ගීත ලිවීමේ හැකියාව මට සොබාදහමෙන් දුන්නු පරිත්‍යාගයක් – නලිනි කාංචනා මුණසිංහ

213

මලක් වී මනරම් සුවඳ දුන් මට සැබැවින්
ගඟක් සේ වියැලුනු හදට ගෙනදුන් සැනසුම්
මද සුළඟක් ව හමනා විඩාබර සිත සනසන්
එපා යන්නට හැරදා නුඹ මයි මගේ ලොව දිවිය දුන්


“පෙම්වතා ජීවත්වන්නේ දුර බැහැරකය. හැර නොගියද මේ දුරස්වීම පවා දරාගත නොහැක. මද සුළඟක්ව හෝ පැමිණ ගත දැවටෙන්නේ නම් එයද” සැපතකි. ප්‍රේමයේ මද වියෝව වුව දරාගත නොහැකි බව එතරම් මනරම් ලෙස” ප්‍රේමාතුරයන්ගේ හද කම්පිත වනසේ පදවැලකට ගොනු කිරීමම අරුමයකි.” මේ අදත් හෙටත් ප්‍රේමයෙන් බැඳෙනවුන්ගේ තේමා ගීතයම යැයි අපි සිතමු. මේ පදවැලට අකුරු අමුණන ඇය ගැන ඔබ දැනගත යුතුය.

බැංකු ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් හොබවන” ප්‍රකට සමාජ සේවිකාවක වන ඇය නලිනි කාංචනා මුණසිංහ ය. නලිනි සමඟ කළ කතා බහ පෙළ ගැසෙන්නේ මෙලෙසය.

ඔබ කළමනාකරණය නියෝජනය කරන බැංකු නිලධාරිණියක් වුණත් කලා ක්ෂේත්‍රයේ යම් යම් ඉසව්වල නිතර දකින්නට ලැබෙනවා. කොහොමද මේ රැකියා කටයුතු සහ කලා කටයුතු දෙක කළමනාකරණය කරගන්නේ…

මම හිතන්නේ ගීත ලිවීමේ හැකියාව මට සොබාදහමෙන් දුන්නු පරිත්‍යාගයක් විදියට. ඒක නිසා මම ඒ දේට ගොඩක් ආදරේ කරනවා. ඕනෙම වෙලාවක මොකක් හරි අදහසක් එන්න පුළුවන් නිසා මම හැමවෙලේම පොතකුයි පෑනකුයි ළඟ තියාගෙන ඉන්නේ. මට මොකක් හරි අදහසක්” ගීතයක කොටසක් හිතට ආපු ගමන්ම මම ඒක දිනේ දාලා ලියාගන්නවා. ප්‍රවීණ ගීත රචකයො වගේ මේසයක් ළඟට වෙලා එකම වෙලාවේ ගීතයක් ලියලා ඉවර කරන්න මට අමාරුයි. මොකද මගේ වෘත්තියත් එක්ක මම කාර්යබහුලයි. මම තවමත් මගේ අධ්‍යාපන කටයුතුවලට නියැලෙන නිසා තවත් කාර්යබහුලයි. ඒක නිසා සම්පූර්ණයෙන්ම ගීතයක් ලියලා ඉවර කරන්න ටික කාලයක් ගත වෙනවා. කලාවත්” රැකියාවත්” ගෘහ ජිවිතයත් සමබරව කරගෙන යන්න හැකියාවක් මට තියෙනවා. මොකද කළමනාකරණය කියන්නේ මම ඉගෙන ගත්තු සහ මම කරන මගේ වෘත්තිය නිසා.

ගීත රචනයට මෙච්චරම කැමති ඇයි?

මම මුලිනුත් කිව්වා වගේ මේ හැකියාව සොබාදහම දුන් තෑග්ගක්. ඒ විතරක් නෙවෙයි මගේ අම්මා” පුංචි අම්මා මේ හැමෝම කවි ලිව්වා” බොහොම නිර්මාණශිලිව හිතුවා. ඉතිං ඒ හැකියාව මටත් දෙවියෝ දීලා. මම මුලින් ලීවේ කවි” නිසඳැස්. පස්සේ මට 2013 දී මහජන බැංකුවේ රේගු සේවා මධ්‍යස්ථානයේදී ‘උපාලි මල්දෙණිය. කියන රේගු නිලධාරි මහත්මයා මුණ ගැහෙනවා. ඔහු මට කියනවා” සිංදුවකුත් ලියලා බලන්න කියලා. මේ කතාව මට පොඩි දිරියක් ඇති කරපු දෙයක්. ඒ මහත්මයාගේ වචනය නිසාම මම ගීතයක් ලිව්වා. කොහොම හරි එදා ඉඳන් අද වනතුරුත් මම ගීත ලියනවා. මේ ගමන එන්න මට බොහෝ අය උදවු කරලා තියෙනවා. වෙන් වෙන් වශයෙන් නම් සඳහන් කරන්න බැරි එක නමක් හෝ මගහැරුණොත් ඒක හොඳ නැති නිසයි. කොහොම හරි සොබාදහම දුන්න තෑග්ග නිසා අද මම හැමෝගෙම ආදරය ලබන තැනක ඉන්නවා. ඒ ගැන මට සතුටුයි.

මේ වන විට රචනා කර ඇති ගීත සහ ඒවා ගායනා කර ඇති ගායක ගායිකාවන් කවුද?

මේ වෙනකොට මම ගීත සියයක් පමණ ලියා තිබෙනවා. ඒත් එයින් පටිගත කිරීමටත් එළිදැක්වීමටත් හැකිවුණේ ගීත දහයක් පමණ සංඛ්‍යාවක් පමණයි. හේතුව ගීත පටිගත කරන්න ලොකු මුදලක් වැය වෙන නිසා.

එයින් ගොඩක්ම ජනප්‍රිය වුණේ සෙනෙවිරත්න වන්නිනායක මහතා සහ නිපුනි නයනතරා මහත්මිය ගායනා කළ “ආදරේ සොඳුරු බව” ගීතයයි. ඒ වගේම නිර්මලා රණතුංග මහත්මිය ගායනා කළ ‘මලක් වී මනරම්. ගීතයත් රසිකයන් අතරට ගියා. ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය” සුභානි හර්ෂනී මහත්මිය ගායනා කළ ගීතත් මේ අතර තියෙනවා. මම හිතන්නේ මගේ ගීත සුභාවිත ගීත ගනයට වැටෙන නිසා ජනප්‍රිය වෙන්නේ හෙමින්. ඉක්මනින් ජනප්‍රිය වෙන්න වුවමනාවකුත් මට නැහැ.

මල්මි රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment