ගුරුමාරු මණ්ඩලය විසුරුවයි මාරුවීම් 12500 ක් අහෝසියි

105

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500 දෙනකුගේ පමණ සියලු මාරුවීම් අහෝසි වී යන බව ද එම ආරංචිමාර්ග පවසයි.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතුවලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බවත් එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටලුවක් මතුවීම වැළැක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවේ අරමුණ බවත් රජයේ ආරංචිය මාර්ග කියයි.

එසේම ආර්ථික අර්බුදය සමග මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සහ වියදම් අධිකවීම, බදු සහ කුලී නිවාස ප්‍රශ්න ඇතුළුව මානුෂීය කාරණා රැසක් පදනම් කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල්දමා සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනකු ලිපි මගින් සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයා වෙත යොමුකර තිබූ බවත් වාර්තා වෙයි.

තවද පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා සිටි ගුරුවරුන් පිරිසක් ද මෙවර ගුරුමාරුවීම් සඳහා නිර්දේශව තිබූ බවත් වාර්තා වෙයි. ඒ අතරින් පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවාදැක්වීමේ සූදානමක පසුවූ බවත් දැනගන්නට ඇති බවත් රජය කියයි.

ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ මෙම කරුණු කාරණා ද සලකා බැලීමෙන් අනතුරුව බව ද ආණ්ඩුව සඳහන් කරයි.

ගුරු මාරු මණ්ඩලය අත්හිටුවා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත්කළ නියෝගය සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු වෙතින් විමසූ අවස්ථාවේ ඔහු ද ඒ බව සනාථ කර සිටියේ ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment