ගී ගෙත්තම

208

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වසින්නට ඉස්සර අහසේ
වලාකුළෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන්දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන්, බැලුවා…

ගල මතුපිට මල පිපෙන්න
මල වට බමරිඳු නටන්න
වැහිවැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න…”
ගලා හැලෙන වැහිවතුර වගේ ..නුඹ
හිනාවෙයන් කළු…හිනාවෙයන්.
වෙලා මගේ හිත, ඉනාවකින් තව
හිනාවෙයන් කළු…හිනාවෙයන්..

මෑත කාලයේ බ්ලොග් අඩවි ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලවල විවිධ අවිචාරකයන් අතින් බෙහෙවින් කෙළෙසීමට හා අපයෝජනයට ලක්වුණු ගීතයකි, මේ.

ඊනියා පණ්ඩිතයන්ට අනුව මේ ගීතයෙන් කියැවෙන්නේ කාන්තාවක ගේ ඔසප් දින ගැන ය. ඈ දින 3ක් අමනාපව, සිටින්නී, ඔසප්වීම නිසා ය. ඒ නම් අරුම පුදුම අමනාපයකි.

මෙරට ගීත ඉතිහාසය, විමර්ශනය කරන විට 50, 60, 70 දශකවල ගීත පද රචකයන්, වඩාත් වැර දරා තිබෙන්නේ, මිනිසා සහ සොබාදහම අතර තිබෙන සහජීවනය පිළිබඳ ව සෞන්දර්යාත්මක ඇසින්
බලන්නට ය. එය එකල සමාජ සන්දර්භයානුගත යථාර්ථයකි.

“ඉරහඳ පායන ලෝකේ
ආලෝකය අතරේ…”

“සීතළ වතුර ගලයි..”
සිතුවිලි තරඟ නටයි…”

“සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ”….

“ගලන දොලේ පෙණ, බුබුලයි
ආදරේ ”…..

එහෙත් මෑතක සිට ප්‍රසිද්ධිය පතා සමාජ මාධ්‍යවලින් විවිධ මනස්ගාත ප්‍රචාරය කරමින් සිටින බහුබූත ලියන්නෝ මෙවැනි විශිෂ්ට ගීත අමු අමුවේ ඝාතනය කළ හ. ඒවා ඔසප් ගීත, සමලිංගික ගීත, ස්වයං වින්දන ගීත ආදී වශයෙන් අත්තනෝමතික ලෙස හංවඩු ගසමින් ඇති පමණට කෙළෙසූ හ.

එවැනි කලෙක කාන්තාවන්ගේ ඔසප්වීම, පිළිබඳව ගී පද රචනා, කරන්නට නම්, අදාළ රචකයා ප්‍රසව හා නාරිවේද ඔස්තාර් කෙනෙකු විය යුතු ය. මේ ගීත විචාරක ඔස්තාර්ලාට අනුව කාන්තාවන්ට ඔසප්වීම ඇරඹී දින 3ක් ගත වන විට ම ඇයගේ රාගික සිතුවිලි අවදි වේ.

ඒ අනුව, “වක්කඩ ළඟ” නම් වූ ගීතයට පාදක වී ඇත්තේ කවරක් විය හැකි ද?

අපගේ තාර්කික අවබෝධයට අනුව, මේ ගීතයෙන් කියැවෙන්නේ “හමල් මරු ජහස්සු යූ හස්සන් දල්ලා” මැයෙන් වූ සීගිරි ගී ය විස්තීර්ණ කොට ගැයීමෙකි.

උක්ත සීගිරි ගීයේ සරල අරුත මෙබඳු ය.

“ළඳුනි, කොවුලන් ගී ගයන මඳසුළඟ හමන, තුරුඅතු අග නව දලුලන මේ වැසි සමයෙහි තොපගේ දිගැසින් එල්ල වන බැල්ම නමැති හසුනින් පමණක් අපට කවර ඵලයක් ද?”

ඒ අනුව, මහගමසේකර විසින් යථෝක්ත අදහස විස්තීර්ණ කොට රවනා කෙරුණු බවක් අපට පෙනී යයි.

සීගිරියේ මේඝලතාවක මෙන් ම, ගීතයේ කථකයා ද, අමතන්නේ කාල වර්ණ කාන්තාවකට ය. එසේම, වලාකුළෙන් විදුලිය කෙටීමත්, කාන්තාව ගේ ඇසිනෙල්ල වන නෝක්කාඩු බැල්මත් සමපාත කොට තිබේ. ඇය ද, “නගා ඉන්ද්‍රචාප, දෙබැම ඇසින් විදුලි මවන” ලියකි. සන්දර්භයානුගත ය.

එතැන් සිට, සීගිරි කවියා මෙන් නොව, මගමසේකරගේ ගීපද රචනයේ කථකයා කළු හා සම්භෝගසුවයෙහි ද ආසක්ත වෙයි.

“ගල මතුපිට මල පිපෙන්න
මල වට බමරිඳු රඟන්න..”

කළුගේ තදබල, සිත, මුදුමොළොක්වී, ඇය හා ප්‍රේමාලිංගනයෙහි යෙදීම, කථකයා ගේ අභිලාෂයයි. එමතු ද, නොව, එහි අවසානය උත්කර්ෂවත් නිමේෂයකි.

“ගලා හැලෙන වැහිවතුර වගේ නුඹ
හිනාවෙයන් කළු…හිනාවෙයන්.
වෙලා මගේ හිත, ඉනාවකින් තව
හිනාවෙයන් කළු…හිනාවයන්..”

කුමාර ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment