ගුරුවරුන්ගේ ප‍්‍රශ්නයට ස්ථිරසාර සාධාරණ විසඳුම එන අයවැයෙන් – අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්

425

විපක්‍ෂ නායකගේ ප‍්‍රශ්නාවලියට ඇමැතිගෙන් පිළිතුරු


 කොවිඞ් ව්‍යාප්තිය හමුවේ පුද්ගලික අංශයේ වැටුප් කප්පාදු කරද්දී ගුරුවරුන්ට සියයට සියයක්ම වැටුප් ලබාදුන් බැවින් වැටුප් සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීම කෙතරම් සාධාරණද සහ මෙමගින් පළි ගැනීමට උත්සාහ කරන්නේ කවරකුගෙන්ද යන්න ගැටළු සහගත යැයි අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04* පැවසීය.

 ගුරුවරුන්ගේ ප‍්‍රශ්නයට ස්ථිරසාර, සාධාරණ විසඳුම තව තෙමසකින් එන අයවැය ලේඛනයයි, යැයිද හෙතෙම කියා සිටියේ ස්ථාවර නියෝග 27 (02* යටතේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නැගූ ගුරු වැටුප් විෂමතාව පිළිබඳ ගැටලූවට සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙමිනි. එහිදී අධ්‍යාපන ඇමැතිවරයා මෙසේද කීය.

 ගුරුවරුන්ගේ ප‍්‍රශ්නයට ස්ථිරසාර, සාධාරණ විසඳුම තව තෙමසකින් එන අයවැය ලේඛනය බවද පැවසූ හෙතෙම ඉතා ඉක්මනින් අභිනව මුදල් අමාත්‍යවරයා සමග තම අමාත්‍යාංශයට වෙන්වන මුදල් ප‍්‍රමාණය පිළිබඳව සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන බවද, විපක්ෂ නායකවරයා සඳහන් කරන ලෙස එය කිසිසේත්ම තමුන්ට පමණක් අත්තනෝමතික තීරණයක් ලෙස ගත නොහැකි එකක් බවද සභාවට සඳහන් කර සිටියේය.

 පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති වත්මන් විපක්ෂ නායකවරයා ද මීට විසඳුම වන්නේ ඉදිරි නොවැම්බර් මාසයේ මෙම ගරු සභාවට අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාව බව බව හොඳින් දන්නා බව තමන්ගේ විශ්වාසය බවද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 මෙතෙක් ගුරුවරුන් සඳහා වූ වේතන කිසිදු අඩුකිරීමකින් තොරව 100%කින් නියමිත පරිදි සිය රජය විසින් ගෙවීමට කටයුතු කර තිබෙන අතර ඊට සාපේක්ෂව පෞද්ගලික අංශය සිය වැටුප් සියයට 40කින් පමණ කප්පාදු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට ඇතිව තිබෙන තත්ත්වයත් සමග උපයන ආදායම් හීනවීම නිසා එම තත්ත්වයට මුහුණ දීමට අකමැත්තෙන් හෝ පෞද්ගලික අංශයට සිදුව ඇති බව ද අවධාරණය කළේය. එනමුත් කොවිඞ්-19 වසංගතය නිසා දේශීය බදු සහ විදේශීය පේ‍්‍රෂණ අවම වී ඇති සමයක ගුරුවරුන් විසින් මෙබදු ඉල්ලීමක් කිරීම කෙතරම් සාධාරණද සහ මෙමගින් පළි ගැනීමට උත්සාහ කරන්නේ කවරකුගෙන්ද යන්නද අමාත්‍යවරයා තවදුරටත් විමසීය.

 විපක්ෂ නායකවරයා සඳහන් කරන, සුබෝධිනී වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ එකක් බවද සිය රජය වර්තමානයේ දී ගුරු වැටුප් විෂමතාවක් පවතින බව පැහැදිලිව පිළිගන්නා බවද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ගුරුවරුන්ට මීට වඩා වේතනයක් ගෙවිය යුතු බව ප‍්‍රතිපත්තියක් ලෙස ද සිය රජය විසින් පිළිගන්නා බව සඳහන් කර සිටියේය. එසේ වුවද මෙම ගැටලූව විසඳීමේ එය සමස්ත චිත‍්‍රයක් ලෙස ගෙන, රාජ්‍ය සේවයේ සෙසු සමාන්තර සේවාවන්ට බලපෑමක් සිදු නොවිය යුතු පරිද්දෙන් විසඳාලිය යුතු බවද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැහැදිලි කර සිටියේය.

 විපක්ෂ නායක ගරු සජිත් පේ‍්‍රමදාස මහතා විමසන ගුරු වෘත්තිය සංවෘත සේවාවක් බවට පත් කිරීමේ ගැටලූව සඳහා ඉතා පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇති බව ද සිය රජය එම ප‍්‍රතිපත්තියේ අන්තර්ගතය සහ සංකල්පය පිළිගන්නා බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 පවත්නා වාතාවරණය යටතේ මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය තාවකාලිකව අවශ්‍ය බවත් නමුත් එය සැපයීමට වඩාත් සුදුසුම ස්ථානය වන්නේ ඒ සඳහා පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පාසල බව පෙන්වා දුන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාසැල පැවැත්වෙන කාලය තුළ විධිමත් සහ ක‍්‍රමානුකූලව එය සිදුවනු ඇති බව පැවසීය. එසේම අද වනවිට මෙරට ගුරුවරුන් ගෙන් 84% පළවෙනි එන්නත් මාත‍්‍රාව ලබාදී ඇති බවත් සෞඛ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ සහිතව සියලූ ආරක්ෂිත තත්ත්වයන් පාසැල්වලට සැපයීමෙන් පසුව පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් ආරම්භ කරන බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

 තමන් ද මෙරට විශ්වවිද්‍යාලයකින් ප‍්‍රථම උපාධිය ලබාගත්, වසර 26කට වැඩි කලක් ඉගැන්වූ අභිමානවත් ගුරුවරයකු බව සඳහන් කළ අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා, විපක්ෂ නායකවරයා සඳහන් කරන පරිදි පාසල් දරුවන්ට පමණක් නොව කොවිඞ් 19 අභියෝගකාරී තත්ත්වය නිසා වැඩිහිටියන්ටද ආතතියක් ඇති වීම පොදු තත්ත්වයක් බව කීය. පාසල් දරුවන් මෙම ආතතිගත තත්ත්වයෙන් මිදීමට යෝග්‍යතම ක‍්‍රමය වනුයේ පාසල් වෙත යොමු කිරීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට මෙම ගැටලූව පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට යමින් ජාතික ගැටලූවක් ලෙස හඳුනා ගන්නට ආරාධනා කරමිනි.

 මෙහිදී විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් 27(2* යටතේ අසන ලද ප‍්‍රශ්නය මෙසේය.

 මේ වන විට ගුරු විදුහල්පති වැටුප් විෂමතාව හේතුවෙන් රටපුරා උද්ඝෝෂණ ක‍්‍රියාත්මක වන නමුත්, රජය එම ගැටළුව විසඳීමට අපොහොසත් වී තිබෙනවා.

 මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලූවක් වන බැවින් පහත සඳහන් ප‍්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

 1* මේ වන විට ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නේ ද? මේ සඳහා පිළිගත හැකි විසඳුමක් කඩිනමින් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ මන්ද?

 2* අප විසින් පසුගිය අයවැය විවාදයේ දී ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට ගනු ලබන නිශ්චිත ක‍්‍රියාමාර්ග විමසා සිටීමේ දී, ඒ සඳහා භාණ්ඩාගාර අනුමැතියක් ලැබුණු බව ඇමතිවරයා විසින් සඳහන් කර තිබෙනවා. නමුත්, එම ක‍්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති වීම වර්තමාන ගැටළුවට හේතු වී තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ ද? එසේනම්, ඒ කවදා වන විට ද? නොඑසේනම්, ඒ සඳහා රජය විසින් කරනු ලබන නිශ්චිත විසඳුම්/යෝජනා කවරේද?

 3* ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා කොපමණ මුදලක් වැයවේද? එයට අවශ්‍ය ප‍්‍රතිපාදන සපයා ගන්නේ කෙසේ ද?

 4* ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා සකස් කර ඇති සුබෝධනී කමිටු වාර්තාව රජය පිළිගන්නේ ද? පිළිනොගන්නේ නම් හේතු මොනවාද? එසේනම්, ඒ සඳහා ගනු ලබන විකල්පය කුමක් ද?

 5* ගුරු විදුහල්පති සේවය සංවෘත්ත සේවාවක් බවට පත්කිරීමට රජය කටයුතු කරන්නේ ද? නොඑසේ නම් ඒ මන් ද?

 6* ප‍්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සැපයීමකින් තොරව සහ, එන්නත්කරණය සම්පූර්ණ කිරීමකින් තොරව රාජකාරියට වාර්තා කිරීම සඳහා බලපෑම් කිරීම කෙතරම් දුරට සාධාරණ ද? ගුරුවරුන් තම පෞද්ගලික සන්නිවේදන උපකරණ, දත්ත සහ, නිවෙස්වල සකසා ගත් පහසුකම් ඔස්සේ මාර්ගගත අධ්‍යාපනය තාවකාලිකව ලබා දෙමින් සිටිනු ලැබුවා. මේ සියල්ල නවතා දමා හදිසියේ පාසල්වලට පැමිණ අධ්‍යාපනය ලබා දීමට සියළු පහසුකම් සලසා තිබේ ද? මේ අවස්ථාවේ රජය විසින් සිදු කළ යුත්තේ බලහත්කාරයෙන් අධ්‍යාපනය ලබා දීමට ගුරුවරුන්ට බලපෑම් කිරීමද? ගුරුවරුන්ට පහසුකම් සැලසීම ද?

 7* පවතින වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනයට දැවැන්ත තර්ජනයක් එල්ල වී ඇති මොහොතක ගුරුවරුන්ගේ ගැටලූවට ප‍්‍රමුඛතාවය ලබා නොදෙන්නේ මන්ද? මෙතුළින් දරුවන්ගේ අධ්‍යාපනය දැඩි අර්බුදයකට යෑම මෙන්ම, ඔවුන්ගේ මානසික තත්ත්වය ද බිඳවැටී මෙරට අනාගත මානව සම්පත අසමබර තත්ත්වයකට පත්වෙනවා. ඒ සඳහා රජය අවධානය යොමු කරන්නේ ද?

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment