ගුවන් සෙබළුන් ගිය සුඛෝපභෝගී වෑන්රිය කළුතර දී දුම්රියක ගැටෙයි

338

● එක් සෙබළෙක් මියයයි

● අනෙකාට බරපතළ තුවාල

වීරවිල ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කළුතර උතුර නාගස්හන්දිය දුම්රිය හරස්මගෙහිදී ඊයේ (31දා) අලුයම භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක ගැටී සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තවත් සෙබළෙකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටී යූ.ජී. සුගත් හර්ශක ගමගේ නමැති 40 හැවිරිදි සෙබළෙකු මියගොස් ඇති බවත් බුත්තල ප්‍රදේශයේ පදිංචි සෙබළෙකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කීය.

වෑන් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි. අලුයම 1.35 ට පමණ භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර වෑන් රථයද කළුතර දෙස සිට දුම්රිය සමාන්තර පාර ඔස්සේ පැමිණ මුහුදු වෙරළ දෙස සිට ගාලුපාර දෙසට දුම්රිය හරස්මග හරහා යොමු කිරීමේදී දුම්රියේ ගැටී මීටර් 20 ක් පමණ දුරට විසිවී අසල තිබූ තාප්පයක ගැටී කානුවකට වැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් සෙබළෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අනතුරෙන් සුඛෝපභෝගී වෑන් රථයට දැඩි හානි සිදුව ඇත. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි සැරයන් පුෂ්පවෙල (55325) සහ කොස්තාපල් හේරත් (49782) පරීක්ෂණ පවත්වති.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment