ගුවන් බඩුවලට සීමා – දිනක පාඩුව කෝටි 2ක්

497

විදෙස් රටවලින් ගුවන් යානා ඉන්ධන ගෙන ඒම සඳහා යානයේ බර අවමව තබා ගැනීමට ගුවන් බහලුම්  රැගෙන ඒම සහ යෑම සීමා කිරීම හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි දෙකකට ආසන්න ආදායමක් ගුවන් තොටුපළට අහිමි වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා ඊයේ (04දා) ‘දිවයින’ට පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් සමාගම සතු ගුවන්යානා පියාසර කිරීම සඳහා දෛනිකව ගුවන්යානා ඉන්ධන මෙටි්‍රක් ටොන් පන්ලක්ෂ පනස් දහසක් පමණ අවශ්‍ය වුවත් ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට සපයන්නේ ඉන් සියයට 30 ක් වැනි අඩු ප්‍රමාණයක් බවත් ගුවන් සමාගමට අවශ්‍ය ඉතිරි ඉන්ධන ප්‍රමාණය විදෙස් රටවලින් ලබා ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.

මේ හේතුව මත වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන ඒම සඳහා යානයේ බර අවමව තබා ගැනීමට සිදුව ඇති බවත් ගුවන් භාණ්ඩ බහලුම් ප්‍රවාහනය කිරීම දැඩි ලෙස සීමා කර ඇති බවත් ජනක විජයපතිරත්න මහතා කියා සිටියේය. මීට පෙර සාමාන්‍යයෙන් ගුවන් භාණ්ඩ කිලෝ ලක්ෂ දෙකක් ප්‍රවාහනය කළ ද මේ වන විට එය කිලෝ 50,000 ක් පමණ දක්වා අඩු කර ඇතැයි හෙතෙම චෝදනා කළේය.

ශ්‍රී ලංකා ගුවන් සමාගම ඉන්දියාව වැනි රටවලින් ගුවන් ඉන්ධන ලබා ගන්නේ අධික මිලකට බවත් ලෝකයේ වෙන කිසිම රටක් එසේ නොකරන බවත් ජනක විජයපතිරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී කියා සිටියේ ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්දියාවෙන් ගුවන්යානා ඉන්ධන ලබා ගැනීමට කටයුතු කළද ගුවන් යානා බහාලුම් ප්‍රවාහනය කිසිලෙසකවත් සීමා කර නැති බවයි. ගුවන් මගීන්ගෙන් තොරව ගුවන් යානා ඉන්දියාවේ චෙන්නායි වෙත පියාසර කිරීම හේතුවෙන් යම් පාඩුවක් සිදුවීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment