ගුරු මාරුව නීච වෙයි!

411

ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීමෙන් 9000ගේ පැතුම් සුන් වෙයි!

අධ්‍යාපන බලධාරිහු දුරකතනය මගහරිති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීමට පියවර ගැනීමත් සමඟ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් දැඩි අර්බුදයකට ලක්ව තිබේ. 2017 සිට ක්‍රියාත්මක වූ ගුරු මාරුවීම් කොරෝනා තත්ත්වය හමුවේ 2020 – 2021 වසරවල සිදු කිරීමට නොහැකි වූ අතර එය මේ වසරේ (2023) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු අවසන් කර ස්ථාන මාරුවීම් ලිපි තැපැල් මගින් යොමුකරමින් තිබිණි.

2,50,000 ක් පමණ ගුරුවරුන් සඳහා ජාතික පළාත් සහ කලාප වශයෙන් ගුරුමාරු මණ්ඩල ස්ථාපිත කර තිබේ. මෙයින් ජාතික පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ගුරු මාරු මණ්ඩලය ජනාධිපතිවරයා විසින් අහෝසිකර තිබෙන බවට වාර්තාවීම නිසා ඒ යටතේ ස්ථාන මාරුවීම් ලැබීමට නියමිතව සිටි 9,000 ක පමණ පිරිසක් අසීරුවට පත්ව සිටිති. මෙය සමස්ත ගුරුමාරු පද්ධතියට බලපෑමක් ඇති කරයි.

ජාතික පාසල් දෙකක් අතර පසුගියදා පැවති ක්‍රිකට් තරගයකදී ඉස්මතු වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹි බවට චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා දුරකථන හරහා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සංගම්වල නියෝජිතයෝ මෙසේ අදහස් දැක්වූහ.

ගුරු මාරුව නීච වෙයි!

ජාතික පාසල්වල ගුරු මාරු මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ගුරු මාරුවීම්වලට අදාළ ලිපි මේ වනවිටත් යොමුකර ඇති බවත් ඒ අනුව ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් මාර්තු 28 වැනිදා සිට නව පාසලේ සේවය සඳහා යොමුවිය යුතු බවත් පැවසූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පක්‍ඳ්ඤාසේකර හිමියෝ මෙය නතර කළහොත් නීතිමය සහ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසූහ.

මෙම ජාතික ගුරුමාරු මණ්ඩලය අහෝසි කිරීමේ වුවමනාව ඇත්තේ ජාතික පාසල් 21 ක විදුහල්පතිවරුන්ට හා එම පාසල්වල ගුරුවරුන් කිහිපදෙනෙකුට බව ද ගුරු මාරු මණ්ඩල ආයතන සංග්‍රහය, ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය සහ රාජ්‍ය සේවා කොමිසමේ එකඟතාව මත පත්කර තිබෙන බවත් පැවසූ උන්වහන්සේ කලාප, පළාත් සහ ජාතික වශයෙන් ගුරු මාරු මණ්ඩල ක්‍රියාත්මක වන බව ද කියා සිටියහ.

ගුරු මාරු සඳහා ක්‍රියා පටිපාටියක් සකස් කර තිබෙන බවත්, එහිදී එකම පාසලේ වසර 08 කට වඩා වැඩි කාලයක් සේවය කළ පිරිස ඇතුළු සුවිශේෂී කරුණු මත ස්ථාන මාරුවීම් සිදුකරන බවත් උන්වහන්සේ කීහ. එහිදී ඉතා ජනප්‍රිය පාසල්, ජනප්‍රිය පාසල් සහ ප්‍රියමනාප නොවන (හුදෙකලා) වශයෙන් පාසල් වෙන්කොට ආයතන සංග්‍රහයට අනුව ප්‍රියමනාප පාසලක සේවය කිරීමේ අවස්ථාව ලබාදිය යුතුය යන පදනමේ සිට ගුරු ස්ථාන මාරු ක්‍රියාත්මක කර තිබෙන බව ද උන්වහන්සේ කීහ.

ගුරු ස්ථාන මාරුවීම් 2017 සිට ක්‍රියාත්මක වන බවත්, 2020, 2021 වසරවල ගුරු ස්ථාන මාරුවීම් සිදුකළ නොහැකි වුවත්, එය මේ වසරේ (2023) සිට ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරුන් 12,000 ක් සම්බන්ධයෙන් කටයුතු කරගෙන ගිය බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ගුරු මාරු මණ්ඩලය විසින් ගුරු මාරුවීම් සකස් කර ඊට අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන ලේකම් හා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව ලිපි තැපැල් කරමින් සිටින බවත්, ඒ අනුව නව සේවා ස්ථානයේ වැඩ භාර ගැනීම මාර්තු 28 වැනිදා සිදුකළ යුතු බව ගුරුවරුන්ට ලිපිය මගින් දැනුම් දී තිබෙන බවත් උන්වහන්සේ කීහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියාසිටියේ ජාතික පාසල් ගුරුමාරු මණ්ඩලය ජනාධිපතිවරයා විසින් අහෝසි කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවය. ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීමට ව්‍යාපාරික විදුහල්පතිවරුන් කිහිපදෙනකුට අවශ්‍යව තිබෙන බව ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් අද (20 දා) සවස 2.00 ට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වන බවත්, එහිදී ලැබෙන ප්‍රතිචාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසීය.

2020, 2021 වසරවල කොරෝනා වසංගතය හේතුවෙන් ගුරු මාරු මණ්ඩල ක්‍රියාත්මක නොවූ බවත්, 2020, 2021, 2022 වර්ෂ තුනම අදාළ කරගෙන මෙවර ගුරුවරුන් 9000 ක් පමණ ස්ථාන මාරුකිරීම් සිදුකිරීමට ඉතාම ආසන්නව තිබියදී එය අවලංගු කිරීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඔහු කීය. වසර 10 කට වැඩි කාලයක් එකම ස්ථානයේ රාජකාරි කිරීම, සෞඛ්‍ය හේතු මත වැනි සුවිශේෂී කරුණු සලකා බලා විනිවිද භාවයෙන් ස්ථාන මාරුවීම් සිදුකර තිබෙන බවත්, එම ස්ථාන මාරු මාර්තු 27 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන බවත් ස්ටාලින් මහතා කියා සිටියේය.

ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීමට ව්‍යාපාරිකයන් ලෙස වත්කම් උපයාගෙන සිටින විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුට අවශ්‍යව තිබූ බවත්, ඔවුන්ගේ වත්කම් සොයා බැලීම සිදුකළ යුතු බවත් පැවසූ ස්ටාලින් මහතා සෑම ගුරුවරයකුටම සමාන ලෙස වරප්‍රසාද භුක්තිවිඳීමට ගුරු මාරු මණ්ඩලය අවශ්‍ය වුවත් ව්‍යාපාරිකයන් ලෙස වත්කම් උපයාගත් ඇතැම් විදුහල්පතිවරුන් තමන්ට හිතවත් ගුරුවරුන් එම පාසල්වලම තබාගෙන වසර 25 වැනි සේවා ඇගයීම් සම්මාන දීමට උනන්දුවක් දක්වන බවත් පැවසීය.

ගුරු මාරු මණ්ඩලය අහෝසි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය මගින් ප්‍රචාරය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති හෝ අධ්‍යාපන ලේකම්වරයා නොදැන සිටි බව තමන් සිදුකළ විමසීමකදී දැනගන්න ලැබුණුූ බවත් පැවසූ ස්ටාලින් මහතා ගුරු මාරු මණ්ඩලය තුළ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් නොමැති බව ද වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් කියාසිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් දෙදෙනෙකු ගුරු මාරු මණ්ඩලය නියෝජනය කිරීම නිසා ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය අහෝසි කර ඇති බව දැනගන්නට තිබෙන බවය.

එවැනි තත්ත්වයක් පවතී නම් ගුරු මාරු මණ්ඩලය අහෝසි නොකර එම සාමාජිකයන් දෙදෙනා ඉවත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබුණු බවත්, ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය ගුරු සංගම් 23 ක් නියෝජනය වන බවත්, ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ විනිවිද භාවයෙන් යුක්තව ගුරු මාරුවීම් සිදුකරමින් අභියාචනා අධ්‍යනය කරමින් සිටි බවත් උන්වහන්සේ කීහ. මෙම අහෝසි කිරීම හරහා පළාත් සභා සහ කලාප ගුරු මාරු මණ්ඩල අහෝසිකර නැතත් ඒවාට ද යම් බලපෑමක් එල්ල විය හැකි බවත් උන්වහන්සේ කීහ.

ගුරු ස්ථාන මාරුවීම් වසර 08 ත් 10 ත් එකම පාසලේ සිටි ගුරුවරුන් ඇතුළු සුවිශේෂී කාරණා නිසා ස්ථාන මාරුවීම් සිදුකළ බවත්, මෙය අහෝසි කිරීමට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නා බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment