ගුරු, බුධ, සිකුරු, පෘථිවි, අඟහරු….

2501

අපේ සෞරග‍්‍රහ මණ්ඩලය මධ්‍යයෙහි තිබෙන්නා වූ තාරකාවෙහි නම සූර්යයා ය. මේ වටා ඇති රැස් වළල්ල කොරෝනා ලෙස හඳුන්වනු ලැබේ. වෛරසයක වෙසින් මේ මොහොතේදී පෘථිවිය ආක‍්‍රමණය කර ඇති කොරෝනාව නිසා ශ‍්‍රී ලංකාවේ පාරවල් පුරා මළ මිනී ගොඩගැහෙන තත්ත්වයක් මතුව තිබේ. එසේ නොවේවා යන්න අපගේ පැතුමයි. බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, ගුරු සෙනසුරු, යුරේනස්, නෙප්චුන්, ප්ලූටෝ යනාදී වශයෙන් ග‍්‍රහයන් නව දෙනෙක් සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙති. මේ බව කුඩා ළමෝ ද දනිති. ගුරු යනු මේ ග‍්‍රහ මණ්ඩලයේ පස්වන තැන තිබෙන ග‍්‍රහයාය. අද, විභවය වැඩි වීම නිසා ගුරු අපේ දේශපාලන ග‍්‍රහ මණ්ඩලයේ පළමු තැනට පිවිස ඇත. ගුරුවරු තවමත් පාරේය. ගුරුවරු පාරට බැස්සේ ඉතාම නරක වෙලාවකයි. මුළු රටම වසංගත භීතියකින් ඇළලී අද ලොක්ඩවුන් හෙට ලොක්ඩවුන් යන සැකයෙන් රට වැසියන් පෙළෙන මේ මොහොතේදී ගුරු වර්ජනය විසින් ඉදිරියට සිදුවීමට තිබෙන ලොක්ඩවුන් එකක් ඉක්මන් කිරීමට හෝ නැති ලොක්ඩවුන් එකක් ඇති කිරීමට ආණ්ඩුව පොළඹවමින් සිටිනු ලබන බවක් හෝ පෙනෙයි. ගුරුවරුන්ගේ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු දෙයක් අත්හැරීමට ආණ්ඩුව සූදානම් නැත. එසේම වර්ජනය අත්හැරීමට ආඥාදායක ජෝශෆ් ස්ටාලින් ඇතුළු ගුරු වෘත්තීය සමිතිය ද සූදානම් නැත. ආණ්ඩුව සහ ස්ටාලින්වාදය අතර සිරවී සිටින ශිෂ්‍ය පරපුරේ අනාගතය දිගින් දිගටම අවදානමට වැටෙමින් පවතී. ගුරුවරුන්ගේ ප‍්‍රශ්නය ගැන කතු වැකි තුනක් මගින් සාකච්ඡා කිරීමට ‘දිවයින’ට සිදුවිය. ඒ කතු වැකි නිසා මද කිපුණු සමහර ගුරුවල් අලි ‘දිවයින‘ට පහර දෙමින් දිවයින මිලදී ගැනීම වර්ජනය කරන්නැයි ෆේස් බුක් ව්‍යාපාරයක් ආරම්භ කළහ. මෙහිදී වල් අලියා යන වචනය ඉල්ලා අස්කරගනු ලැබේ. ඒකා අසරණ නම්බුකාර කැලෑ සතෙකි. ‘දිවයින’ මිලට නොගන්නැයි ෆේස් බුක් එකෙන් කීමෙන් පලක් නැත. සාමාන්‍යයෙන් ෆේස්බුක් කට්ටිය පුවත්පත් මිලට නොගනිති. එසේම මෙකල සිටින ගුරුවරු ද පුවත්පත් මිලට නොගනිති. එසේ පුවත්පත් මිලට ගන්නා ගුරුවරු සිටිත් නම් මේ රටේ පත්තර විකිණෙන්නේ මිලියන ගණනිනි. එහෙත් එවැනි තත්ත්වයක් නැත. ගුරුවරුන්ගේ වැටුප විසි හතර අවුරුද්දකින් වැඩිවී නැත. ඒ නිසා පත්තර ගැනීමට තියා පාන් ගැනීමටවත් ඔවුන්ට වත්කමක් නැති බව කියනු ලැබේ. එහෙත් ආණ්ඩුව කියන්නේ ගුරුවරුන්ට රුපියල් හතලිස් දහසක් වැටුප් ලැබෙන බවයි. සාමාන්‍යයෙන් මේ රටේ වැටුප යනු රහසකි. බිරිඳගේ වැටුප සැමියා නොදන්නා අතර සැමියාගේ වැටුප බිරිඳ නොදනී. ඒ ඒ පාර්ශ්ව ඒවා රාජ්‍ය රහස් ලෙස සුරකිති. හැබැයි මේ රටේ ගුරුවරු මේ විදිහට පාරට පැන පිස්සු කෙළින්නට පටන් ගතහොත් කොරෝනාව සමස්ත ලංකා මට්ටමින් බෝවී රට ලොක්ඩවුන් කිරීමට සිදුවී ආර්ථිකය බංකොලොත් වී ලැබෙන පඩියත් නොලැබෙන මට්ටමක් මතුවෙනවා ඇත. මේ පුවත්පත ප‍්‍රගතිශීලී වර්ජන සම්බන්ධයෙන් හැමදාමත් ගරු කරයි. ගුරුවරුන්ගේ වර්ජනය සම්බන්ධයෙන් එබඳු ප‍්‍රතිපත්තියක සිටීමට අප උත්සාහ කළත් ආඥාදායක ජෝශෆ් ස්ටාලින් ඇතුළු පිරිස හැසිරෙන ආකාරය නිසා අප තුළ ඒ කෙරෙහි කිසිදු ගෞරවයක් මේ වනවිට නැත. අපට දුක රට දැයට ශිල්ප දුන් මේ මිනිසුන් සහ ගැහැනුන් මහා පාරේ ගිනි අව්වේ වේලෙමින් රස්තියාදු වෙන එක ගැනය.

ගුරුවරුන්ගේ වැටුප අවුරුදු විසි හතරකින් වැඩිවී නොමැත්තේය යන ස්ථාවරය යටතේ අපි මෙතැන් සිට කතා කරමු. පසුගිය අවුරුදු විසි හතර තුළ හාල් මිල පනස් වතාවක් පමණ වැඩිවිය. ඛනිජ තෙල් මිල පහළොස් වතාවක් පමණ වැඩිවිය. පාන් මිල විසි වතාවකට වඩා වැඩිවිය. අනෙක් හැම පාරිභෝගික භාණ්ඩයක් මැ අවස්ථා කීයකදී මිල වැඩි වුණේ ද යන්න අපි නොදනිමු. අවුරුදු විසි හතරකට පෙර සත පනහට තිබූ ටොෆියක් අද රුපියල් පහකි. අවුරුදු විසි හතරකට පෙර රුපියල් පහේ බස් ගාස්තුව අද රුපියල් විසි දෙකයි පනහකි. මේ අනුව විසි හතර අවුරුද්දක් තිස්සේ ගුරු වැටුප් වැඩි නොවීම ඉතාම නරක දෙයකි. ගුරු වැටුප් පමණක් නොව සාමාන්‍ය ශ‍්‍රමිකයන්ගේ වැටුප ද පසුගිය අවුරුදු විසි හතර තිස්සේ වැඩිව වුණේ ඉතා ස්වල්ප වශයෙනි. රටේ ජීවන වියදම ඉහළ ගොස් ඇති ආකාරයට පෙනී යන්නේ සාමාන්‍ය ශ‍්‍රමිකයන්ගේ වැටුප් වැඩිවුණේ වැඩි නොවුණා හා සමානව ය. මේ නිසා ගුරු දෙවිවරු පමණක් නොව සෙසු බැතිමත්තු ද ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිති. සෑම ආණ්ඩුවක්ම ස්වකීය ඡන්ද පදනම සහ මනාප පදනම වැඩිකර ගත්තා මිස මිනිසුන් ගැන බැලූවේ නැත. හැම ආණ්ඩුවකම සැලකිය යුතු පිරිසක් බැලූවේ මිනිසුන් දෙස නොව ඒ මිනිසුන්ගේ ගැහැනුන් දෙසය. එහෙමත් නැත්නම් මේ පාලන කාලයේදී සුව පහසු ජීවිත ගත් කර ඊළඟ පාලන කාලය සඳහා ගාණක් කපා ගන්නේ කෙසේද යනුවෙන්ය. මේ චින්තනය වෙනුවෙන් ගෙවීමට සිදුව තිබෙන වන්දිය ඉතා බරපතලය. ගුරු දෙවිවරුන්ගෙන් අප ඉල්ලන්නේ වර්ජනය අත්හැර ඔන්ලයින් පංති පටන්ගෙන ජාතියේ දූ දරුවන් විභාගවලින් එතෙර කරදී කොවිඞ් වසංගතය නිම වූ පසු පාරට බසින ලෙසය. අන්න එදාට ‘දිවයින’ ගත්තත් නැතත් ‘දිවයින’ ගුරුවරුන් සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment