ගුටිකෙළි බලකෙළි අභියෝග මැද මැතිසබයේ මොනර ජවනිකා රඟදෙයි

453

ගැහුවොත් ගහනවා – මහින්දානන්ද

අපි ගහන්නේ වෙන විදිහකට තුනෙන් දෙක තියෙන්නේ අපේ අතේ – මෛත‍්‍රීපාල

මහින්දානන්ද පස්ස එළියෙ දාගෙන නටන මොනරෙක් – දයාසිරි

වත්මන් ජනාධිපතිගේ හා පෙර සිටි ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂයන් සම්බන්ධයෙන් පෙර දිනයක සන්සන්දනාත්මක අදහස් දැක්වීමක් පිළිබඳව ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, දයාසිරි ජයසේකර සහ මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරු විවේචනාත්මක වචන හුවමාරුවක නිරත වූහ.

එහිදී මෛති‍්‍රපාල සිරිසේන මහතාට පක්‍ෂව අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතාට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා ‘අපිට ගැහුවොත් අපිත් ගහනවා’යි පැවසූ අතර දයාසිරි ජයසේකර මහතා අලූත්ගමගේ ඇමැතිවරයා පස්ස එළියේ දමාගෙන නටන මොනරකු වගේ යැයි පැවැසීය.

මෙම සංවාදයේදී හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තමන් ගහන්නේ වෙනත් විදිහකට යැයි කීවේය.

ආණ්ඩු පක්ෂයේ දේශපාලන විරසක බව විදහා දක්වමින් ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවූ සංවාදය මෙසේය.

දයාසිරි ජයසේකර මහතා-

කථානායකුමා මට ඊයේ වෙලාව දීලා තිබුණා කතා කරන්න. ඒත් මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. ඒ නිසා මට අද වෙලාව දෙන්න.

කථානායක- ඒ ප‍්‍රශ්නය මීට පෙර කතා කරල ඉවර කළා.

දයාසිරි ජයසේකර මහතා-

නමුත් අද මට වෙලාවක් දෙන්න. මේ කතාව ඉවරයක් නෑ. ජනාධිපතිතුමා මේ ගැන ප‍්‍රකාශයක් කළා. නමුත් රෝහිත ඇමැතිතුමා ඊයේ කතා කරල තිබුණා. බිලියන ගණනක් වෙන් කරලා කිව්වා. ඒවාට උත්තර දෙන්න ඕනෑ.

කථානායක- ඔය ප‍්‍රශ්නය මේ මොහොතේ ගන්න එපා.

මෛති‍්‍රපාල සිරිසේන මහතා-

දයාසිරි ජයසේකර නියෝජ්‍ය ඇමැතිතුමා ප‍්‍රකාශයක් කරන්න කාලයක් ඉල්ලූවේ පෙරේදා පැවැති ශී‍්‍රලනිප මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීමෙන් පසුවයි. ඊට හේතුව කෘෂිකර්ම ඇමැතිවරයා මේ සභාවේ කළ කතාවක් ගැන. මම පිළිතුරු දුන්නා, ඒත් ඊට පසුව නැවතත් කෘෂිකර්ම ඇමැතිවරයා ප‍්‍රකාශ කළා නිවස ගැන. ඒක සම්පූර්ණ අසත්‍යයක්. නමුත් ඊට පක්‍ෂව පසුගිය අඟහරුවාදා ජනාධිපති වැයශීර්ෂය වෙලාවේ කෘෂිකර්ම ඇමැතිවරයා කිව්වා හිටපු ජනාධිපති වාහන 200 ක් භාවිතා කළා කියලා. වාහන 200 ක් භාවිතා කරන්නේ කොහොමද? මට වාහන 04 යි වෙන්කරල තිබුණේ.

මම බිලියන 3.2 ක් වෙන් කරගෙන මුදල් විනාශ කළා කිව්වා. මගේ කාලයේ ප‍්‍රධාන ව්‍යාපෘති හතක් කි‍්‍රයාත්මක කළා. ඒ ව්‍යාපෘති අද කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. පරිසර, මත්ද්‍රව්‍ය, දරුවන් පිළිබඳ, ස්මාට් ශී‍්‍ර ලංකා, ජාතික වකුගඩු, ශ‍්‍රම ශක්ති වැනි ප‍්‍රධාන ව්‍යාපෘති හතක් කි‍්‍රයාත්මක වුණා. මම ආණ්ඩුවේ මන්තී‍්‍රවරයෙක් වෙලත් මේ විදිහට මඩ සහ අවලාද නැඟීම සුදුසු නෑ. මේ ගැන සභානායකත් ප‍්‍රධාන සංවිධායකතුමාත් අවධානය දැක්විය යුතුයි. මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීම වැරදියි. ශී‍්‍රලනිපයේ මන්තී‍්‍රවරු 14 ක් ඉන්නවා. 3/2 බලය රැුඳිලා තිබෙන්නේ අපේ අතෙයි.

දයාසිරි ජයසේකර මහතා-

මහින්දානන්ද ඇමැතිතුමා ඒ වගේ ප‍්‍රකාශ ගණනාවක් කළා. එතුමා බිලියන ගණනක් වෙන් කරගෙන කිව්වා. නමුත් අපි කියන්න ඕන මෛති‍්‍රපාල ජනාධිපතිතුමා ව්‍යාපෘති ගණනාවක් කි‍්‍රයාත්මක කළා. නමුත් අද ඒවා කි‍්‍රයාත්මක වෙන්නේ නෑ.

ග‍්‍රාම ශක්ති වැඩසටහන සමෘද්ධි අමත්‍යාංශයට ඇතුළත් කරලා. ඒ නිසා ඒ වියදම ජනාධිපතිට නෑ. වකුගඩු ව්‍යාපෘතිය අද නෑ. පරිසරය සුරැුකීමේ ව්‍යාපෘතිය, කාබනික පොහොර වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ බළකාය, හිටපු ජනාධිපතිතුමා හැදුවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභා කිහිපයක් වගේම පාස්කු කොමිසමේ වියදමත් ගියේ හිටපු ජනාධිපතිතුමාට. හිටපු ජනාධිපතිතුමා තමන්ගේ බලය පාර්ලිමේන්තුවට දුන්නා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාව අගමැතිත් කළා. වාහන ගැන කිව්වා. ජනාධිපතිවරයකුට වෙන්වෙන වාහන ගැන කිව්වා. මේවා ගැන අපි දන්නවා. අපි බබ්බු නොවෙයි. මහින්දානන්ද ඇමැතිතුමා මේ පළවෙනි වතාවට නොවෙයි මෙහෙම කිව්වේ. මේ ආණ්ඩුවේ අපේ මන්තී‍්‍රවරු 14 ක් ඉන්නවා. අපි කියන්න ඕන හිටපු ජනාධිපතිතුමාට මේ වගේ මඩ ගහන්න දෙන්නේ නෑ කියලා. මහින්දානන්ද අලූත්ගමගේ අද මොනරෙක් වගේ පිල් විහිදාගෙන තමයි ඉන්නේ. නමුත් පස්ස එළියේ. මොනරා නටනවා පස්ස එළියේ. ඔය වළ හෑරෙනකොට කලින් හිටපු ජනාධිපතිවරුන්ගේ කුණු ගඳ ඒවි. ආණ්ඩුවේ කොටස්කාරයෝ විදිහට අපි ඉන්නවා. හැබැයි අපේ පක්‍ෂ නායකයාට ගහල මේ වැඬේ කරගෙන යන්න එපා. මොකද එතුමා හිටපු ජනාධිපති. පොළොන්නරුවෙන් වැඩිම මනාප අරගෙන මේ සභාවට ආවේ.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා-

සාමාන්‍ය සම්ප‍්‍රදායක් තිබෙනවා, යම් මන්තී‍්‍රවරයෙක් ගැන කරුණු කියනවා නම් ඊට පෙර ඔහුට දැනුම් දීලා ඉන්න. මහින්දානන්ද ඇමැතිතුමා ගැන කරුණු කියනවා නම් ඒ ගැන එතුමාටත් ඇවිත් කරුණු කියන්න පුළුවන්. ජනාධිපති වැයශීර්ෂය සම්බන්ධයෙන් විවාදයේදී හිටපු ජනාධිපතිතුමාගේ නම කියවුණා කියලා මම විශ්වාස කරන්නේ නෑ. වත්මන් ජනාධිපතිතුමාගේ ආදර්ශවත් වැඩපිළිවෙළ ගැන තමයි අදහස් ප‍්‍රකාශ වුණේ. එදා නම් සම්ප‍්‍රදාය වුණේ හිටපු ජනාධිපතිවරයෙක් ගැන කරුණු සඳහන් කරන්නෙත් නෑ. ඒ වගේම, ආණ්ඩුව සමග ශී‍්‍රලනිපය තිබෙන අර්බුදයක් කියලා මෙය ගණන් ගත යුතු නෑ. වත්මන් ජනාධිපතිතුමා පිටරට යනවිට අතිරේක කවුරු හරි යනවා නම් අතින් තමයි ගෙවල එක්ක ගියේ. මේක පක්ෂ අතර ප‍්‍රශ්නයක් නොවෙයි. අදාළ මන්තී‍්‍රවරයා සභාවට ඇවිත් ඉන්න වෙලාවක කතා කිරිම තමයි වඩා හොඳ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා – මම මේ සභාවේ නොසිටි අවස්ථාවක දයාසිරි ජයසේකර මහතා මගේ නම සඳහන් කරල කියල තිබුණා වළ හාරන කොට ගඳ ගොඩක් එයි කියලා. මම අර්ජුන් ඇලොසියස්ගේ චෙක් ගැන කතා කරන්න යන්නේ නෑ. මම අයවැය විවාදයේදී ජනාධිපති වැයශීර්ෂයේදී අදහස් දැක්වූවා. හිටපු ජනාධිපති සහ වත්මන් ජනාධිපතිතුමාගේ වැයශීර්ෂයන් දක්වමින්. මම වත්මන් ජනාධිපතිතුමාගේ වියදම් වගේම හිටපු ජනාධිපතිගේ වියදම් ගැන කතා කළා. ඒ තොරතුරු මම සභාගත කරනවා.

මම පැජට් පාරේ නිවාස තුනක් ගැන කිව්වා. මම ඒ ගැන තොරතුරු සභාගත කරනවා. අපිට ගැහුවොත් අපිත් ගහනවා.

අපි නපුංසකයෝ වෙන්නේ නෑ. මම එදා රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේදී කියන්න තියෙන දේ කිව්වා. ඇලෝසියස්ගේ සල්ලි අරගෙන ෆුට් නෝට් දැම්මේ නෑ. අපිට රණ්ඩු වෙන්න අවශ්‍යතාවක් නෑ. හිටියත් එකයි නැතත් එකයි. අපිට ගැහුවොත් අපිත් ගහනවා. මම අමාත්‍යාංශ වැඩක හිටියේ. ෂෙහාන්, සුමිත් මන්තී‍්‍රතුමාලා කිව්වා මට දොස් කියනවා කියලා. ඒකයි මම ආවේ. මම වැයශීර්ෂයන් සංසන්දනය කළා විතරයි. කාබනික පොහොර තීන්දුවත් එක්ක මම ඉන්නවා. පහුගිය උද්ඝෝෂණවලට සල්ලි දුන්නා. මම ඒ ගැන වැඩිය කියන්නේ නෑ.

මෛති‍්‍රපාල සිරිසේන මහතා – මහින්දානන්ද ඇමැතිතුමා සංවේදී අදහස් ප‍්‍රකාශ කළා. හිටපු ජනාධිපති ලෙස මටත් කතා කරන්න අයිතියක් තිබෙනවා. අපි නම් ගැහුවත් ගහන්නේ නෑ. ගහන්නේ වෙන විදිහකට. වත්මන් ජනාධිපතිතුමා ආදර්ශයක් ලබාදීලා තිබුණා. ඒක ප‍්‍රශ්නයක් නෑ. මගේ වැයශීර්ෂයන් අරගෙන තොරතුරු කිව්වේ මට පහර ගහන්න. මමත් ආදර්ශයක් දුන්නා 2015 දී. හිටපු ජනාධිපතිවරුන්ට වඩා හෙලිකොප්ටර් පාවිච්චි කරපුවා මම කිව්වේ නෑ. ගහගන්න ගියොත් මොන මොන තුවාල වෙයිද දන්නේ නෑ. ඒ කාලේ ආණ්ඩු කඩාගෙන ගිය හැටි අපි දන්නවා. තුනෙන් දෙකේ බලයක් ඇති ආණ්ඩුවක් කරනකොට බොහොම ප‍්‍රබුද්ධ ලෙස සිතන්න ඕනෑ. ආණ්ඩුව ඇතුළේ ගහගත්තහම මොකද වෙන්නේ කියලා අතීතයේ ආදර්ශ තිබෙනවා. අපිටත් කතා කරන්න පුළුවන්. ගහගන්න බෑ අපිට. අපි අහිංසක මිනිස්සු. අපේ දුමින්ද මන්තී‍්‍රතුමා කණ්ඩායම් රැුස්වීමේදී ඇහුවහම මොකක්ද මේ වාහන ප‍්‍රශ්නය කියලා මහින්දානන්ද ඇමැතිතුමා කියල තිබුණා දන්නැද්ද දුමී අපේ ලොක්කව නග්ගන්න කිව්වේ කියලා. ඒ නිසා අපි අපේ මට්ටම්වලට ගැළපෙන ලෙස කතාබහ කරමු. ඒ වගේම හොඳ අවබෝධයෙන් කතා කරමු. මගේ ගේ ගැන කතා කරනකොට අනෙක් අයගේ ඒවත් හොයාගෙන කතා කරන්න. මේ කොවිඞ් ප‍්‍රශ්නය නිසා ගුවන් ගමන් අඩු වුණා. ජාත්‍යන්තර සමුළු නැති වුණා. වත්මන් ජනාධිපතිතුමාගේ් කාර්යභාරය අගය කරනවා. කලින් ජනාධිපතිවරුන්ට සාපේක්ෂව මම වියදම් අඩු කරමින් කටයුතු කළා. ගොවි පෙළපාලි සංවිධානය කරලා හවස ශාඛා සමිති හැදුවා කිව්වා. මම කනගාටුවෙන් වුණත් කියන්න ඕන මේ මහින්දානන්ද ඇමැතිතුමා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, පාර්ලිමේන්තුවට, කැබිනට්ටුවට, ජනතාවට, ගොවියාට බොරු කිව්වා. ඒ නිසයි මේ ප‍්‍රශ්න ආවේ. ඔබතුමාගේ පඹයෝ ඔබතුමයි පුච්ච ගත්තේ. මගේ ළඟ බඩු තියෙනවා කියලා කියන කතා ගැන මම දන්නවා. මම අත්දැකීම් තිබෙන කෙනෙක් විදිහට මේවා ගැන උපේක්ෂාවෙන් බලන විදිහේ කෙනෙක්. අපි මිත‍්‍රශීලීව කටයුතු කරමු.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා – මම දුමින්ද ඇමැතිතුමාට දුරකථනයෙන් ස්පීකර් ෆෝන් දාලා අහන්නම්. එහෙම වුණාද කියලා. මම බොරු කිව්වේ නෑ. මම ප‍්‍රතිප්ත්තියක් විදිහට කාබනික පොහොර ප‍්‍රශ්නයේදී හිටියා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment