ගුප්ත විද්‍යාව හරියට දැනගනිමු

573

ගුප්ත විද්‍යාව, යන්ත්‍ර, මන්ත්‍ර, කෙම්ක්‍රම, බලි තොවිල්, වෙද හෙදකම් මෙන්ම ශාන්ති කර්ම යන විවිධ ක්‍ෂේත්‍ර වලින් සැදුම් ලත් එකකි. පැරැන්නන් මෙම ගුප්ත විද්‍යාවට ඉතා ගරු කළ අතර එය තම පණ මෙන් රක්‍ෂා කළහ. ගුප්ත විද්‍යාවේ එන අනෙකුත් ක්‍ෂේත්‍ර මෙන්ම මන්ත්‍ර ශාස්ත්‍රය මගින් යක්‍ෂයින්, ප්‍රේතයින්, භූතයින්ගෙන් පමණක් නොව වනයෙහි සිටින විෂ ගෝර දරුණු සතුන්ගෙන් ද ආරක්‍ෂා වීමට යොදා ගත්හ.

විදේශ ආක්‍රමණ හමුවේ අපගේ බොහෝ මන්ත්‍ර සඳහන් කර තිබූ පුස්කොළ පොත් හා රන්පත්තිරු අපට නැතිවී ගිය අතර ඉතිරි වූ බොහෝ පත්තිරු, පුස්කොළ පොත් අසාමාන්‍ය පරිදි පැරණි වීම හේතුවෙන් අබිලි දුබලි වී නාස්ති වී ඇත. අද ඉතිරිව ඇත්තේ බොහෝ සුළු පුස්කොළ පොත් සංඛ්‍යාවකි. එයද අකුරු මැකී කියවීමට බොහෝ දුෂ්කර ලෙස පවතිනු දැක ඇත. පුස්කොළ කියවීමේ අපහසුතාවය හා සොයා ගැනීමේ අපහසුතාවය මත අද ගුප්ත විද්‍යාව හරි හැටි දන්නා පිරිස් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු යැයි කිවහොත් නිවැරදිය. බොහෝ පිරිස් අද ගුප්ත විද්‍යාව යැයි කියා බොහෝ බොරු සමාජ ගත කරයි.

ගුප්ත විද්‍යාව යනු බොහෝ සරල පහසු විෂයක් නොව ඉතා පුළුල් විෂය දහරාවක් බවද මුලින්ම මතක තබාගත යුතුයි. එමෙන්ම ප්‍රබල අක්‍ෂර සංකලනයකින් යුක්ත වාක්‍ය කැටිවූ මන්ත්‍ර විද්‍යාව හරිහැටි නොදන්නා අය කිරීමට යෑම මහත් විපත් ඇතිකර ගන්නා ක්‍රියාවකි. සරලව කිවහොත් ගුප්ත විද්‍යාව යනු සැඟවුණු රහස් එක්රැස්වූ ශිල්ප ක්‍රමයකි. සෘෂිවරු විසින් ලොවට දායාද කළ මෙම ගුප්ත විද්‍යාවේ ආරම්භය අදටද සොයා ගත නොහැකි වූවකි.

මෙම මන්ත්‍ර විද්‍යාව බොහෝ ගුරුමුෂ්ඨි සහිත විෂයකි. එදා මෙම මන්ත්‍ර විද්‍යාව තුළ මන්ත්‍රාචාරීන් කට පාඩම් කර තම ගෝල බාලයින්ට පමණක් සියල්ල කියා දුන්හ. නමුත් අද වනවිට තම ගෝල බාලයින්ට තියා තමන්ගේ දරු මුණුබුරන්ටද මෙම මන්ත්‍ර කියා දෙන්නේ ගුරුමුෂ්ඨි සඟවා ගනිමිනි. එනිසාම ගුරුමුෂ්ඨි යැයි හංගා ගන්නා වටිනා කරුණු බොහෝමයක් අද මන්ත්‍ර කටයුතු කරන බොහෝ පිරිස් නොදනී. එනිසා කරන බොහෝ මන්ත්‍ර, ශාන්ති කර්ම වරදිනු දැකගත හැක. එනිසාම අද නවීන සමාජය තුළ උතුම් මන්ත්‍ර ශාස්ත්‍රය හාස්‍යයට මෙන්ම ගැරහීමටද ලක්ව පවතී.

මන්ත්‍ර ශාස්ත්‍රය පමණක් නොව ඕනෑම විෂය ක්‍ෂේත්‍රයක් ගුරුමුෂ්ඨි යැයි සැඟවීම එම විෂයට කරන මහත් හානියකි. මෙම උතුම් විෂයයන් සොයා ගත් සෘෂිවරු එදා මෙම විෂයන් වල පවතින වටිනා තැන් ලොවට ගුරුමුෂ්ඨි යැයි සඟවා සමාජ ගත නොකලා නම් අද අපට මන්ත්‍ර විද්‍යාව යැයි ඉගෙනීමට දෙයක් නැතිවන්නට තිබුණි. එදා ජීවත්වූ සෘෂිවරු නිර්ලෝභීව ලොවට දායාද කළ මෙම විෂයන් සඟවා ගැනීමට අපට කිසිදු අයිතියක් නැත. අප දන්නා ඕනෑම විෂය කරුණක් නිර්ලෝභීව සමාජ ගතකිරීම, කියාදීම නොමිලේ මාධ්‍යයට නිදහස් කිරීම අපාගත වන අකුසල කර්මයක් යැයි ඇතැම් කුහක පිරිස් කීම මේ කලියුගයේ නිතර අසන්නට ලැබෙන දෙයකි. බුද්ධ දේශනාව අනුවද සබ්බ දානං ධර්ම දානං ජිනාති ලෙසය. ධර්ම දානය සියලුම දාන වලට වඩා උතුම්ය. දැන උගත් ශාස්ත්‍රයද වැටෙනුයේ මෙම ගණයටය. ශාස්ත්‍රය දන්දීම ඉතා උතුම් ක්‍රියාවකි. එය තමන්ගේ පරලොව ජීවිතයට මෙන්ම මෙලොව ජීවිතයටද මහඟු පිංකමකි.

මෙම මන්ත්‍ර විද්‍යාව සිදුකරන පුද්ගලයන් විවිධ කොටස් වලට බෙදා එදා හැඳින්වූහ. ශාන්තිකර්ම කරන පිරිස් ඇදුරන් ලෙසද, ගම්මඩු බලි තොවිල් කරන පිරිස් බලි ඇදුරන් ලෙසද, යක්කුන්, ප්‍රේතයින් මෙල්ල කිරීම සඳහා සිටින පිරිස් යකදුරන් ලෙසද වෙන් කළහ. මොවුන් මෙම ගුප්ත විද්‍යා ශාස්ත්‍රය උපයෝගී කර ගනිමින් රෝගීවූ අයෙක් සුවපත් කිරීමේ සිට යකුන්, ප්‍රේතයින් අල්ලා බැඳ වැඩ ගැනීම තෙක් සිදු කළහ. නමුත් මෙම ගුප්ත ශාස්ත්‍රය හරිහැටි නොදැන ආවට ගියාවට කිරීමට යෑමෙන් මෙන්ම අවභාවිතා කිරීමෙන් සිදුවනුයේ මහා විපතකි. මන්ද මෙම ගුප්ත විද්‍යාවේ හොඳ පැත්ත මෙන්ම නරක පැත්තක්ද ඇති බැවිනි. සෘෂිවරු ලොවට මෙම විෂය දායාද කළේ මිනිසුන්ගේ දියුණුව පතා විනා විනාශය පතා නොවන බවද මතක තබා ගත යුතුය. අද බොහෝ ගුප්තවේදීන් මෙහි ඇති හොඳ පැත්ත පසකලා විනාශ පැත්ත භාවිතා කරනු දැකිය හැක.

අප ජීවත්වන කලියුගයේ වෙසෙන බොහෝ මිනිසුන් අන් අයගේ දියුණුවට, කීර්තියට, ප්‍රසිද්ධියට බොහෝ ඊර්ෂියා කරනු දැකිය හැක. එසේ ඊර්ෂියා කර වෛරී සිතින් නොයෙකුත් ගුප්ත කටයුතු කරවා ගනු දැකිය හැක. මෙසේ කරවා ගන්නා ගුප්ත කටයුතු අප ජනවහරේ කියන පරිදි අනවින, කොඩිවින ආදී හූනියම් වින බන්ධන, විනාශ, භූමි පාළු ආදිය වේ.

මීට අමතර අන් පුද්ගලයාගේ දියුණුව දරාගත නොහැකිව පිල්ලි යැවීම සිදුකරයි. එහිදී අදාළ පුද්ගලයාගේ නම ලියා තබා යැවීම සිදු කරයි. මෙසේ යවන පිල්ලි 18 ක් වේ. ඒවා අතර කටුසු පිල්ලිය, නාග පිල්ලිය, කුරුමිනි පිල්ලිය, වඳුරු පිල්ලිය, ගවර පිල්ලිය හා සුනඛ පිල්ලිය ප්‍රධාන ස්ථානයක් ගනී.

පුද්ගලයෙකුගේ ඇති පෞරුෂය නැති කිරීමට ධන්‍ය, බලය නැති කිරීමට මෙන්ම පුද්ගලයා මුළුමනින්ම ආත්මීයව හා සමාජීයව විනාශ කිරීමට යොදාගන්නා තවත් වින ක්‍රමයකි නීච කුල බන්ධන ක්‍රමය. මෙම නීච කුල බන්ධන 32 ක් පොත පතේ සඳහන් වේ. මෙම නීච කුල බන්ධනය සිදුකිරීම මහා පාප කර්මයකි. මෙම උතුම් ගුප්ත ශාස්ත්‍රය භාවිතා කර තම පරම්පරාවටත් ශාප වෙන මෙවැනි විනාශ, පුද්ගලයින්ට නොකරන්න සියලුම ගුප්තවේදීන් වග බලාගත යුතුයි.

ඇතැම් පුද්ගලයින් ගුප්තවේදීන් ලවා කරවා ගන්නා ගුප්ත ක්‍රියාකාරකම් අතර බුදරේට්ටු 32 ක්ද වේ. මේවා බොහෝ විට කෑම වර්ග වලින් පුද්ගලයන්ට ශරීර ගත කරයි. මේවා මහා භයානක ගුප්ත කටයුතු වේ. ඉදරේට්ටුවක් කළ කෑම වර්ගයක් යම් පුද්ගලයකුගේ ශරීර ගතවුවහොත් එකෙනෙහිම මියයන බව සඳහන්ය.

මීට අමතරව අංගම් 64 ක් හා නමට කරන හූනියම් 4448 ක් ගුප්ත ශාස්ත්‍රයේ පවතින බව පොත පතේ සඳහන් වේ. මෙම සංඛ්‍යා ගුරුකුල අනුව වෙනස් වන බවද මතක තබා ගත යුතුයි.

නමට කරන හූනියම් අතර තැඹිලි ගෙඩියක හෝ ගංකුකුල් බිත්තරයක නම ලියා කරන හූනියම ඉතා ප්‍රකටය.

මෙයින් තැඹිලි ගෙඩියේ නම ලියා කරන හූනියමටත් වඩා ගංකුකුල් බිත්තරයේ නම ලියා කරන හූනියම බොහෝ දෙනා දනී. මා දන්නා සමහර ස්ථාන වල මෙම හූනියම කිරීම සඳහා ගංකුකුල් පැටව් ඇතිකර එම කිකිළියන් මුලින්ම දමන බිත්තරය ගෙන තමා හතුරු පුද්ගලයාගේ නම ලියා හූනියම කර එම පුද්ගලයාගේ නිවසේ වහලට ගසනු ලබයි. මෙය කරනුයේ වැසි දිනකදීය. ගංකිකිලියගේ පළමු බිත්තරයේ කිලි ප්‍රමාණය ඉතා වැඩිය. මෙම පළමු ගංකිකිලි බිත්තරය රු.30,000 ක් 50,000 ත් අතර මිලකට විකිණෙනුද මා දැක ඇත. උසස් මනසින් යුත් මිනිසුන් තවත් මිනිසෙකු නැති කිරීම සඳහා ගන්නා වෙහෙස මෙන්ම වියදම් කරන මුදලද අති මහත්ය. මෙම අකුසල කර්ම නිවන් දකින තුරුම ගෙවීමට වන අකුසල කර්ම වේ. මේ අකුසල කර්මය සිදුකරනු මම බොහෝවිට දැක ඇත. ඔවුන් ඒවායේ විපාක එදිනෙදා බුක්ති විඳිනවාද මා දැක තිබේ. මෙවැනි අකුසල ක්‍රියා කරවා ගැනීමට ගුප්තවේදීන් වන ඔබ ළඟට එන පාපතර පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉෂ්ට නොකර හරවා යැවීම තුළින් ගුප්ත වේදියා වන ඔබගේත් උතුම් ගුප්ත හාස්ත්‍රයේත් ගෞරවය ආරක්‍ෂා වනු ඇත.

තවත් සුලභවම කරන බන්ධන විශේෂයකි වශී බන්ධන. මේවා දහකෝටි දහදාහක් පමණ ඇතැයි පුරාණ පොත පතේ සඳහන් වේ. මේවා බොහෝ විට කෑමකට, මලකට හෝ නූලකට කිරීම සිරිතයි. තමන්ට අකමැති කෙනෙකු කැමැති කරවා ගැනීමට මෙම බන්ධන විශේෂය බහුලවම භාවිතා කරයි. මීට අමතරව තුන්දොස් බන්ධනය ලෙසද බන්ධනයක් සිදු කරයි. මෙය කරනුයේ කටහඬ අසුකර නූලක හිර කිරීම තුළිනි. මෙසේ කර දින 7 න් එම පුද්ගලයාගේ වා, පිත්, සෙම් කිපීම සිදුවේ. බඩේ රුදාව, කකුල් ඉදිමුම, කකුල් කැක්කුම ආදිය ඇති වී මරණය වුවද සිදුවිය හැක.

ගුප්ත ශාස්ත්‍රය මගින් කළ හැකි වින බන්ධන ඉතා සුළු ප්‍රමාණයක් ඉහත සඳහන් කළෙමි. තවත් බොහෝ වින බන්ධන වර්ග ගුප්ත ශාස්ත්‍රයේ ඇත. ඒවායින් සමහරක් වින බන්ධන ඉහත කියූ ඒවාට වඩා දරුණුය.

වින බන්ධනයක් යම් පුද්ගලයෙකුට කළ පසු එම පුද්ගලයා, එම වින බන්ධනයට අදාළ දුක් පීඩා කරදර භුක්ති විඳ අවසන් වූ පසු එම වින බන්ධනයේ විපාක, වින බන්ධනය කළ ඔබ වෙතද බලපානු ඇත. එය හරියටම භූමරංගය මෙනි. භූමරංගයෙන් කෙනෙකුට ගැසූ විට එය වැදී නැවත ඔබ වෙත එන්නාක් මෙනි. එනිසා අන් අයට කෙසේ වෙතත් තමාට හා තම පරම්පරාවේ අයට ආදරයක් කරුණාවක් ඇත්නම් මෙවැනි වින බන්ධන කිරීමට තියා, එසේ කිරීමට සිතීමෙන්ද වළකින්න.

ගුප්ත විද්‍යාව හරියට දැනගනිමු

ජ්‍යොතිර්වේදිනී, දේශබන්ධු ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී
පල්ලෙබැද්ද පානදුර.
දුරකතන අංකය 077-9282653

advertistmentadvertistment
advertistmentadvertistment