ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට ජාතික සම්පත් බදු දීමට එරෙහිව අද විරෝධතා දිනයක්

170

ගුරු, විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස සහ ජාතික සම්පත් බදුදීමට එරෙහිව අද (9දා) දිනය විරෝධතා දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.

ඒ අනුව අද (09දා) සවස 2.00 ට ලිප්ටන් වටරවුමේදී දැඩි විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත්කර වැටුප් වැඩිකරන ලෙස බලකරමින් මින් ඉදිරියට දරුවන්ට අධ්‍යාපන ලබාදෙමින් විරෝධතා දැක්වීමට ගුරු සංගම් තීරණය කර ඇතැයිද ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (08දා* පැවැසීය.

ගුරු වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පති සංගම් අද දහවල් 2.00 ට දිවයින පුරා පිහිටි කලාප අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට විරෝධතා පවත්වන බවද ස්ටාලින් මහතා කීය.

මීට අමතරව ජාතික සම්පත් බදුදීමට එරෙහිව සහ රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩිකරන ලෙස රජයට බලකරමින් රාජ්‍ය ආයතන කිහිපයක් ඉදිරිපිටද අද දහවල් 12.00 ට විරෝධතා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයිද ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර අද (09දා) පැවැත්වෙන දීප ව්‍යාප්ත එක්දින ජාතික විරෝධතාවට සහාය දැක්වීමට වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය සහ හෝටල් සේවක මධ්‍යස්ථානයද තීරණය කර ඇත.

අද සවස 5.00 ට ගාලූ මෝදර ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපිටදී හෝටල් සේවක මධ්‍යස්ථානය උද්ඝෝෂණය පැවැත්වීමට නියමිත අතර වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, කටුනායක හා බියගම නිදහස් වෙළෙඳ කලාප ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වනු ඇත.

සියලූ සේවක වැටුප් රුපියල් දසදහසක් වැඩිකිරීම, ජීවන බර අඩුකිරීම, ගොවියාට සුදුසු පොහොර ලබාදීම සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවන් විසඳන ලෙසට ආණ්ඩුවට බලකරමින් මෙම උද්ඝෝෂණ දියත් කරන බව මෙම වෘත්තීය සමිති සඳහන් කරයි.

චමින්ද සිල්වා, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment