ගුරුකමට පූර්වාදර්ශයක් වූ දිවියාගහ යසස්සි හාමුදුරුවෝ…

170

බුදුන් වහන්සේ සියලු සත්ත්වයන් සසර කතරින් එතෙර කිරීම සඳහා ප්‍රථම වරට දම්සක්පැවතුම් සුත්‍රය දේශනා කිරීමට බරණැසට වැඩම කරන අවස්ථාවේ අහම්බෙන් හමු වූ උපක නම් ආජීවකයා ,“ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නය, සුපසන්ය, පැහැපත්ය” යනුවෙන් විමසූ බව බුදු දහමේ අප ආසාවෙන් කියවූ එක්තරා පරිච්ඡේදයක සඳහන් වේ. වසර එක්දහස්නවසිය අසූගණන්වල අග භාගයේ ආනන්දයේ පස් මහල තුළ අධ්‍යාපනය ලබන කාලයේ බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා අප පන්තියට පැමිණි ඒ මහා යතිවරයාගේද මා හට දක්නට ලැබුණේ අර පැවසූ සුපසන් ප්‍රසන්න පැහැපත් ආකර්ෂණීය ලක්ෂණයකි. එතුමා දේශනා කළ සැම වදනක්ම අපහට කියාදුන් සෑම පාඩමක්ම ඒ තෙරුවන් ගුණ සමග අප සිත් තුළ සටහන් වී ජීවිතය තුළ ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වූයේ එම බුද්ධ පුත්‍රයා සතු වූ ආශ්චර්යයක් නිසා බව මා හට පසක් වේ. අපගේ ආනන්දයට සැමදා ආශිර්වාදයක් වූ ඒ යතිවරයා දිවියාගහ යසස්සි, අපේ හාමුදුරුවෝ පැවිදි දිවියේ 75 වන සංවත්සරය පසුගියදා සමරන ලදි. ආනන්දය අප ජීවිතයට ලබාදුන් දෑ බොහෝය. රට ජාතිය ආගම සමග ඒකාත්මික වූත් අනන්‍ය වූත් සිංහල බෞද්ධ ආනන්දියකු බිහිවීමට බොහෝ කරුණු අදාළ කරගත යුතුය. ආනන්ද විහාරය, ගුරුවරු, කල්‍යාණ මිත්‍රයන් සමග එකට එකතු වූ ඒ පුණ්‍ය භුමිය අප සැම සදාතනික ආනන්ද මාතාවගේ පුත්‍රයන් බවට පත් වීම අහඹුවක් නොවේ. එනම් අතීතය තුළ ආනන්දයට සැමවිටම ආශිර්වාද කළ ඒ මහා සඟරුවන එනම් එස්. මහින්ද හිමි, බළංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි, කොටගම වාචීස්සර හිමි, පොල්වත්තේ බුද්ධත්ත හාමුදුරුවෝ, පරවාහැර වජිරඥාණ හිමි, හබරකඩ ඉන්දරතන හිමි, අඹන්වෙල පඤ්ඤාසේකර හාමුදුරුවෝ, වේපතඉර හේමාලෝක හිමි, හීනටියේ ධම්මාලෝක හිමි සමග අපේ හාමුදුරුවෝ ඉටුකළ කාර්යභාරය ඉමහත්ය.

අපේ අති ගෞරවනීය වූත් වන්දනීය වූත් දිවියාගහ යසස්සි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ මහඟු “ගුරුකමට” මනා වූ ආදර්ශයකි. ඒ මක් නිසාද යත් එතුමාණෝ දැනුමෙන්, ගුණයෙන් සහ අවැසි මනා ලක්ෂණවලින් යුත් සංඝ පිතෘවරයකු වූ නිසාමය.

අපේ හාමුදුරුවෝ මෙලොව උපත ලැබුවේ වසර 1935.01.02 දින මාතර දීයගහ දින වන අතර 1947 ඔක්තෝම්බර් අට දින එනම් වසර 75ට පෙර පූජ්‍ය ගණේගම අත්ථදස්සි නාහිමියන් සහ දිවියාගහ විපුලතිස්ස මාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට පිවිසිණ. ඒ සා කාලයක් රටට, ජාතියට සහ ආගමට කළ මෙහෙවර තුළ අපේ යසස්සි හාමුදුරුවන්ගේ දෙමාපියන් වන ඩී.එන්. රත්නායක පියාණන් හා එල්.ඩී. ප්‍රන්සිනා මෑණියන් අප සිහිපත් කළ යුතුමය.

1955 වසර එතුමාට වැදගත් වන්නේ මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේදි උපසම්පදාව ලද නිසාය. තම අධ්‍යාපනය විද්‍යෝදය පිරිවෙණෙන් හා විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ලබාගත් අපේ හාමුදුරුවනට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ජාතික, ආගමික, සාමාජික හා අධ්‍යාපනික සේවාව අගය කරමින් ඇමරිකාවේ ලින්කන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මැලේසියාවේ ලින්කන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය මඟින් ගෞරව උපාධියක් වසර 2020දී පිරිනමන ලදී.

තම ගෞරවන්විත ගුරු ජීවිතය 1963 දී හක්මන කෝංගල මහා විද්‍යාලයෙන් ආරම්භ කර වසර 1970.7.28 දින ආනන්ද විද්‍යාලයට පිවිසුනු අප හාමුදුරුවෝ සෑම විටම දරුවන්ට ආදරය කළේය. ආනන්දයට 1973.04.03 ඉතා සුවිශේෂ දිනයක් වන්නේ අප හාමුදුරුවෝ එදින ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමය ආරම්භ කර එහි ප්‍රථම පැවිදි අනුශාසක ලෙස පත්ව ඉටු කළ අනුපමේය සේවය නිසාමය. ආනන්ද විදුහලේ බෞද්ධ සංගමය ඉතාම වැදගත් සමාජ, ජාතික සහ ආගමික කාර්යභාරයක් ඉටුකරන මහා පුණ්‍ය ආයතනයකි. කොළඹ ආනන්දයෙන් පසුව රත්මලාන පිරිවෙන් අභ්‍යාස විද්‍යාලයේ අධිපති ධුරයට පත් වූ අපේ හාමුදුරුවෝ විශිෂ්ට ධර්ම කථිකයකු වන අතරම බුද්ධ ශාසනයට කළ සේවාව ලක්බිමට පමණක් සීමා නොවී ඉන්දියාව, රුසියාව, මොංගෝලියාව, එංගලන්තය, ප්‍රංශය, ඕලන්දය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තායිවානය, ඇමරිකාව, ජපානය, බුරුමය ආදි රටවලටද ප්‍රචලිත කරන ලදි. අපේ හාමුදුරුවෝ තම ජන්ම දිනය සෑම විටම සැමරුවේ ආර්ථික අපහසුතා ඇති දක්ෂ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි යහපත් දෑ කිරීම සඳහාය. එය සුනාමි ව්‍යසනයේදී මෙන්ම කොවිඩ් අර්බුදය තුළ ද ප්‍රකට වුණේ තම සතු අසරණ සරණ ගුණය නිසාමය.

වසර 1984දී ගල්කිස්සේ වටරප්පල පාරේ අඩි 3 ක පටු පාරකින් යුත් ඉඩම ‘ගල්කිස්ස බෞද්ධායතනය’ ලෙස වර ගන්වා අප හාමුදුරුවෝ කළ මෙහෙයුම තුළ එතුමා සතුවූ අධිෂ්ඨානය, නායකත්වය, කැපවීම මැනවින් පෙන්නුම් කරන මනා උදාහරණයකි. ගල්කිස්ස බෞද්ධායතනය ශ්‍රී ලංකාවේ සාසනික, ආගමික සහ සමාජීය පුනරුදයට කරන මෙහෙවර ගැන වෙනම කියවීමක් තිබිය යුතුමය.

ඒ හා සමගම දිවියාගහ යසස්සි නාහිමියන්ගෙන් අප රටේ සාහිත්‍යයට සිදු කළ මෙහෙවරට එක උදාහරණයක් ලෙස නම් කළ හැක්කේ “ලංකාව හා ආසන්න රාජ්‍යයෝ” ග්‍රන්ථය වන අතර එය දෙස් විදෙස් ගිහි පැවිදි සියලු දෙනා අතර කතා බහට ලක්වූ අගනා නිර්මාණයකි. ඒ හා සමගම තවත් පොත්පත්, ලිපි සිය ගණනක් අපේ හාමුදුරුවෝ අතින් ලියවී ඇත.

අපේ රටේ වර්තමානය සහ අනාගතය ගැන ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී සහ රටේ ව්‍යසන අවස්ථාවලදී මහා සංඝරත්නයේ ආශීර්වාදය සහ අදහස් සෑම විටම වැදගත් වේ. මෙහිදී කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දිවියාගහ යසස්සි නාහිමියන්ගේ දායකත්වය දකිනට ලැබෙන්නේ ඒ කරුණා ගුණය නිසාමය.

අප රටක් ජාතියක් හැටියට වර්තමානයේ මහත් වූ ව්‍යසනයකට පත්ව ඇත. බෞද්ධ දර්ශනය තුළ ඇති “ඒහිපස්සිකෝ” එනම් එව බලව යන මූලික ගුණය අනුගමනය නොකර විවිධ මති මතාන්තර තුළ හිරවී එකිනෙකාට චෝදනා කරගනිමින් අවාසනාවන්ත ජාතියක ඛේදජනක ඉරණමකට ළඟා වෙමින් ඇත. මේ අවස්ථාව අර ආනන්දයේ ප්‍රථම වරට මා දුටු සුපසන් ප්‍රසන්න පැහැපත් ආකර්ෂණීය බුද්ධ පුත්‍රයන් බොහෝ පිරිසකගේ අවවාද අනුශාසනා අවැසි කාලයයි. දිවියාගහ යසස්සි අපේ හාමුදුරුවෝ අපට අවැසිම කාලයයි. ඔබ වහන්සේගේ සේවය ජාතියට අවැසිම කාලයයි. අපේ හාමුදුරුවන්ට චිරජීවනය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!

මහාචාර්ය නලින් අබේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment