ගුරුවරුන් අරගල කරන්නේ ඇයි?

1228

‘අහිංසක අංගුලිමාල කළේත්, අංගුලිමාල රහතන් වහන්සේ නමක් කළේත් ගුරුවරයෙකි’ මෙම කියමන දෙස විමිසිලිමත්ව බලන විට ගුරුවරයා යනු විශ්මකර්මයකු යැයි කෙනකුට සිතෙනු ඇත. ඔහු මහා බ‍්‍රහ්මන් ලෙස තවත් කෙනකුට පෙනෙනු ඇත. මෙලෙස ඔහු පෙනීමේ වරදක් මෙම කියමනට අනුව නොපෙනේ. එම නිසා අප ‘ගුරුවරයා’ යන පදය පිළිබඳව විමසා බැලීම වටී.

‘ගුරු’ යන වචනයේ අර්ථය බර නැතහොත් ගැඹුරු යන්නයි. ගැඹුරු වන්නේ කුමකින්ද? මානව සමාජය තුළ ජීවත් වන අන් කවරකුටත් වඩා ඔහු දැනුම, හැකියාව උපදේශනය, අවබෝධය වැනි දේ තුළින් ඉහළින්ම සිටී. මේ දේ තුළින් බරවී ඇති නිසා ඔහුට ‘ගුරු’ යන විශේෂ නාමය පුද කරනු ලබයි. විශ්වය තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා අපගේ ශාස්තෘවරයාණන් වන බුදුන් වහන්සේ බව ලොව සෑම දෙනාම අවිවාදයෙන් පිළිගනු ලබති. උන්වහන්සේද ගුරුවරයා පිළිබඳව බොහෝ අවස්ථාවලදී අදහස් දක්වා ඇත. සිඟාලෝවාද සූත‍්‍රයේ මෙන්ම මහා වත්තඛණ්ඩ සූත‍්‍රය වැනි සූත‍්‍රවල ඒ පිළිබඳව කරුණු සඳහන්ව ඇති බව පෙනේ. විටෙක උන්වහන්සේ ගුරුවරයා පිළිබඳව මෙසේ දේශනා කර ඇත.

‘ආචාර්ය තෙමේ තම අතවැසියා කෙරෙහි පුත‍්‍ර සෙනෙහස උපදවන්නේය. අතවැසිතෙමේ ආචාර්යවරයා කෙරෙහි පිය සෙනෙහස උපදවන්නේය’ (පඤ්ඤානන්ද හිමි – ගුරු භූමිකාව) ති‍්‍රපිටකය තුළ ගුරුවරයා පිළිබඳව මෙවැනි අවස්ථා රැසක් දැකිය හැකිය.

කි‍්‍රස්තුස් වහන්සේ තම ධර්මය ඉගැන්වීම සඳහා මෙන්ම පවත්වාගෙන යෑම සඳහා අපෝස්තුලූවරුන් තෝරා පත්කර ගන්නා ලද බව බයිබලය තුළින් ප‍්‍රකට වේ. එසේම ඔවුන් පුහුණු කළ බවද සඳහන් වේ.

‘බිය නොවන්න මෙතැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇත’(බයිබලය-ලූක් 5/10)

ලෙස වදාළේ මෙලෙස පුහුණු කරන ලද සිමොන් නමැත්තාටය. ඒ තුළින් සමාජය සකසන පුද්ගලයා ගුරුවරයා බව පැහැදිලිය. බයිබලයේ බොහෝ තැන්වල ගුරුවරයා පිළිබඳව වටිනා අදහස් සඳහන්ව ඇත.

දුරාතීතයේ සිට ගුරුවරයා සමාජ සංස්ථාව තුළ ඉතා ඉහළින්ම වැජඹුණු බව ඉතිහාසය කියා පාන්නේ කිසිවකුටත් ඒ පිළිබඳව කුකුසක් ඇති නොවන අන්දමිනි. අතීතයේ සිටි ගුරුවරයා තම සේවය ඉටු කළේ වේතනයක් නොමැතිව වීම එයට ප‍්‍රබල සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. එහෙත් අතීතයේ වේතනයක් නොලැබුණද තම ජීවිතය සරිකර ගැනීමටත් වඩා ගුරු පඬුරු ලෙස විවිධ දේ ලැබී ඇති බව ඉතිහාසය කියාපායි. එපමණක්ද නොව එදා ගුරුවරයාට වතු පිටි දේපලද බොහෝ තිබී ඇත.

අතීතයේ ගුරුවරයා හා ගෝලයා මුණගස්වනු ලැබුවේ ගුරු ගෙදරදීය. වර්තමානයේ එය සිදුවන්නේ පාසල තුළදීය. වර්තමානයේ ගුරුවරයා රාජ්‍ය සේවකයකු බවට පත්වී ඇත. එහෙත් අනෙක් රාජ්‍ය සේවකයන්ට වඩා වෙනස්ම වූ රාජ්‍ය සේවකයකු ලෙස ගුරුවරයා පෙන්වා දිය හැකිය. අනෙක් රාජ්‍ය සේවකයන්ගේ මෙන් ගුරුවරයා පැය 8 ක සේවා කාලයකට සීමාවී නැත. අනෙක් රාජ්‍ය සේවකයන්ට පැය 8 ක සේවයෙන් පසු කරනු ලබන සේවාවන් වෙනුවෙන් අතීකාල දීමනා හා සංයුක්ත දීමනා හිමිවේ. එහෙත් ගුරුවරයාට ඒවා අහිමි විය. ගුරුවරයාට සිදුකිරීමට ඇත්තේ ඉගෙනුම් ඉගැන්වීම් කාර්ය පමණක් බව බොහෝ දෙනා සිතා සිටී. එහෙත් ගුරුවරයා සිදුකරනු ලබන කාර්යන් මෙතැකයි කියා නිම කළ නොහැකිය. සමාජයේ වෙසෙන ගුරුවරුන්ට ගරහන පිරිසේ දැන ගැනීම පිණිස ඉන් කාර්යන් කීපයක් පහතින් දක්වමි.

නාම ලේඛනය ලකුණු කර පවත්වාගෙන යෑම, නිපුණතා වාර්තා පවත්වාගෙන යෑම, තක්සේරු වාර්තා පවත්වාගෙන යෑම, ඇගයීම් ලකුණු වාර්තා පවත්වාගෙන යෑම, වාර සටහන් ලිවීම හා යාවත්කාලීන කිරීම, දින සටහන් ලිවීම, පාඩම් සටහන් ලිවීම, ඉගෙනුම් උපකරණ සකස් කිරීම, පෙළ පොත් බෙදාදීම, නිල ඇඳුම් බෙදාදීම, සායන සඳහා සිසුන් යොමුකර වාර්තා පවත්වාගෙන යෑම, වාර විභාග ප‍්‍රශ්න පත‍්‍ර සැකසීමට දායක වීම, වාර විභාග පිළිතුරු පත‍්‍ර ඇගයීම, වාර විභාග ලකුණු පොත් නඩත්තු කිරීම, පාසල් සංවර්ධන සමිතියට අදාළ කටයුතු කිරීම, ශිෂ්‍ය සමිති පිහිටුවා පවත්වාගෙන යෑම, ශිෂ්‍ය නායක දිනය සඳහා දායක වීම, සිංහල අලූත් අවුරුදු උත්සවය පැවැත්වීමට දායක වීම, සිසුන්ගේ පෝෂණ වාර්තා පවත්වාගෙන යෑම, පාසල හරහා සිසුන් සඳහා ලබාදෙන විවිධ විටමින් හා ඖෂධ බෙදාදීම, ප‍්‍රමිතිකරණයට අදාළ කටයුතුවලට දායකත්වය සැපයීම, පාසලේ ඇති විවිධ අනුකමිටුවල කාර්යන් ඉටුකිරීම, නිවාසාන්තර කී‍්‍රඩා උත්සවය පැවැත්වීමට දායකවීම, කී‍්‍රඩා සඳහා සිසුන් පුහුණු කිරීමට දායක වීම, කී‍්‍රඩා සඳහා සිසුන් රැුගෙන යෑමට දායක වීම, භාෂා දින තරග සඳහා සිසුන් පුහුණු කිරීම, භාෂා දින තරග සඳහා සිසුන් රැුගෙන යෑම, අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම, පාසලේ පැවැත්වෙන ශ‍්‍රමදාන සඳහා දායක වීම, ශීල සමාදාන වැඩසටහන් සංවිධානය කිරීම, පාසලේ පැවැත්වෙන විශේෂ උත්සව සඳහා දායක වීම, සවස අමතර පන්ති පැවැත්වීම, පන්ති කව රැස්වීම් පැවැත්වීම හා වාර්තා තබා ගැනීම, පන්ති වාර්තා පොත පවත්වාගෙන යෑම, ප‍්‍රථමාධාර කටයුතු පවත්වාගෙන යෑම, උදෑසන රැස්වීම පැවැත්වීමට දායක වීම, පුහුණු සැසිවලට සහභාගි වීම.

මෙලෙස දක්වා ඇත්තේ ගුරුවරයා විසින් ඉටුකරනු ලබන කාර්යන් සියල්ලම නොවේ. කිහිපයක් පමණකි. මෙම කාර්යන් ඉටුකරනු ලබන්නේ අතීකාල දීමනා, ප‍්‍රවාහන දීමනා, සංයුක්ත දීමනා, සංග‍්‍රහ දීමනා හෝ වෙනත් කිසිදු දීමනාවක් ලබා නොගෙනය. වෙනත් කිසිදු රාජ්‍ය සේවයක මෙලෙස සිදුනොවේ. එහෙත් එම කි‍්‍රයාවන් ගුරුවරයා ඉටුකරනු ලබන්නේ කිසිදු තරහක් හෝ වෛරයකින් නොවේ. මෙන්න මේ නිසා අනෙක් රාජ්‍ය සේවකයාට වඩා ගුරුවරයා හාත්පසින්ම වෙනස්ය. ගුරුවරයාට හිමි වන්නේ වැටුපම පමණි.

එසේම ගුරුවරයාට පැවැරී ඇති විෂය නිර්දේශය ඉගැන්වීම කුමන රාකජාරි තිබුණත් එම වසර තුළදීම නිම කළ යුතුවේ. පෙර වසරේ ඉතුරු කොටස් මේ වසරේදී හෝ මේ වසරේ ඉතුරු කොටස් ඊළඟ වසරේදී හෝ නිම කිරීමට ගුරුවරයාට හැකියාවක් නොමැත. කාලය මදිනම් රෑ දවල් දෙකේදී හෝ වැඩකර වසරට නියමිත විෂය නිර්දේශය නිම කළ යුතුමය. ගුරුවරුන් අතර පාසල් ගුරුවරයා විශේෂ වේ. ඔහු පාසල තුළදී තම කාර්ය නිසි පරිදි ඉටු නොකළහොත් රටේ අනාගතය විනාශවී යෑම ශක‍්‍රයාටවත් නතර කළ නොහැකිය. ඊට හේතු රැසකි.

දරුවන්ගේ පෞරුෂ වර්ධනය සිදුකිරීමට දායක වීම, සංස්කෘතිය පවරාදීම, මානසික පීඩනය අවම කිරීම, ආරක්‍ෂාව සලසා ගැනීමට මග කියාදීම, සම වයස් කණ්ඩායම් සමග කටයුතු කිරීමට සැලැස්වීම. විෂය දැනුම ඕනෑවටත් වඩා පෞද්ගලික උපකාරක පන්තිවලින් ලබාගත හැකි යැයි කෙනකුට තර්ක කළ හැකිය. එය සත්‍යයක් විය හැකිය. දැනුමින් සන්නද්ධ වූ පමණින් දරුවකු සම්පූර්ණ නොවේ. හදවතද ගුණ දහමින් පිරී යා යුතුය. උපාධි විසිපහක් ලබා ගත්තත් තමගේ දෙමාපියන් ඉන්නේ මහළු මඩම තුළ නම් ඒ උපාධිවලින් ඇති ඵලය කුමක්ද? එලෙස නොවන දරුවකු තනන්නට පාසල් ගුරුවරයා දරන වෙහෙස දන්නේ පාසල් ගුරුවරුන්ම පමණි.

ගුරුවරයා යනු දෙවියකු ලෙස හැඳින් වුවත් ඔහුද සාමාන්‍ය මනුෂ්‍යයකු වේ. අනෙක් අය මෙන් ඔහුටද මූලික මිනිස් අවශ්‍යතා සපුරාගත යුතුව ඇත. අතීතයේදී මෙන් නොව වර්තමානයේදී තම මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට අන් අයටත් වඩා ගුරුවරයාට මහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවී ඇත. ඊට හේතුව අනෙක් අයට මෙන් අමතර ආදායම් ඉපයීම සඳහා ගුරුවරයාට ඇති මාර්ග ඉතාම අල්ප වීමත්, ඒ සඳහා යෙදවීමට ඇති කාලය ඉතාම අල්ප වීමත්ය. යම් කාර්යක් සිදුකිරීමට පෙර අනෙක් අය එක්වරක් සිතන විට ගුරුවරයා දහස් වරක් සිතා බැලිය යුතුය. එසේ නොවුණහොත් ගුරුවරයාට එන අපවාද මෙතැකැයි කියා නිම කළ නොහැකිය. පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම ගුරුවරුන් විසින් සිදුකරනු ලබන බව කෙනෙක්ට පැවැසිය හැකිය. එහෙත් සැබෑ තත්ත්වය නම් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගෙන් බහුතරයක් පාසල් ගුරුවරුන් නොවේ. ජීවත් වීමට තරම්වත් වැටුපක් නොලබන ගුරුවරුන් අද සමාජය තුළ ‘නම්බුකාර හිඟන්නන්’ පිරිසක් බවට පත්වී ඇත.

ගුරුවරයාට නිවාඩු මාස 3 ක් හා පාසල පැවැත්වෙන දිනවලදී වරුවක් නිවාඩුය යන මතය සමාජගත වී ඇත. එය එසේ වන්නේ නම් ඉතා හොඳය. එසේ වන්නේ නම් මේ වැටුප ප‍්‍රමාණවත් වේ. අනෙක් කාලය වෙනත් කාර්යන් සඳහා යොදවා මුදලක් උපයාගත හැකිය. එහෙත් එය එසේ නොවන බව ගුරුවරුන් මෙන්ම බලධාරීන්ද දනිති. ඉහතින් සඳහන් කළ ඉගැන්වීමට අමතරව සිදුකරනු ලබන කාර්යන් කරනු ලබන්නේ කෙසේද යන්න සිතා බැලිය යුත්තේ අප නොව ඔබය. ගුරුවරයා ඔය කියන්නා වූ නිවාඩු භුක්ති විඳින්නට පටන් ගතහොත් අනාගත සමාජය වල්මත් වීම කිසිවකුටත් නතර කර දැමිය නොහැකිය.

ගුරුවරුන් ලෙස සේවයට එක් වන්නේ වසර 3 ක හෝ 4 ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා උපාධිය ලබාගෙන ගුරුවරයකු ලෙසද පුහුණු වූ අයයි. නොමැති නම් වසර 3 ක් විද්‍යා පීඨයක අධ්‍යාපනය ලැබූ අයයි. එසේ නොවේ නම් ගුරු විද්‍යාලවල පුහුණුව ලැබූ අයයි. එසේ නොවන කිසිවකුටත් ගුරුවරයකු ලෙස සාර්ථකව සේවය කළ නොහැකිය. එවන් වූ කැප කිරීමක් කර ගුරු සේවයට එක්වන ගුරුවරයකුගේ වැටුපින් තම මූලික මිනිස් අවශ්‍යතාවයන් ටිකවත් කරගත හැකිද යන්න සලකා බැලිය යුතුය. නිසි පුහුණුවකින් පසුව ගුරු සේවයේ පළමු ශ්‍රේණියට උසස් වීමට වසර 20 ක සේවා කාලයක් සපුරාලිය යුතුය. එලෙස පළමු ශ්‍රේණියට උසස් වන ගුරුවරයාගේ වැටුප රු. 46,600/- වැනි සොච්චම් වැටුපකි. මෙම වැටුප මාසයේ දින ගණනින් බෙදා බැලූ විට දිනකට රු. 1553.33 කි. වර්තමානයේ දෛනික කුලී කරුවකුගේ වැටුප රු. 2000/- කි. අනෙක් ශ්‍රේණිවල සිට වැටුප් ලබන්නන්ගේ වැටුප ගැන කවර කතාද?

ඉතිහාසයේ කිසි දිනක ගුරුවරුන් වැඩි වැටුප් ඉල්ලා අරගල කර නැත. අද ද ගුරුවරුන් වැඩි වැටුප් ඉල්ලා අරගල කරන්නේ ද නැත. එසේ අරගල කරන බව කියන්නේ කවුරුන් දැයි රටම දනී. ගුරුවරුන් අදටත් කියන්නේ තමන්ට හිමි වැටුප ලබාදෙන ලෙස මිස වැඩි වැටුපක් ලබාදෙන ලෙස නොවේ. වසර විසිහතරක් තිස්සේ තමාගේ වැටුපෙන් කපා ගන්නා වූ කොටස නතර කරන ලෙස කරන අහිංසක ඉල්ලීමකි. මේ බව උගතුන් යැයි කියා ගන්නා වූ පිරිසක් ගුරුවරුන්ට අපහාස උපහාස කරමින් සිටිති. ගුරුවරුන් ලෙස සේවයට එක්වීමට නම් අවම වශයෙන් උසස් පෙළවත් සමත්විය යුතුය. එහෙත් දියවන්නාව තරණය කිරීමට නම් 8 වත් පාස් විය යුතු යැයි නීතියක් නැත. එවන් වූ අයගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වන්නට නොහැක. අපි ඔවුන්ට අනුකම්පා කරමු.

ජර්න් චාන්සලර්වරිය ඉදිරියට පැමිණි වෘත්තිකයන් පිරිසක් තමාගේ වැටුප ගුරුවරුන්ගේ වැටුපට සමාන කරන ලෙස ඉල්ලූ විට ඇය මෙසේ පැවැසුවාය.

‘ඔබ නිර්මාණය කළ පුද්ගලයාට ඔබ සම කරන්නේ කෙසේද?’

මේ කියමන් තුළින් අපට පැහැදිලි වන්නේ මුළු මහත් සමාජ සංස්ථාවම නිර්මාණය කරන්නේ ගුරුවරයා බවයි. පාසල් ගුරුවරයාගේ දායකත්වයෙන් තොරව සමාජයේ කිසිවක් නිර්මාණය කළ නොහැකි බව පාලකයන් අවබෝධ කර ගන්නේ කවදාද?

මෙලෙස සමාජයේ ඉහළින්ම වැජඹිය යුතු පිරිසක් වූ ගුරුවරුන්ට අද අත්ව ඇති ඉරණම ඉතාම ඛේදජනකය. එම තත්ත්වය නැති කර ගැනීමට ගුරුවරයාට අරගල කරනවා හැර වෙනත් විකල්පයක් නොමැත. අරගලයක් කරත් අන් අය මෙන් නොව විවිධ වූ සීමා මායිම්වලට යටත්ව සිදුකළ යුතුව ඇත. එලෙස අරගල කිරීමට තෝරාගත් අවස්ථාව පිළිබඳව බොහෝ දෙනාට ගැටලූවක් ඇති බව පෙනේ. එහෙත් තමා විඳින දුක් ගැහැට වසර 24 ක් පුරා විඳ දරා ගත් ගුරුවරයා කොරෝනා උවදුරත් සමග කබලෙන් ළිපට වැටී දරාගත නොහැකි තත්ත්වයට පත්වීම ඊට හේතුව බව දන්නේ අතළොස්සකි. කිසිදු අමතර මුදලක් නොලැබෙන පිරිසක් වන බොහෝ ගුරුවරුන් අත ඉතිරි කරගත් කිසිදු මුදලක්ද නැත. මේ නිසා ගුරුවරුන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වී සිටීම නොරහසකි.

මෙම අරගලය කරන්නේ දරුවන්ගෙන් පළිගන්නට නොවේ. දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් ඉහළ නැංවීමටය. මේ වන විට සේවය කරන පිරිමි ගුරුවරුන් ඉතාම අඩුය. ඒ අතරින් ප‍්‍රාථමික අංශයේ පිරිමි ගුරුවරුන් ඉතාම අඩුය. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ නව නැම්මක් ඇති කිරීම උදෙසා කරනු ලබන මෙම අරගලය ඉතා සාධාරණ වූ අරගලයකි. මෙම අරගලයට හූ කියන, කුණු තක්කාලි, කුණු බිත්තර ගසන්නට යෝජනා කරන අම්බරුවන් නොදන්නා කරුණක් ඇත. එනම් ඒවා කරන්නේ මේ රටේ අනාගතය වැනසීමට බව නොදැනීමයි.

මෙම අරගලය නිම කිරීමට දැන් කාලය එළඹ ඇත. එය සිදුකළ යුත්තේ ගුරුවරුන් නොව පාලකයන් විසිනි. ඔවුන්ට එවැනි සිත් පහළ වේවායි ගුරුවරුන් මෙන්ම දරුවන් ගැන සිතන සියල්ලන්ගේ එකම ප‍්‍රාර්ථනාව වන්නේය.

‘වෛද්‍යවරයකුට වැරදුණු දෙය රියන් 4 ක් තුළ වළලා දැමිය හැකිය. එහෙත් ගුරුවරයාට වැරදුනහොත් මුළු ජීවිත කාලය තුළම වෙර දැරුවත් එය වැළලිය නොහැක.

සරත් කේ. විජේසිංහ
ගාල්ල.

advertistmentadvertistment
advertistmentadvertistment