා කිරීමයි.

ප‍්‍රශ්නය – හරවත් සාරවත් දේශීය සංගීත සංස්කෘතියක් බිහි කිරීම පිණිස කලක් ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව දැවැන්ත වැඩ කොටසක් සිදුකළ ආයතනයක්. ඔබ නිර්මාණ ක්‍ෂේත‍්‍රයට පිවිසෙන කාල වකවානුව වන විට ගීතය සම්බන්ධයෙන් නිර්මාණකරුවන්, ශ‍්‍රාවකයන් සහ ගුවන්විදුලිය කියන කලාප තුන අතරේ පැවතුනේ මොන වගේ සහ සම්බන්ධයක්ද?

පිළිතුර – කෙටියෙන්ම ගමේ විධියට කියනවා නම් ‘ගහට පොත්ත’ වගේ සම්බන්ධයක් එකල තිබුණේ. 70 දශකය පටන් ගැන්මේදීම, එකල සමගි පෙරමුණ රජය විසින් දේශයේ ජනතා වින්දනය අවදි කරවීමට අති දැවැන්ත ව්‍යයාමයක යෙදුණා. ඒ අනුව රිජ්වේ තිලකරත්න නම් කෘතහස්ත පරිපාලන සේවයේ ප‍්‍රබල චරිතය ජාතික ගුවන්විදුලියේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස පත්කෙරුණා. එකල පෞද්ගලික ගුවන් විදුලි නාලිකා හෝ රූපවාහිනිය නොතිබූ නිසා දිවයිනේ සියලූ ශ‍්‍රාවකයන්ම රොද බැඳුණේ ජාතික ගුවන්විදුලිය සමගිනුයි. රිජ්වේ තිලකරත්නයන් අපේ ශ‍්‍රාවකයන්ගේ රසමනස පුබුදු කරන අයුරින් සෑම වැඩසටහනක්ම ප‍්‍රතිසංවිධානය කළා.

ඉන්පසුව ප‍්‍රාදේශීය ජාතික නාලිකා ස්ථාපනය වුණා. රජරට සේවය, රුහුණු සේවය වගේ. ඒවා තුළිනුත් අති දක්‍ෂ නිර්මාණකරුවන් ජාතික තලයට එක්කාසු වුණේ ඉතා යහපත් ගීත කලාවකට ඔවුන්ගේ දායකත්වය සැපයූවා.

ප‍්‍රශ්නය – සිංහල සිනමා සහ ටෙලි නාට්‍ය තුළින් දෘෂ්‍ය ආකාරයෙන් රසවිඳි ගීතය, නූතන තාක්‍ෂණයත් සමග ගීතයේ හතරවන මානයක් ලෙස රූප රචනය අත්‍යවශ්‍ය යැයි ඇතමෙක් මත පළකරනවා. ඒ ගැන ඔබේ අදහස.

පිළිතුර – ගීතය සාකල්‍යයෙන්ම ශ‍්‍රව්‍ය ගෝචර කලාවක්. නමුත් එහි ප‍්‍රාසාංගික හැඩතල නිරායාසයෙන් ඇති බැවින් අප එම ගායනාවන් සජීවී ලෙස, වාදක මඬුල්ලක් අභිමුවේ ප‍්‍රසංගාකාරයෙන් දකින්නට පුරුදු වුණා. ඉන්දියාවේ ගසල් ශෛල්‍යය, අපේ නාඩගම්, කෝලම්, නාට්‍ය ගී ඊට හොඳ උදාහරණ. ඉන්පසුව එනම් 90 දශකයේදී රූපමාධ්‍යය සහ ප‍්‍රාසාංගික ගීත නිර්මාණවලදී නර්තනාංග ඊට එක්වූවා. එහෙත් කිසියම් ශික්‍ෂණයක් හා හැදෑරීමක් අනුව. ඉන්පසු මහජන ප‍්‍රසංගවලදී රිද්මයට සරිලන රංගන හා නර්තන නිසා එය අවරගනයට ඇදී ගියා. ගීතය වෙනුවෙන් රූප රචනය සාර්ථකව යොදා නිර්මාණයට තවත් උත්කර්ෂයක් සපයන්නට ජාතික රූපවාහිනියේ නිර්මාණකරුවන් ස්වෙච්ඡුාවෙන් පෙළඹුණා. මියුරු සර වසන්තයේ ගී, බක්මාසේ මල් මංගල්ලේ, නඳුන් උයන, මනෝහරි වැනි වැඩසටහන් තුළින් සැඟවී යෑමේ අවදානමට ලක්වී සිටි ප‍්‍රබල ගීත යළි කල එළි පැමිණියා. උදාහරණ ලෙස ආචාර්ය නන්දා මාලිනිය ගැයූ ‘සකුරා මල් පිපිලා’ ගීතයේ රූප රචනය පෙන්වා දෙන්න පුළුවන් .

ඉන් පසුව මෙය ව්‍යාපාරික ප‍්‍රජාව අතට පත්වූවා. ඕනෑම ගීතයකට රූප රචනය සඳහා එක් එක් මිල ප‍්‍රමාණ අනුව ලන්සු තියන ක‍්‍රමයට එය අනුගත වුණා. එය ම`ගුල් පෝරුව, විවාහ වීඩියෝව වැනි උපයන මාර්ගයකට අවතීර්ණ වෙද්දී අරුතින් පොහොසත් නැති, වියදම් කරන්නට හැකි අයගේ ගීත මේ ධාරාව ඔස්සේ යූ නාලිකා, සමාජ මාධ්‍ය සහ සමහර රූපවාහිනි නාලිකා හරහා ඔසවා තැබුවා. නමුත් හරසුන් දේට පැවැත්ම අඩුයි. එබැවින් අද රූප රචනය සීමාසහිත වෙලා. හරවත් දේ ශ‍්‍රවණ මාධ්‍යයෙන් තවමත් බුද්ධිමත් රසිකයන් වැළඳ ගන්නවා.

ප‍්‍රශ්නය – ඔබේ නිර්මාණ ජීවිතය පිළිබඳ නැවත අවධානය යොමු කළොත් චිත‍්‍රපට, ටෙලි නාට්‍ය ගීතය තුළ ඔබ තව තවත් සාර්ථක වන ආකාරයන් දැක ගැනීමට පුළුවන්. එම පරිවර්තනය සිද්ධවෙන්නේ කොහොමද?

පිළිතුර – එයට පිළිතුරු දෙකක් කිව හැකියි. සරල ගීයෙන් මගේ ගී මග හඳුනාගත් සහ මගේ ප‍්‍රතිභාව ගැන විමසා බැලූ අධ්‍යක්‍ෂවරුන් මා ටෙලි නාට්‍ය සහ සිනමා ගී රචනයට තෝරා ගත්තේ මගේ පෞද්ගලික දැන හැඳුනුම් කමින් තොරවයි. මට ලැබුණු ප‍්‍රථම ටෙලි නාට්‍ය තේමා ගීතය, සුරන්ජන් විජේනාම තම ප‍්‍රතිභාපූර්ණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයාගේ, ‘නොමැරෙන මිනිස්සු’ වෘත්තාන්තයට එතුමාව ප‍්‍රබල ගේයපද රචකයකු ප‍්‍රතික්‍ෂේප කළ විට ඔහු එවකට ටෙලි නාට්‍ය ගීත රචනයට ආගන්තුකයකු වූ මාව තෝරා ගන්නවා. එය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්, ගැයුවේ පණ්ඩිත් අමරදේවයන්. මට ස්ථිර පාර ලෙස නැඟී සිටින්න ඒ ‘ඉන්දු දිගින් පිපුනත්’ ගීතය ඉවහල් වුණා. ඒ වගේම මගේ ගී රචනා විධි අධ්‍යයනය කළ ජ්‍යෙෂ්ඨ සිනමාවේදී එච්. ඞී. පේ‍්‍රමරත්නයන් එතුමා ගේ ‘සප්ත කන්‍යා’ සිනමා නිර්මාණයේ තේමා ගීතය ලියන්නට මා තෝරා ගන්නවා. ‘දූවිල්ලෙන් වත්සුණු තවරා’ ගීතය සංගීතවත් කළේත් ආචාර්ය රෝහණ වීරසිංහ. ඒ මගේ කුළුඳුල් සිනමා ගීතයට 1994 වසරේ ජනාධිපති සිනමා සම්මාන සහ ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල ද්විත්වයේම විශිෂ්ඨතම සිනමා ගීත රචනය සම්මානය ලැබෙනවා. එතැන් පටන් ප‍්‍රතිභාවන්ත සිනමා සහ ටෙලි අධ්‍යක්‍ෂවරු ඔවුනගේ නිර්මාණ සඳහා ගේය පද රචනය මට පවරනවා. මා නිසා ඒ ටෙලි නිර්මාණ සංගීත, ගායන, පද යන තුන් අයුරින් වරින්වර සම්මානයට බඳුන් වෙනවා.

සංවාදය : රුවන් ජයවර්ධන

ශිල්ප සොඳින් …

ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොලම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි
මට නුඹ නැති හන්දා මන් තනියේ

හැන්දෑ අවරට දැක්කද නන්ගො
තුරුලූ වෙලා ඉන්නා ජෝඩු
රන්චු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට නුඹ කිරි කෝඩු

නාමල් සුවඳක් පෙරදා වගේ
අද නෑ නොවැ ඇල ඉස්මත්තේ
නාමල් සුවඳට බඹරු ඇදේදෝ
මග තොට යනෙනා වාරේ

ශිල්ප සොඳින්…..

ගායනය – සුනිල් එදිරිසිංහ

දූවිල්ලෙන් වත්සුණු ….

දූවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ
වහස් බැලූම් දෙන හැන්දෑවේ
නන්නාඳුනනා
කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේෂයක්

කොඳුරාවී රහසින්
ආ ගිය උන්හිටි තැන් සඟවා
ගිනිකඳු සිරසේ
මලපුඩු අතරේ
කැදලි සදාවී
මොණර කිරිල්ලී….

රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවණැල්ලේ
සිත ඇති
කය නැති
මිටියාවත ඉවුරේ
වහස් බැලූම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී
මොණර කිරිල්ලී….

සැඩ සුළඟේ
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන් කිරි කඳුලේ
සිහින දකීවී මොණර කිරිල්ලී///

ගායනය – මොරිස් විජේසිංහ

රූකඩ මඩු යාග …

රූකඩ මඩු යාග පොලේ
කෝල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් //

ඈත ලන්ද දිය මංකඩ
බෝම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ලොලේ පිණි කදුලේ නිතර රැදි උන් බඹරින්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
රූකඩ මඩු …

යාය පුරා මල් උතුරා
කෝල දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න
දෑත වනන්නා
නිබ`ද මගේ පිරුණු සෙනේ
නුඹ නොදනි මල්මද ලන්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

රූකඩ මඩු …

ගායනය – වික්ටර් රත්නායක

වෙරළු ගෙඩිය හරි ….

වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන

පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසා ගෙන//
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන…..

තිරිසන් උනෝතින් කිසි හවු හරන නැතී
ලන්දක කකා ලන්දක කල් යල් අරිතී//
එක මිහි සයන කාටත් නිති සුවය දෙතී
බිම් පංගුවට ලොල් වී මල ගම නොයතී

වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන…..

ගායනය – සුනිල් එදිරිසිංහ

ගීතය පරෙස්සම් කළ යුතු කලා මාධ්‍යයක්
advertistmentadvertistment
advertistmentadvertistment