ගුවන් යානා තෙලූත් හිඟ වෙයි

247

ගුවන් යානා තෙල් (ජෙට් ඔයිල්) සංචිත ඇත්තේ තවත් දින පහකට පමණකැයි ගුවන්තොටුපළ තෙල් ගබඩා සංකීර්ණයේ නිලධාරිහු ‘දිවයින’ට ඊයේ (28දා* හෙළි කළහ.

ගුවන් යානා සඳහා දිනකට ඉන්ධන ටොන් 1200ක් පමණ අවශ්‍ය වන අතර දැනට ගබඩාවේ තිබෙන්නේ මෙටි‍්‍රක් ටොන් 7000කට වඩා අඩු ප‍්‍රමාණයකැයි ද ඔව්හු සඳහන් කළහ. දිනකට ගුවන් යානා 45කට පමණ මෙලෙස ඉන්ධන ලබාගනී.

ඇණවුම් කර තිබෙන නෞකා කඩිනමින් මෙරටට ගෙන්වා ගොඩබා නොගතහොත් ගුවන් යානා තෙල්වලද බරපතළ හිඟයක් ඇති වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරිහු කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ගුවන් යානාවලට අවශ්‍ය තෙල් සැපයුම සිදුකරන්නේ තෙල් සංස්ථාව මගින් බවයි. තෙල් තොග සංචිත හා දිනකට අවශ්‍ය තෙල් ප‍්‍රමාණය පිළිබඳ සියලූ දත්ත ඇත්තේ ඔවුන් සතුව බවද ඒ මහතා සඳහන් කළේය.

ගුවන් ගමන් වාර කාලය දුර සීමාව අනු ගුවන් යානාවලට ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය වෙනස් වන බවද ගුවන්තොටුපළ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

ගුවන් යානා ඉන්ධනවල යම් හිඟයක් මතුවීමේ අවදානමක් තිබේදැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන්ද ‘දිවයින’ කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ දැනට එවැනි ප‍්‍රශ්නයක් මතුවී නැති බවයි.

කෙසේ වෙතත් ගුවන්තොටුපළ පරිශ‍්‍රයේ පිහිටි තෙල් ගබඩාවේ තොරතුරුවලට අනුව ගුවන් යානා තෙල්වල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවත් ඉදිරි දින කිහිපය තුළදී ඇණවුම් කර තිබෙන ඉන්ධන ගොඩ බෑමට පියවර නොගතහොත් යම් අර්බුදයක් මතුවිය හැකි බවත් එහි නිලධාරිහු කියා සිටියහ.

ගුවන් යානා තෙල් ලෙස භූමිතෙල් භාවිත කළ හැකි අතර රසායනාගාරයේදී සිදුකරන සුළු සංයුති වෙනස් කිරීමකින් ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන සකසන බවද රසායනාගාර ප‍්‍රධානීහු කියති.

ගුවන්යානා ඉන්ධන මෙරටට ගෙන එන්නේ නම් එම නෞකාව මුදාගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදීමට ශී‍්‍ර ලංකා ගුවන් සමාගම සූදානම් යැයිද එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ අතර කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment