ගුරු උපහාර උළෙලක් සඳහා රු 300 ක් නොදුන් මල්ලීට බනින්න එපා කියූ සිසුවියට විදුහල්පති කොසු මිටකින් පන්න පන්නා පහරදීලා

1106

සර්… මල්ලිට බනින්න එපා මම තාත්තාගෙන් මුදල් ඉල්ලලා දෙන්නම්…

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහරදී තිබේ. එයින් තුවාල ලැබූ පාසල් සිසුවිය 29දා රෝහලට ඇතුළත් කළ බවත්, තුවාල ලැබූ එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවත් කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී ශාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය.

පාසලේ පැවැත්වීමට නියමිත ගුරු උපහාර උළෙලක් සඳහා රු 300 ක මුදලක් එම පාසලේම අධ්‍යපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැණවැදී තිබේ. එහිදී ඇය සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ළඟ වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලලා දෙන්නම් කියා තිබේ. එම අවස්ථාවේ උරණ විදුහල්පතිවරයා තමන්ට කොසු මිටකින් පන්න පන්නා අමානුෂික ලෙස පහර දුන් බවත්, තමා කෑ ගසන ශබ්දය ඇසී තාත්තා පාසල වෙත දුව ඇවිත් විදුහල්පතිවරයාගෙන් තමන්ව බේරා ගත් බව ඇය අප සමග පවසා සිටියාය.

පහරකෑමට ලක් වූ පාසල් සිසුවියගේ පියා කියා සිටින්නේ තමන්ට දරුවන් සිවු දෙනෙක් සිටින බවය. තම පවුලේ ආර්ථික අපහසුකම් නිසා බිරිඳ ගෘහ සේවයට විදේශ ගත වී ඇති බව කීය..

ගුරු උපහාර උළෙලක් සඳහා රු 300 ක් නොදුන් මල්ලීට බනින්න එපා කියූ සිසුවියට විදුහල්පති කොසු මිටකින් පන්න පන්නා පහරදීලා
දැරිය රෝහලට රැගෙන යමින්

මිත්තණියගේ රැකවරණය යටතේ තම දරුවන් සිව්දෙනා සිටින බවත්, තම දියණිය බේරා ගැනීමට පාසල වෙත ගිය අවස්ථාවේ එම පාසලේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණඩලයද තමන්ට බැන වැද පහර දීමට තැත් කළ බව පවසමින් පහර කෑමට ලක් වු දැරියගේ පියා දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

අප මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ විනය හේතුවක් මත එම පාසල් දැරියට කුඩා කෝටුවකින් පහර කිහිපයක් ගැසූ බවයි.

පාසල් සංවර්ධන කමිටුවේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙල සඳහා මුදල් එකතු කරනු ලබන්නේ පාසලේ ශිෂ්‍යය නායිකාවක් බවත්, තමන් මුදල් ඉල්ලා එම සිසුවියට පහර නොදුන් බවයි විදුහල්පතිවරයා කියා සිටියේය.

පාසල වෙත පැමිණි එම පාසල් සිසුවියගේ පියා විසින් තමන්ට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තමන්ද දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කළ බවද එම විදුහලේ විදුහල්පතිවරයා පැවසීය.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment