ගුවන් තෙල් සපයන්න දේශපාලන මෝරුත් වළිකති

744

රටට ලැබුණු ඒ ඩොලර් ටිකත් නැතිවෙන ලකුණු

විදේශ සංචිත අහිමිව මුළු රටම අර්බුදයකට පත්ව තිබියදී කෝටි ගණනක ඍජු ඩොලර් ආදායමක් දෛනිකව රටට ලැබුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් යානාවලට ජෙට් ඒ 1 ඉන්ධන සැපයීමේ කටයුතු එක්තරා පෞද්ගලික සමාගමකට ලබාදීමට දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇතැයි සංස්ථා සේවකයෝ සඳහන් කරති. මෙතෙක් ගුවන් යානාවලට ඉන්ධන සැපයීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කරගෙන ගිය අතර එහිදී දිනපතා ගුවන් යානා ඉන්ධන ලීටර් ලක්‍ෂ දොළහත් පහළවත් අතර ප්‍රමාණයක් අලෙවි කර ඇත.ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන විදේශ ගුවන් යානා සියල්ලටම ඛනිජ තෙල් සංස්ථාව එහිදී ඉන්ධන සපයා ඇත. එසේ ඉන්ධන ලබා දීමේදී අදාළ ගුවන් සමාගම් සියලුම ගෙවීම් සිදු කර ඇත්තේ ඩොලර්වලිනි.

එමගින් ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව විශාල ඩොලර් ආදායමක් උපයාගෙන තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන හිඟයත් සමග ගුවන් යානා ඉන්ධන ආනයනය ද නතර කර දමා ඇත.ඒ අනුව ගුවන් යානා ඉන්ධන සැපයීමට සංස්ථාව අසමත් වී ඇතැයි පවසමින් එම කටයුතු පෞද්ගලික අංශයට පැවරීම සඳහා වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා හා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර යන ඇමැතිවරුන් විසින් ඉකුත් 27 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද ලබා දී තිබේ.

මේ අනුව කටුනායක ගුවන්තොටුපළේ ගුවන් යානා ඉන්ධන සැපයීමේ පරිශ්‍රයේ තිබෙන ඉන්ධන ලීටර් ලක්‍ෂ 26 බැගින් ගබඩා කළ හැකි ටැංකි පහක් රුපියල් කෝටි ගණනාවක් වටිනා බවුසර් රථ ඇතුළු දේපළ සමග අලුතින්ම ඉදි කළ ගොඩනැගිලි සංකීර්ණයක් සහිත පොම්පාගාරයක් ආදී වශයෙන් සංස්ථාව සතු සියලු දේපළ මෙම කොන්ත්‍රාත්තුව හිමිකර ගන්නා පෞද්ගලික සමාගමක පරිහරණය සඳහා ලබා දීමට නියමිතය.දැනටමත් මෙරට පිහිටි පෞද්ගලික ගුවන් සමාගමක් විසින් කටුනායක ගුවන් තොටුපළේ ගුවන් යානාවලට ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව තමන් සතුකර ගැනීමට දැඩි උත්සාහයක් දරමින් සිටින බව ද සංස්ථා සේවකයෝ පවසති.

ප්‍රබල තරුණ දේශපාලන චරිතයක් සහ කලකට ඉහත අදාළ පෞද්ගලික ගුවන් සමාගමේ සේවය කර මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළම ධුරයක් දරන නිලධාරියකු එකී සමාගමට ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට විශාල වෙහෙසක් දරන බව ද දැනගැනීමට ඇත.දේශපාලන බලපෑම් සහ විවිධ වරදාන හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ද මේ විනාශය දැක දැකත් මුනිවත රකිමින් සිටින බව එහි සේවකයෝ සඳහන් කරති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment