ගුරු වර්ජන – පොහොර විලාපය මැද ආණ්ඩුවේ ඉදිරි ගමන

530

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වැනි සැමරුම් දින අභිමානය පැවැත්වූයේ පසුගිය 10 වැනි ඉරිදා දිනයේ අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදීය. ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හමුදා දින සැමරුම පැවැත්වීමද සුවිශේෂී කරුණකි. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ මහා මෙහෙයුමේදී ගජබා රෙජිමේන්තුවට හිමිවූයේ සුවිශේෂි තැනකි. එසේම වත්මන් හමුදාපතිවරයා මෙන්ම ආරක්‍ෂක ලේකම්වරයාත් අයත්වන්නේ ගජබාවටය. එහෙත් අද අප අවධානය යොමු කරන්නේ ගජබා මූලස්ථානයේ සිට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටේ ජනතාවට ලබාදුන් පණිවුඩය පිළිබඳවය. ජනතාව තමා කෙරෙහි හා රජය කෙරෙහි යම් අප‍්‍රසාදයකින් පසුවන බව ද දන්නා බවත් පවත්නා වසංගත තත්ත්වය පාලනය කර නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බවත් මෙහිදී ජනපතිවරයා ප‍්‍රකාශ කර සිටියේය. මෙය වැදගත් ප‍්‍රකාශයකි. මෙවැනි කතා අපි මීට පෙර ජනාධිපතිවරයෙකු ගෙන් අසා නැත. අප‍්‍රසාදය දන්නා බවත් එය දුරුකිරීමට කටයුතු කරන බව පැවසීම තුළින්ම ජනපතිවරයා සෙසු දේශපාලකයන්ට වඩා වෙනස් පුද්ගලයෙකු බව පැහැදිලිව ප‍්‍රකට වේ. එම අවංක ප‍්‍රකාශය අගය කළ යුතුය.

මේ ප‍්‍රකාශය මෙරට මාධ්‍ය පමණක් නොව ඉන්දීය මාධ්‍යවල පවා පළවී තිබිණි. වියොන් රූපවාහිනියේ පල්කි ශර්මා ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි ප‍්‍රකාශ සාමාන්‍යයෙන් දේශපාලකයකුගෙන් අසන්නට නොලැබෙන බවයි. ජනාධිපතිවරයා බලයට පත්වී මාස කිහිපයක් ගතවන විටම වසංගතය නිසා රට වසා දැමීමට සිදුවිය. එය මෙරට ආර්ථිකයට දරුණු ප‍්‍රහාරයක් විය. ජනාධිපති ධුර කාලයෙන් වසර දෙකක්ම කොවිඞ් වසංගතය විසින් දවා හමාරකර ඇත. එය කිසිවකුට වැළැක්විය නොහැකි විය. වසංගතය හමුවේ ජීවිත ආරක්‍ෂා කිරීමට කටයුතු කරනු විනා මැතිවරණ පොරොන්දු ගැන අවධානය යොමු කළ නොහැක. ජනතාව තුළ යම් අප‍්‍රසාදයක් ඇතිවී තිබෙන බව ඇත්තකි. නමුත් එයට හේතුව වසංගතය මිස අනෙකක් නොවේ. කවරකු බලයට පත්ව සිටිය ද මෙයට මුහුණ දීමට සිදු වේ. එහෙත් ඉතාම බරපතළ අභියෝග යටතේ මේ අකාරයෙන් හෝ රට ඉදිරියට ගෙනයෑමට හැකිවීම ගැන රටේ ජනතාව ජනපතිවරයාට ගෞරවය පුද කළ යුතුය. මුහුණු පොතේ වීරයෝ නම් බොහෝ මුසා දොඩති. දහම් පාසලක රැුස්වීමක හෝ සාමාජිකයෙක් වී නැති අය රට පාලනය කරන ආකාරය පිළිබඳ පොස්ට් දමති. ලෝකයේත් ලංකාවේත් මේ අඳුරු සමය එළඹුනු නිසා ජනපතිවරයා බලාපොරොත්තු වූ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම ඇන හිටියේය.

එහෙත් මේ ජනාධිපතිවරයා නොසිටින්න රට විශාලාවක් වන බව නම් පැහැදිලිය. විපක්‍ෂ කණ්ඩායම් හැමවිටම උත්සාහ කළේ රට අරාජිකත්වයට ඇද දැමීමටය. එන්නත ලබාදීමේදී පවා තක්කඩි වෘත්තීය සමිති ක‍්‍රියා කළේ කෙසේද? වසංගතය හමුවේ අර්ථිකය ඉතාම අසීරුවට පත්ව තිබේ.

2015 ට පෙර අධ්‍යාපනයට 6% ක් වෙන්කරන්නැයි ඉල්ලා පෙළපාලි ගියා අපට මතකය. වත්මන් ගුරු වර්ජනය එහිම දිගුවකි. වර්ජන හමුවේ සියලූ බාධා කිරීම් මැද මෙලෙස රට පවත්වාගෙන යෑමට හැකිවීම ගැන සැබවින්ම රටට හිතවත් ලාංකිකයන් සතුටු විය යුතුය. රට ලොක්ඩවුන් කරන විට ඇගලූම් කර්මාන්ත පවා වසා දැමීමට ජවිපෙ වෘත්තීය සංගම්වලට අවශ්‍ය විය. එහි අරමුණු කුමක්ද? රටට එන විදේශ මුදල් ටික නැවැත්වීමය. ඉන්ධන ඉල්ලා මහජනයා පාරට බැස කැරලි ගසන තත්ත්වයක් නිර්මාණය කිරීම ඔවුනට අවශ්‍ය විය.

පාදඩ අරමුණු ඇති කණ්ඩායම් සමග රටක් පවත්වාගෙන යාමට ලෙහෙසි නැත. ලංකාව ඩොලර් හිගයකට මුහුණපෑවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටීම නිසාය. එය ඉදිරි මාස කිහිපයේ යථා තත්ත්වයට පත්වූහොත් අපට සැනසුම් සුසුම් හෙළිය හැක.

ගෑස්, කිරිපිටි, තිිරිගුපිටි ඇතුළු බොහෝ ද්‍රව්‍යවල මිල ඉහළ යෑම ආණ්ඩුව කෙරෙහි ජනයා කෝප කරවන්නකි. නමුත් මෙය ලංකාවට පමණක් උරුම වුවක්ද? නැත. ලෝකයටම මුහුණ දෙන්නට සිදුව ඇති තත්ත්වයකි. බත් පැකට් එකත් කොත්තු රොටියත් ඉහළ යන්නේ රුපියල අවප‍්‍රමාණය වීම නිසා ඇතිවන අර්බුදයේ දිගුවක් ලෙසිනි. මේ නිසාම සැප්තැම්බර් මාසයේ උද්ධමන අගය 5% දක්වා වැඩිවී තිබේ. වසංගතය හේතුවෙන් රාජ්‍ය ආදායම සීමාවීම නිසා තවදුරටත් ජනනතාවට සහන දීමට හැකියාවක් රජයට නොමැති වී ඇත. ඉදිරියේදී ඉන්ධන මිල පවා ඉහළ දැමීමට සිදුවනු ඇත. යුරෝපයට ශීත කාලය එළඹෙත්ම තෙල් හා ගෑස් මිල ඉතා වේගයෙන් ඉහළ යන නිසා අපටත් පටි තද කර ගැනීමට සිදු වේ. තෙල් බැරලය ඩොලර් සියය දක්වා ඉහළ යන බව මේ වනවිට පුරෝකථනය කර ඇත. තෙල් මිල වසර පහකින් වාර්තා වූ වැඩිම මිල ද පසුගියදා වාර්තා විය.

සියල්ලම නිකන් දෙන්නට රජයට නොහැකිය. රාජ්‍ය සේවක වැටුප් විශ‍්‍රාම වැටුප් ගෙවා දැමු පසු ඉතිරිවන්නේ සොච්චමක්ය. වසංගත කාලය පුරාම කිසිම විටක රාජ්‍ය සේවක වැටුප් අඩු කළේ නැත. ගුරුවරුන් ඉතා හොඳින් වර්ජනයේ යෙදුනද අදාළ දිනයේ පඩි වැටී ඇත. එහෙත් මොවුන් තම සමාජ යුතුකම අවභාවිත කර ඇති බව නම් පැහැදිලිය. ගුරු ගෞරවය වියැකෙන්නට කටයුතු කළ යුතු නැත. එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානය මීට සතියකට පමණ පෙර ප‍්‍රකාශ කර තිබුණේ ලොව පුරාම ආහාර මිල වසර දහයකින් වාර්තා වූ වැඩිම මිල බවට පත්ව ඇති බවයි. වසංගතය මෙන්ම කාලගුණයේ ඇතිව තිබෙන වෙනස්කම් මෙලෙස ආහාර මිල ඉහළ යෑම කෙරෙහි බලපා ඇත. මේ හේතුව නිසාම අඩු ආදායම් ලබන්නන් හා දුප්පතුන් අතර බඩගින්න ඉහළ යාම පැහැදිලිව දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරති. ලෝකයම මුහුණ දෙන අර්බුදය කෙලින්ම ලංකාවට බලපායි. ළමුන්ට කන්නට දෙන්න විදියක් නැහැයි කියමින් එක් පියෙකු පොල්ගසකට නැගි පුවතක් පසුගියදා කළුතර ප‍්‍රදේශයෙන් වාර්තා විය. පොලිසිය පැමිණ ඔහුට බඩු මල්ලක් දුන් පසු නිහ`ඩවම පොල්ගසින් බැස ඒ මල්ල ද රැගෙන නිවස කරා යන අයුරු දැකගත හැකි විය. මෙය වසංගතයෙන් පසු ඇති කළ සමාජ ඛේදවාකයේ කොටසකි. මේ සියලූ අර්බුද හමුවේ ආණ්ඩුවට ද හැමදාම රුපියල් පන්දහස බෙදිය නොහැකිය.

එසේම ආණ්ඩුව මුහුණදෙන තවත් අර්බුදයක් වන්නේ පොහොර ප‍්‍රශ්නයයි. කාබනික පොහොරට මාරුවීම ඉතාම සද්භාවයෙන් සිදු කරන ක‍්‍රියාවකි. වසවිස නැති ගොවිතැන ගැන නිරන්තරව කථා කළ සමහරු ද අද ගොවීන්ට යූරියා ඉල්ලති. වකුගඩු මාරයා විසින් බිළිගන්නා රජරට ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා පෙළපාලි යති. දෙමුහුන් බීජ වඩා සාර්ථකවන්නේ රසායනික පොහොර මතවීම නිසා වගා සාර්ථකවී නැත. මේ නිසා ගොවියෝ කුලප්පු වී සිටිති. එයට පොහොර දමන්නට අවශ්‍ය උද්ඝෝෂණ පුවරු සටන් පාඨ බෙදන්නට ජනතා විමුක්ති පෙරමුණ නොපැකිලිව ඉදිරිපත් වී සිටී. බදුල්ලේ මෙන්ම මහවිලච්චියේද එස වෙන්නේ එකම ආකාරයේ පොස්ටර් හා බැනර්ය.

එකම සටන් පාඨ උගුර යටින් කෑ ගසමින් කියනු දක්නට ලැබේ. ගොවීන්ගේ උද්ඝෝෂණ මිස කාබනික වගාවට යොමුවී සාර්ථක ඵල නෙළාගත් පිරිස ගැන ප‍්‍රවෘත්ති පළවන්නේ කලාතුරකිනි. නමුත් ගොවීන් බොහෝ පිරිසක් මේ වෙනසට කැමතිය. වසරකට ඩොලර් මිලියන හාරසිය ගාණක් පොහොර ආනයනය සඳහා වැය වේ. මේ මුදල ඉතිරි කර ගැනීීම මෙන්ම යහපත් සෞඛයෙන් හෙබි පරපුරක් සඳහා කාබනික පොහොරට යොමු විය යුතුය. නමුත් දැන් එය රසායනික පොහොරම ඉල්ලන විලාසයක් බවට පත්වී ඇත. ලංකාවේ පද්ධතිය වෙනස් කිරීම ලෙහෙසි නොවන බව හොඳින්ම වැටහෙන්නේ මේ පොහොර ප‍්‍රශ්නයත් සමගය. වස වුවත් ලොකු ගෙඩියක් ඵලදාව ලෙස ලබාගැනීම මේ ගොවි අරමුණද? දැන් සිදුකළ යුත්තේ නොමිලයේ පොහොර ලබාදීම නොව අවශ්‍ය අයට මුදලට පොහොර ලබාදීමය. එසේම කාබනික වගාවට යොමුවන අයට විශේෂ සහන ලබාදීම වැදගත් වේ.

රජය පසුගිය මැයි මාසයේදී රසායනික පොහොර ආනයනය හදිසියේම නවතා දැමුවේ කාබනික පොහොර මෙරට තුළම නිපදවන බව පවසමිනි. නමුත් සැලසුම් කළ ප‍්‍රමාණයට නිෂ්පාදනය සිදු නොවන නිසා මහ කන්නය වෙනුවෙන් පොහොර ආනයනය සඳහා පියවර ගැණිනි. කෙසේ නමුත් ශ‍්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය මෙවර මහ කන්නයේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන සිදු කිරීම සඳහා එක`ගතාවකට පැමිණ ඇත.

අභියෝග රාශියකට ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇති බව පැහැදිලි ඇත්තකි. විපක්‍ෂ කණ්ඩායම් සමහර අවස්ථාවලදී කටයුතු කරන්නේ මුග්ධ ආකාරයෙනි. රටපුරා පවතින ගුරු උද්ඝෝෂණවලින් එය වඩා හොඳින් තහවුරු විය. අවසානයේ දිනකට කොරෝනා නිසා දෙසීයක් මියයන තත්ත්වය උදාවිය. දැන් එය සාර්ථකව මැඩපවත්වා ඇත. රටේ ජනතාවගෙන් සයිනොෆාම් එන්නතේ මාත‍්‍රා දෙකම ලබාගත් ප‍්‍රමාණය පමණක් කෝටිය ඉක්මවා ඇත.

රටේ ජනතාවගෙන් 60% කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත. කොරෝනාවේ දරුණුම යුගය අවසන්වී ඇති බවට මත පළවී ඇත. එහෙත් ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අත්හැරිය යුතු නැත. ජනතාව සුරක්‍ෂිත වුවහොත් රටත් සුරක්‍ෂිත වෙයි. එවිට මේ අර්බුදයෙන් ගොඩ යා හැකිය. පුරවැසි වගකීම නිසි පරිදි අවබෝධ කරගත යුතුය. අර්බුද හමුවේ වුවද ජනපතිවරයාට රට නිසි පරිදි ඉදිරියට ගෙන යා හැකි බව අපේ මතයයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment