ගුත්තිල මගේ පළමු සහ අවසාන චිත්‍රපටයයි – එඩ්වඩ් ජයකොඩි

452

මට කිසිම කෙනෙක් සමග තරගයක් නෑ
එඩ්වඩ්ට මේක අලුත් දෙයක් නෙවෙයි – චරිතා

වෙනදා ඔහු සමග අපේ කතා බහ සිදුවන්නේ ගීතය ගැනය.. එහෙත් අප අද ඔහු සමග කරන කතා බහේ නිමිත්ත වන්නේ චිත්‍රපටයකි. එහි ඔහුගේ රංගනය ගැනය. මේ එඩ්වඩ් ජයකොඩි නම් නළුවාය.

රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බලබලා නෙතඟින් සබා
මම් කෙසේ පවසමි එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා

ගුත්තිල මගේ පළමු සහ අවසාන චිත්‍රපටයයි - එඩ්වඩ් ජයකොඩි

පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිලයේ කවි රස නොවින්දෝ වෙත්ද.? සිටිත් නම් ඒ අයටද මේ කාව්‍යයේ රසය ලබන්නට සිනමා කාව්‍යයක් මේ පොසොන් පෝදා සිට තිරයේ දිගහැරේ.

ගුත්තිල මූසිල ගුරු ගෝල සටනේ මූසිල ලෙස රඟන්නේ අඛිල ධනුද්දරය. ‘මීවිත’ පිළිසඳර ගුත්තිල ඇදුරුතුමාගේ භූමිකාවට පණ පොවන ඒ ප්‍රවීණ සංගීතඥ එඩ්වඩ් ජයකොඩි සමගය. චරිතා ප්‍රියදර්ශනී පීරිස් ද මේ පිළිසඳරට එක්වූවාය.

‘ගුත්තිල මගේ පළවෙනි සහ අවසාන චිත්‍රපටය..’ යැයි කියමින් ඔහු කතාබහ ආරම්භ කළේය.

ඇයි ඒ .,?

දැන් ඇති වගේ.

ගුත්තිල මගේ පළමු සහ අවසාන චිත්‍රපටයයි - එඩ්වඩ් ජයකොඩි

එක චිත්‍රපටයක රඟපාල රඟපාල ඇති වුණාද.?

නැහැ. ඒ නිසා නෙවෙයි ගුත්තිල චරිතය රඟපෑවට පස්සේ ඉතින් වෙන එකක් කරන්න ඕනේ නැහැ නේද?

කොහොමද ගුත්තල චරිතය රඟපාන්න අවස්ථාවක් ලැබුණෙ?

තිස්ස නාගොඩවිතාන මහත්තයා අවුරුදු ගාණක ඉඳල මගේ දිහා නිකන් අමුතු විදිහට බල බලා හිටියා. උත්සවවලදී හම්බ වුණාම මම ඉඳගන්න විදිය කන විදිය ඇවිදින විදිය මට තේරුණා නිකං එයා නිරීක්ෂණය කරන බව. ඕනවට වැඩියෙන් මං ගැන ටිකක් විමසිලිමත් වෙන බවක් තේරුණා. ඊට පස්සේ දවසක එක පාරටම කිව්වා අපි මේ චිත්‍රපටයක් කරනවා රඟපාන්න එන්න පුළුවන්ද” කියලා. මම කිව්වා “මොන” කියලා. ඊට පස්සේ ආයෙත් දවසක කිව්වා අපේ චිත්‍රපටයේ ගුත්තිලගේ චරිතෙට එන්න ඕනේ කියලා.. මම කිව්ව මේක මහා භයානක වැඩක් නේ කියලා. ඉන් පස්සෙ මම තිස්ස නාගොඩවිතාන මහත්තයව මග ඇර ඇර හිටිය. අවුරුදු හතරකට පහකට විතර පස්සෙ දවසක් ආයෙත් මුණ ගැහුණා. ‘එඩ්වඩ් ඔයා ගුත්තිල චරිතෙ කරන්නෙ නැත්නම් මම මේ චිත්‍රපටය කරන්නේ නැ කියලා කිව්වා. මට චිත්‍රපටය සංගීතය අධ්‍යක්ෂණය කරන්නත් කිව්වා. කොහොම හරි ඉතින් ඊට පස්සේ මම සංගීතය පැත්ත අත්හැරල රඟපාන්න කැමැති වුණා. සනත් අබේසේකරගේ පිටපත නිෂ්පාදනය කරන්නෙත් තරුණ යුවළක්නෙ. තිස්ස නාගොඩවිතාන මහත්තයාගේ පුතා හරේන් නාගොඩවිතානයි දිලිනි සිල්වායිනේ. තරුණ යුවළක් මේ වගේ ඓතිහාසික කතාවක් තෝරගත් එකත් ලොකු දෙයක් නෙ. මමත් ඉතින් බොහොම කැපවීමෙන් ඒ චරිතය අධ්‍යයනය කළා. මේක පාසල් විෂය නිර්දේශයටත් ඇතුළත් නේ. සංගීතය හදාරන සිසු දරුවන්ගේ ගී කියන කොටසක් ගුත්තිල කාව්‍යයට ඇතුළත්.

ගුත්තිල මගේ පළමු සහ අවසාන චිත්‍රපටයයි - එඩ්වඩ් ජයකොඩි

මන් මත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නද කරනා
සවනොත් සද පුරගන ලොබ දිවුනා
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා

● ඔබට වේදිකාවේ රංගනය අලුත් දෙයක් නොවේ. ඒත් චිත්‍රපටයක රඟපෑම, විශේෂයෙන් ගුත්තිල චරිතය අභියෝගයක් වුණේ නැද්ද.?

ඇත්ත. බෝසතාණන් වහන්සේ ගාන්ධර්ව කුලයේ ඉපදුනා. ඒ ගුත්තිල නමින්. එනිසා මේ චරිතය බොහොම කැපවීමෙන් ඉවසීමෙන් සංයමයෙන් කළ යුත්තක් වුණා.. කතාව හැමෝම දන්නවා ඒ වුණාට ඒකේ තියෙන සියුම් තැන් වගේම ඒ ඒ සිද්ධීන්වලට හේතු පාදක වූ වෙනත් කරුණු බොහෝම අපූරුවට සනත් අබේසේකර තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් සිදු කරලා තියෙනවා.

ඔබ වේදිකාවේ පළපුරුදු නළුවෙක්?

ඔව්. මම වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණට වේදිකාව සහ සිනමාව කියන්නේ මාධ්‍ය දෙකක් නේ. ගීත ගායනයත් බොහෝම අමාරු විෂයක් ඒ වගේම තමයි රඟපාන එක හරි අමාරු විෂයයක්. ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ ධම්ම ජාගොඩයන් යටතේ රංගනය හැදෑරුවා එතකොට මම විශ්වවිද්‍යාලයට යන කාලයේ. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මාව මේ රංග ශිල්ප ශාලිකාවට ඒ කාලේ යොමු කළේ මගේ පාසලේ මිත්‍රයෙක් වන ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න. ඔහු තමයි මාව රංගනයට පැන්නුවෙ. ඒ වගේම “ගුත්තිල” චිත්‍රපටයේ රඟපාපු සියලුම දෙනා වගේම සමුළු නිෂ්පාදන කණ්ඩායමම මට මේ චරිතය කරන්න ගොඩක් සහාය ලබා දුන්නා.

දැන් එතකොට මේ දවස්වල සංගීතය පැත්තෙන් වැඩකටයුතු කෙරෙන්නේ නැද්ද..

කොරෝනාවලින් පස්සේ මාරම්බරී එක දර්ශනයක් පසුගිය දවසක අනුරාධපුරයේ පැවැත්වූවා. ඉදිරියේදිත් ප්‍රසංග කීපයක් සැලසුම් කරලා තියෙනවා. ජූලි 29 වැනිදා ගම්පහ හෝලික්‍රොස් ශාලාවේත් පවත්වන්න සැලසුම් කරලා තියනවා.

● ගුත්තිල අවසන් චිත්‍රපට රංගනය බව කිව්වා. ඉදිරියේදී තවත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණොත් මොකද කරන්නේ?

ඒක ඉතිං ඒ වෙලාවට කල්පනා කරලා බලනවා. මේකත් ඉතින් මම හිතපු දෙයක් නෙවෙයිනේ. රඟපාන්න ආරාධනාවක් ලැබෙයි කියලා හිතුවෙත් නෑ මෙහෙම රඟපෑමක් කරයි කියලා හිතුවෙත් නෑ. පහුගිය දවසක අපි චිත්‍රපටය නැරඹුවා. ඒක දකිද්දී පොඩි උත්තේජනයකුත් තියෙනවා. ඒ ආයෙ රඟපානවා කියලා නෙමෙයි. මගේ කොටස හොඳින් කළා කියන විශ්වාසය තියෙනවා. මේ චිත්‍රපටය මම කළ චරිතයට දෙබස් උච්චාරණය කළෙත් මම පසුබිම් ගීත ගැයුවේත් මම. ගොඩක් චිත්‍රපටවල මේක තුන්දෙනෙක් කරනවා නේ. ඒ නිසා මේක ප්‍රේක්ෂකයාට ප්‍රබලව දැනෙයි කියලා මම හිතනවා.

චරිතා කැමති වුණාද රඟපානවට.?

ඔව් ඔව් එයාගේ අකමැත්තක් නෑ..

මූසිල ගුත්තිලට අභියෝග කළා වගේ ඔබේ ගෝලයෙක් අභියෝගයක් කළොත් ඔහු සමග තරගයකට එන්න කියලා ඔබ මොකද කරන්නේ.?

ඒක මම උපේක්ෂාවෙන් විඳ දරා ගන්නවා. සැබෑ ජීවිතයේ මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. ගෝලයා ගුරුවරයාට වඩා පියවරක් හෝ ඉදිරියට යනවා නම් මම කැමතියි. හැබැයි ගෝලයා එසේ ඉදිරියට යා යුත්තේ සාරධර්ම රැකගනිමින්.

“ඇත්තටම අපේ ශිෂ්‍යයන් අපට වඩා දියුණු විය යුතුයි. ඒ දෙස බලමින් සතුටු වෙන්න අපට පුළුවන් විය යුතුයි. යැයි කියමින් චරිතා ද පිළිසඳරට එක්වූවාය.

එඩ්වඩ්ගේ රංගනය ගැන ඔබේ අදහස..?

එඩ්වඩ්ට රංගනය අලුත් දෙයක් නෙවෙයි. ඔහු අංගාරා ගඟ ගලා බසී, මාවතේ අපි, සෙක්කුව, නරි බෑණා, ගජමන් පුවත, ස්පාටකස්, නාඩගංකාරයෝ, ඊඩිපස්, කො” වැනි වේදිකා නාට්‍ය රැසක රඟපාලා සම්මානත් ලබාගෙන තියෙනවා. ටෙලිනාට්‍ය කීපයකත් රඟපෑවා. ඒත් චිත්‍රපටයක කුළුඳුල් රංගනය. ගුත්තිල කාව්‍ය ජාතක කතාවක්. පාසල් විෂය නිර්දේශයටත් ඇතුළත් කාව්‍ය සංග්‍රහයක්. ඉතිහාසය වර්තමානය හරහා අනාගතයට රැගෙන යන්නට සනත් අබේසේකර විසින් ගන්නා උත්සාහය අගය කළ යුතුයි. මෙය අදට ඉතා ගැළපෙන කතාවක්. ගුරුවරයෙක් ලෙස එඩ්වඩ් කළ රංගනය අපට ඉතා හොඳින් දැනුනා. සංගීතයට සම්බන්ධ චිත්‍රපටයක් නිසා එඩ්වඩ්ට අලුතින් රඟපාන්න දෙයක් තිබුණේ නැහැ.

ඔබේ ක්ෂේත්‍රය ගැන කතා කළොත්, නිවේදන කටයුත්තේදී වේවා ගායනයේදී වේවා පෙර සූදානම කොතරම් වැදගත්ද. ?

පෙර සූදානම අවශ්‍යමයි. නිවේදිකාවක් විදිහට ගායිකාවක් විදිහට මම අනිවාර්යයෙන්ම පෙර සූදානමක් ඇතුවයි වැඩසටහනකට සහභාගි වෙන්නෙ. සමහර වෙලාවට එඩ්වඩ් පවා මගෙන් අහනවා මම වගේ නෙමෙයි ඔයා කලින්ම සූදානම් වෙනවා නේද කියලා. මට ඒක පුරුදු වෙලා.

නව පරපුර ගැන මොනවද හිතෙන්නේ.?

ප්‍රවීණයන් අපිට උදව් කරපු නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ ඒ නිසා අපිට හැකි හැම අවස්ථාවකම අපි නවක අයටත් උදව් කළ යුතුයි. අසාධාරණයක් වෙනවා නම් ප්‍රවීණ විදිහට අපි ඊට එරෙහිව නැඟීසිටින්න ඕනේ.

ඔබ අද ඉන්න තැන ගැන සතුටුද.. නැත්නම් තවත් ඉහළට යායුතුයි කියා හිතනවද.?

මම ගායන ශිල්පිනියක් විදිහට අද යම් තැනක ඉන්නව නම් එහි ගෞරවය හිමිවිය යුත්තේ එඩ්වඩ්ට. ඔහු තමයි හොඳ ගීත මට තෝරලා දීලා මාව මෙහෙය වූයේ. මට ගීත මහ ගොඩක් නැහැ අනන්‍යතාවක් ගොඩනඟාගන්න ගීත කිහිපයක් තිබුණොත් ඇති කියලා තමයි මම හිතන්නේ. කොච්චර අංක එක වුණත් අවසානයේ අපි මේ සියල්ලම දාලා යනවා. ඒ නිසා මැද මාවතේ ඉන්න එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. ජීවිතය පිනි බිඳක් වගේ. නිශ්චිත නැති ජීවිතයක් වෙනුවෙන් අපි මහා විශාල විදිහට පැතුම් පොදි බැඳගෙන ජීවත් වෙන්න වුවමනා නැහැනේ. හුදෙකලා වෙද්දි බොහෝ වෙලාවට අපේ සිත් චංචල වෙනවා. මේ සියල්ල කවද හරි නැති වෙනවා. මම අහස උසට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. අද දවසේ සතුටින් ජීවත්වන කෙනෙක්.

දුවයි, පුතායි සංගීත ක්ෂේත්‍රයේ වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ?

පුතා චන්දීප විවාහ වුණාට පස්සේ කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. එයා ගණිත අංශයෙන් තමයි ඔස්ටේ්‍රලියාවේ උපාධිය කළේ. දුව ශාරණ්‍යා ඔස්ටේ්‍රලියාවේ උපාධිය හදාරන්නේ සංගීත අංශයෙන්. ඒ දෙන්නත් ජනප්‍රියත්වය පසුපස යන්න එච්චර කැමති නැහැ ඒ දෙන්නම කියන්නේ එයාලට තව ගොඩක් කල් තියෙනවා කියලා. ඕනම මවකට දරුවෝ ළඟ නැති වුණහම එක දුකක්. දරුවොත් කාලෙකදී තමන්ගෙ ලෝකෙ හදාගන්න අපෙන් ඈත් වෙලා යනවා. අපි එක්කම දරුවෝ ඉන්න ඕනේ කියලා එයාලාව කොටු කරගන්න මම කැමති නෑ. අනෙක මම නම් දැන් නිතරම මරණය මෙනෙහි කරනවා. මරණයට වෙලාවක් කලාවක් නැහැනේ. යන්න වුණොත් යන්න ලෑස්තිවෙලා ඉන්න ඕනේ.

අජිත් අලහකෝන් නිව්යෝර්ක්

advertistmentadvertistment
advertistmentadvertistment