ගුවන් ටිකට් ප්‍රමාදයෙන් හිරුෂට තරගය අහිමි වෙයි

196

20 න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය

කොලොම්බියාවේදී ආරම්භ වූ වයස 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව බවට පත්ව සිටි හිරුෂ හෂේන්ට එම තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී ගියේය. ඒ පසුගිය 30 වැනිදා රාත්‍රියේදී මෙරටින් පිටත්ව ගිය හිරුෂට තරගය පැවැති පෙරේදා (01 දා) දිනයේදී නියමිත වේලාවට කොලොම්බියාවේ කාලි වෙත ළඟාවීමට නොහැකි වීමෙනි.

හිරුෂ හෂේන්ගේ හොඳම දක්ෂතාවය මීටර් 7.67ක් ලෙසින් සටහන් වන අතර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පෙරේදා පැවැති එම ඉසව්වේ මූලික වටයට තරග කිරීමට හිරුෂට අවස්ථාව හිමි වූවානම් පහසුවෙන්ම අවසන් වටය දක්වා යෑමේ වැඩි අවස්ථාවක් හිමිව තිබිණි.

කවීෂ බණ්ඩාර මීටර් 110 කඩුලු පැනීමේ මූලික වටයට සහභාගි වූ අතර එහිදී තත්පර 14.18ක කාලයක් වාර්තා කරමින් තරගයේ 6 වැන්නා ලෙස තරගය නිමා කිරීමට කවීෂ බණ්ඩාරට හැකියාව ලැබිණි. දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව විවේකයක් හෝ නොමැතිව තරගයට සහභාගි වීමට කවීෂට සිදුවීමෙන් සුපුරුදු දස්කම් අතරට පිවිසීමට ඔහුට ද හැකියාව නොලැබිණි.

මේ අතර අමේෂ් හෙට්ටිආරච්චි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වට ඊයේ (02 දා) සහභාගි වීමට නියමිතව සිටි අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.55ට පමණ ආරම්භ වීමට නියමිතව තිබිණි. 1 වැනිදා පැවැති මීටර් 800 තරග ඉසව්වට සහභාගි වීමට නොහැකි වූ තරුෂි කරුණාරත්න ඊයේ දිනයේදී මීටර් 400 මූලික වටයට සහභාගි වීමට නියමිතව තිබූ අතර එම තරග ඉසව්ව රාත්‍රී 8.05ට ආරම්භ වීමට නියමිතව තිබිණි.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකු සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව ඔවුන්ට එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත වේලාවට ගුවන් ටිකට්පත් ලබා දීමට බලධාරීන් අපොහොසත්වීම මත තරගාවලියේ පළමු දිනය අහිමි වී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment