ගුරුවරයකුට මැරයකු පහරදී තර්ජනය කළැයි සිසු සිසුවියෝ සහ දෙමාපියෝ උද්ඝෝෂණයක: නීතිය කි‍්‍රයාත්මක නොකළ පොලිසියට චෝදනා

167

මොණරාගල, සෙවණගල සෝමාදේවී මහා විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ ගුරුවරයකුට ප‍්‍රදේශයේ මැරවරයෙකු විසින් පහර දී මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළව කඩුවක් සමග සැකකරුවකු සෙවණගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 01 වැනිදා පස්වරුවේ අදාළ ගුරුවරයා සෙවණගල හත්පෝරුවට පැමිණි අවස්ථාවේදී සැකකරු විසින් ගුරුවරයාට පහර දී තිබෙන අතර නැවතත් කඩුවක් රැුගෙන ගුරුවරයාගේ නිවසට ගොස් මරණ තර්ජනය කර තිබෙන බවට පොලිසියට පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් සෙවණගල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් පාසලේ දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් සෝමාදේවී විද්‍යාලය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් පැය කිහිපයක් විරෝධතාවයේ නිරත විය.

ගුරුවරයකුට මැරයකු පහරදී තර්ජනය කළැයි සිසු සිසුවියෝ සහ දෙමාපියෝ උද්ඝෝෂණයක: නීතිය කි‍්‍රයාත්මක නොකළ පොලිසියට චෝදනා

විරෝධතාකරුවන් චෝදනා කළේ පිට ප‍්‍රදේශයක සිට පැමිණි ගුරුවරයෙකුට මෙලෙස චණ්ඩින් සහ මැරයන් පහරදීම තුළ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණෙන බවයි. තවද මෙම පොලිසිය කාලයක සිට කටයුතු කරන්නේ මෙවැනි මැරවරයන්ට සහ සමාජ විරෝධී ක‍්‍රියාවන්ට සහාය පළකරමින් බවත් විරෝධතාකරුවන් පැවසූහ.

අදාළ ගුරුවරයාගේ ආරක්ෂාව තහවුරු කර නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කරන තෙක් විරෝධතාව අත්නොහරින බවත්, ඉදිරියේදී තණමල්විල කලාපයේම විද්‍යාලවල ගුරුවරුන් සහ දෙමාපියන් ඒකරාශී කරගනිමින් අඛණ්ඩව සටන් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ තණමල්විල අධ්‍යාපන කලාපයේ ලේකම් ඞී. එල්. ඩබ්. රෝහණ මහතා පැවසීය.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි සෙවණගල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ. වී. පී. සී. දීපාල් මහතා ප‍්‍රකාශ කළේ තමන් ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේත්, දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවත්, නීතිය අකුරටම සිදු කරන බවත්, තමන් පිළිබඳව විශ්වාස කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව විරෝධතාකරුවන් විරෝධතාව නතර කිරීමට පියවර ගත්හ.

සූරියවැව – රොෂාන් දිලීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment