අගමැති සමග සාකච්ඡා අසාර්ථකයි.. ස්ටාලින් කියයි – නැහැ; සාකච්ඡා සාර්ථකයි…. අගමැති

325

ගුරු විදුහල්පති වැටුප් අර්බුදය;

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුමක් ලබාගැනීම සඳහා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12දා) පැවති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමය සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දිවයිනට පැවසීය.

අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේදී වැටුප් විෂමතාව විසඳීම සඳහා ලබන ජනවාරියේදී වැඩි කරන වැටුපෙන් කොටසක් ද, ඊළග ජනවාරියේදී (2023) තවත් කොටස් දෙකක් ද ලබාදීමට එකඟතාව පළ කළත් ඒ සඳහා ගුරු වෘත්තිය සමිති එකඟ නොවූ බව ද ස්ටාලින් මහතා පැවසීය.

සාකච්ඡුා අසාර්ථක වීමත් සමග ගුරු වෘත්තිය සමිති නියෝජිතයන් අද (13දා) රැස්වී ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඒ මහතා කීය.

සාකච්ඡුාව සඳහා ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ යන ඇමැතිවරුන් සමග සුසිල් පේ‍්‍රමජයන්ත, පියල් නිශාන්ත යන රාජ්‍ය ඇමැතිවරු, මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ. නෑ..

චමින්ද සිල්වා

—————————–

සාකච්ඡා සාර්ථකයි….

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12 දා) පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ප‍්‍රකාශ කළේය.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති මේ වනවිට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටිති.

අදාළ ගැටලූවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග‍්‍රාමාත්‍යතවරයා ඊයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමටත් යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අයවැය මගින් එම වසරේ දී ද ලබාදීමටත් මෙහි දී අග‍්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලූව පිළිබඳව රජය සංවේදී වන බවත් වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කොවිඞ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමා වීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යෑමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ පැවසීය.

2021.08.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණ ද ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව ද පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප‍්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද කීවේය.

බස්නාහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙම හමුවට වැඩම කළහ.

ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ පූජ්‍ය යලේවෙල පඤ්ඤාසේකර, ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ පූජ්‍ය උලපනේ සුමංගල යන ස්වාමීන්වහන්සේලා, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, සමස්ත ලංකා ගුරු උපදේශක සංගමයේ පී. එම්. සමරකෝන්, සමස්ත ලංකා රජයේ ක‍්‍රියාකාරි විදුහල්පති සංගමයේ සිසිර කුමාර රත්නායක, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව්. ඒ. වීරකොඩි, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශෙහාන් දිසානායක, ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ දිවානි හෙට්ටිගේ, ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුරු සංගමයේ එස්. බාලසේගරම් මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්වූහ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, පියල් නිශාන්ත ද සිල්වා, අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. පී. එම්. රත්නායක සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඞ් නිලූක්ෂාන් යන මහත්ම මහත්මීහු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද ඊට එක්ව සිටියහ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment