ගුරු විදුහල්පතිවරු 25 දා සිට පාසලට – ඔන්ලයින් වර්ජනය 99න් නවතී

559

* විසඳුම් නැත්නම් සටන දිගටම

දරුවන් ගැන සිතා පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට ගුරු සංගම් එකඟතාවකට පැමිණි බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවසීය.

පාසල් නැවත 21 වැනිදා ආරම්භ කළද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයන් 21, 22 දිනවල පාසල්වලට නොපැමිණෙන බවත්, ලබන සඳුදා (25දා) සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසල්වලට පැමිණෙන බවත් ඒ මහතා පැවසීය.

මීට සමගාමීව ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනීසිටින දරුවන් ද පාසල්වලට කැඳවන ලෙසත් එම දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුන් සූදානම් බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

ඊයේ (18) දිනට ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී දින 99ක් ගතවූ බවත්, ගුරුවරුන් පාසල්වලට පැමිණීමත් සමග නවතා දමා තිබෙන ඔන්ලයින් වර්ජනයද අත්හැර දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බවත් ජයසිංහ මහතා කීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා රජය මගින් අයවැයෙන් සහන ලබා දෙන බවට ප‍්‍රකාශ කර ඇති බවත්, එම සහන කාණ්ඩ කිහිපයකට නොව පළමු කාණ්ඩයේම ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් පැවසූ ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා, එසේ ඉටු නොකරන්නේ නම් නැවත වරක් සිය ඉල්ලීම් දිනා ගැනීමට ගුරු විදුහල්පති සංගම් විරෝධතා දැක්වීම සඳහා ඒකරාශි කරවීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment