ගුවන්තොටේ තීන්දුව අවිචාරවත් එකක් රටම අනතුරේ හෙළීමක් – රවී කුමුදේශ් කියයි

433

කොරෝනා මර්දන එන්නත් හරහා කොරෝනා ආසාදනය, වැලඳීම හෝ අන් අයට පැතිරීම නොවළක්වන වාතාවරණයක් තුළ ගුවන් තොටුපළින් මෙරටට ඇතුළු වන දෙස් විදෙස් ගුවන් මගීන් ‘පී.සී.ආර්’ පරීක්ෂාවකට ලක් නොකර, රටට ඇතුළු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගෙන ඇති තීරණයට විද්‍යාත්මක පදනමක් නොමැති අවිචාරවත් තීන්දුවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම තීරණය ඔහු විසින් ගනු ලැබූවක්ද, එසේත් නැත්නම් කිසිවකු විසින් හෝ ඔහුට බලපෑම් කර ගනු ලැබූවක් ද යන්න සැක සහිත යැයි ද කුමුදේශ් මහතා කීවේය. මෙය රටම අවදානමේ හෙළමින් ගත් තීරණයක් බවත් මෙම තීරණය සඳහා තාක්ෂණික

උපදෙස් දුන් කණ්ඩායම වහා රටට හෙළි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් කුමුදේශ් මහතා කීවේය. ‘රෝගය වැලඳීම හා පැතිරීම වළක්වන කිසිදු කොරෝනා මර්දන එන්නතක් මෙතෙක් සොයාගෙන නැත. එවැනි තත්ත්වයක් යටතේ එන්නතකරණය කළ පිරිස කොරෝනා ආසාදනය වැලඳී නොමැති අය ලෙස සලකා ගෙන ඇති මෙම තීරණය තුළ ඇත්තේ විශාල අමනෝඥ බවකි. එන්නත නිපදවන ලද සමාගමකට පවා නොමැති විශ්වාසයක්, අප රටේ මාර්ගෝපදේශ හදන ඊනියා විශේෂඥයින්ට ලැබී ඇත්තේ කෙසේද යන්න ප‍්‍රහේළිකාවකි.

එන්නත් නිපදවන රටවල් ඇතුළු ලොව කිසිදු රටක් එන්නත පිළිබඳව මෙවන් විශ්වාසයක් තබා නොමැති අතර, වසංගතය පැතිරීම වළක්වා ගැනීමට නොහැකිව දීර්ඝ සංචරණ සීමා පැනවීමට සිදුවී ඇති රටක් ලෙස, සංචරණ සීමා යොදමින් සිටින අතරවාරයේදී මෙවන් තීරණයක් ගැනීම රට බරපතළ අනතුරකට ලක් කිරීමකි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment