ගුවන් තහංචි දැම්මොත් ඇස් රතු වෙයි – බටහිර රටවලට පුටින්ගෙන් තර්ජන

856

යුකේ‍්‍රන ජනාධිපතිවරයාගේ කීමට අනුව යුකේ‍්‍රනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.

 රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක‍්‍රියා කරන බවද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මේ වනවිට රුසියාව යුකේ‍්‍රනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.

 ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුකේ‍්‍රනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුකේ‍්‍රනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප‍්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටය.

 රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුකේ‍්‍රන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුකේ‍්‍රන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුකේ‍්‍රනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුකේ‍්‍රන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment