ගුරු උද්ඝෝෂණ සාර්ථකයි, සටන දිගටම – “විසඳුම් නොදී 21 දා පාසල් ඇරියාට අපි එන්නේ නෑ” – ජෝසප් ස්ටාලින්

509

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා සිදු කරන අරගලය ඉදිරියටත් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිවයින‘ට ඊයේ (06 දා) පැවසීය.

ලෝක ගුරු දිනය පදනම් කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ඊයේ (06 දා) දිවයින පුරා ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරය සාර්ථකව පැවැත්වූ බව ද ඒ මහතා කීය.

මෙම විරෝධතාවයන් සඳහා වෘත්තිය සමිති 30ක සාමාජිකයන් එක්වූ බවත් දිවයින පුරා පිහිටා තිබෙන අධ්‍යාපන කොට්ඨාස කාර්යාල පිහිටි නගර කේන්ද්‍ර කරගෙන විරෝධතාවය දැක්වූ බවත් ඒ මහතා කීය. රජය මේ වන විට ගුරු විදුහල්පති වැටුප් විෂමතාව අදියර හතරකින් විසඳීමට යෝජනා කර තිබෙන බවත් එය ප‍්‍රථම අදියරයෙන්ම විසඳන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ස්ටාලින් මහතා පැවසීය.

ඔක්තෝබර් 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙන්නේ ගුරු විදුහල්පතිවරුන් සහය ලබා ගැනීමෙන් තොරව ද යන්න ඒ මහතා විමසා සිටියේය.

පාසල් ආරම්භ කරනවා නම් ඊට පෙර ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කළ යුතු බවත් එසේ නොකරන තෙක් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා නො කරන බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.

ලෝක ගුරු දිනය පාදක කරගෙන පැවැත්වූ විරෝධතාවයේ දී කළු කොඩි ප‍්‍රදර්ශනය කිරීමට තීරණයක් ගෙන නොතිබූ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment