ගුරු වක්‍රයට සිකුරු නිවෘතයට

3467

ග්‍රහලොව සුරගුරු ලෙස හැඳින්වෙන ගුරු ග්‍රහයා 2023 සැප්තැම්බර් මස 04 වැනිදා රාත්‍රි 7:42ට වක්‍ර ගමන අරඹයි. මේ අතර අසුර ගුරු සිකුරු නිවෘත වෙයි. ඒ සැප්: 04 උදෑසන 6.51ට යි. එනම් සිකුරු වක්‍රය අතහරී.සරල බසින් පැවසුවහොත් ගුරු ග්‍රහයා ආපසු හැරී ගමන් කරන අතර සිකුරු ග්‍රහයා ඉදිරියට ගමන් කිරීම අරඹයි. මෙය සුර අසුර බල අරගලයක් ලෙස ද හැඳින්විය හැක. අසුර ගුරු සිටින්නේ කටක රාශිය වන අතර ඔහු ගමන් කරන්නේ රවි ස්වක්‍ෂේත්‍ර වන එනම් රාජ්‍යත්වය ගැන කතාකරන සිංහ රාශිය දෙසටයි. සුර ගුරු සිටින්නේ උච්ච වන මේෂ රාශියේයි.

ඉදිරි කාලය තුළ දේශපාලන පොර පිටිය උණුසුම් වේ. ප්‍රධාන සුර, අසුර පක්‍ෂ ගැටේ. මෙහි මූලාරම්භය සැප්තැම්බර් 04 වැනිදා සිදුවේ.

ගුරු වක්‍ර වීම සමග ප්‍රධාන දැවැන්ත පක්‍ෂයක පිරිස් දෙකට වීමත් පෙන්වන අතර නව ආකාර සන්ධාන ගතවීම් ඉදිරියේදී දැකීමට ඉඩ තිබේ. ඒ අනුව දේශපාලන භූමිය සැප්තැම්බර් 4 සිට දෙසැම්බර් 31 දක්වා ඉතා තදින් උණුසුම් වන අතර ඔක්තෝබර් 02 වැනිදා සිට නොවැම්බර් 03 අතර කාලය එහි උච්ච තත්ත්වය පෙන්නුම් කරන කාලය වේ. මෙම කාලය තුළ කැබිනට් අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු අතර ගැටුම් උදාවන අතර විවිධ පක්‍ෂ ඉහළ තනතුරු හා පහල තනතුරු අතර ද ගැටුම් නිර්මාණය කෙරේ. පූජ්‍ය පක්‍ෂයේ නායක ස්වාමීන් වහන්සේට ද යම් බාධක ගැටලු නිර්මාණය වේ. කෙසේ වෙතත් රටේ සංචාරක ව්‍යාපායට හිතකර අරුම නීති ස්ථාවර වනු ඇත. සැප්තැම්බර් 4 සිට දෙසැම්බර් 31 දක්වා පොදු මහජනතාව නිතර කුසල් සිතින් ජීවත්වීම ඉතා යෝග්‍යයි. එම කාලය තළ නිතර අටවිසි බෝධි පූජා පැවැත්වීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා තැබීම, තම ගමේ පන්සලේ වතාවත් ඉටුකිරීම සුබ වේ. තවද පූජ්‍ය උතුමන්ට දන් දීම, සිල් ගැනීම, කායික, වාචික සංවරය පවත්වාගෙන යෑම ද හිතකරයි.

මේෂ

බුද්ධිමත් තීන්දු ගැනීමට පෙළඹේ. පෙර තිබූ බාධා අවම වේ. යහපත් නව සබඳතා සෑදේ. උසස් තනතුරු ලාභ හිමිවේ. ඉහළ නිලධාරීන් සමඟ සෞම්‍ය සබඳතා ගොඩනැඟේ.

වෘෂභ

වියදම් පාලනය කරගනී. විදේශගත කටයුතු ුවලට බාධා උදා කරයි. මානව සම්පත කටයුතු ප්‍රවේශමෙන් කළයුතු කාලයකි. අක්මාව ආශ්‍රිත රෝග උදාවිය හැක. යටපත්වූ ආර්ථික අවස්ථා උදාවේ.

මිථුන

රැකී රක්‍ෂා කටයුතු දියුණු වේ. වෘත්තීමය තත්ත්වය යහපත් වේ. ව්‍යාපාරික කටයුතුවලට සුළු බාධා උදා කරයි. අධ්‍යාපනික කටයුතුවලට සුබයි. නව මිත්‍ර සබදතා ද ඇතිවේ.

කටක

රැකියාවට වඩා උගත්කමට තැන හිමිවේ. අලුත් දේ ඉගෙනීමට සිතෙයි. පදිංචිය වෙනස් කිරීමට ද අවස්ථා උදාවේ. හවුල් ව්‍යාපාරවල පරිපාලන ගැටලු ඇතිවිය හැක.

සිංහ

අධ්‍යාපනික කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ආගමික භක්තිය උදාකරයි. සමාජ සබඳතා වර්ධනය වේ. යුග ජීවිතයේ ගැටලු උදාවිය හැක. රැකියාවට ද සුලු බාධා නිර්මාණය වේ.

කන්‍යා

රහස් මිත්‍ර සබඳතා උදාවේ. හවුල් ව්‍යාපාර යළි යහපත් වේ. රහස් ආදායම් මාර්ග ද නිර්මාණය කරයි. අධික කාර්යබහුල කාලයකි. නිතර මනස නිරවුල්ව තබාගත යුතුයි. අධ්‍යාපනික කටයුතු ගැන ද අවබෝධයෙන් කටයුතු කරන්න.

තුලා

විවාහ ගැටලු උදාවේ. සමාජ සබඳතා ප්‍රවේශමෙන් පවත්වාගෙන යා යුතුයි. වැඩිහිටියන්ගේ ආධාර අනුබල ලැබේ. පාද ආශ්‍රිත රෝග උදාවිය හැක. ප්‍රේම සබඳතාවලට යහපත්ය.

වෘශ්චික

සේවක ගැටලු අවදානම් ඇතිවේ. සමාජ ප්‍රශ්න අවම කරගැනීමට වෙහෙස වන්න. දුරබැහැර ගමන් බිමන් යෙදේ. මානසික පීඩා උදාකරයි. සතුරු බලවේග ඉස්මතු වේ. වෙනත් අතිරේක ධන මාර්ග හෝ වෙනත් ධන මාර්ග විවරවේ.

ධනු

දරුවන් හිතුවක්කාර විය හැක. වෙනදාට වඩා දරුවන් ගැන බලන්න. මානව සම්පත් කළමනාකරණ වැඩකටයුතුවලට අවධානය යොමු වේ. තමාගේ අධ්‍යාපනික කටයුතුවලට යහපත් කාලයකි. නිවස සම්බන්ධ ගැටලු ද නිරාකරණය වේ.

මකර

නිවාස විකිණීම් වැඩවලට ශුභයි. සමාජ සබඳතා වර්ධනය වේ. නිවසේ සිට කරගෙන යන වැඩවලින් කාර්ය බහුල වේ. දුරබැහැර ගමන් ද යෙදේ. යාන වාහන කටයුතු බහුල කරයි. සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න.

කුම්භ

සහජ කුසලතාවල සුළු පැටලිලි උදාවේ. මානව සම්පත් කළමනාකරණ වැඩවලට ඉතා යෝග්‍යයි. පපුව ආශ්‍රිත රෝග උත්සන්න විය හැක. උණසන්නිපාත රෝගවලින් ද පීඩා ගෙන දෙයි. නව වැඩකටයුතු රැසකට මුලපුරයි.

මීන

වචන ප්‍රවේශමෙන් භාවිත කරන්න. වැඩිහිටි නිවාසවලට උදව් උපකාර කරන්න. මානව සම්පත් කළමනාකරණ වැඩවලට යෝග්‍යයි. ඇස්, පාද ආශ්‍රිත රෝග උදාකරයි. පවුලේ අර්බුද උදාවිය හැකි නිසා ප්‍රවේශමෙන් මිනිසුන් ආශ්‍රය කරන්න. නිතර මෛත්‍රී භාවනාව පුරුදු කිරීම, බුදුගුණ මෙනෙහි කිරීම සැමට යහපත උදාකරනු ඇත.

ගුරු වක්‍රයට සිකුරු නිවෘතයට

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353

advertistmentadvertistment
advertistmentadvertistment