ගුවන් සේවකයෝත් 28 දා සිට අකුරට වැඩ

265

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයින්ගේ වැටුපට රුපියල් විසිපන්දහසක (25,000) ක දීමනාවක් ඉල්ලමින් ලබන 28 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට යෑමට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය තීරණය කර තිබේ.

මේ බව දැනටමත් සමාගමේ පාලනාධිකාරියට ලිඛිතව දැනුම් දී ඇතැයි ද යම් හෙයකින් 28 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට ඉඩදී බලා සිටියහොත් ගුවන් ගමන් කටයුතු අවුල් වී පැය දොළහක් ඇතුළත ගුවන් තොටුපොළ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතරවනු ඇති බව ද ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.

තම සංගමය නියෝජනය කරන හාරදහසක පමණ සේවක පිරිසක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එක්වන බව ද ඒ මහතා කීය.

රුපියල පාකිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයෙන් පසු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙහෙයුම් ලාභය සියයට තිහකින් පමණ වැඩිවී ඇතැයි ද ඉකුත් වසර පහක කාලයක සිට ආයතනය පාඩු යැයි කියමින් වාර්ෂික වැටුප් වැඩිවීම් ඇතුළු දීමනා කපාහැර තිබූ බව ද ඒ මහතා පැවසීය.

පාස්කු ප‍්‍රහාරය, කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ඉකුත් කාල සීමාවේදී විශාල කැපකිරීමක් කළ ද අයිතීන් වෙනුවෙන් සටන් නොකර සිටි මුත් තවදුරටත් බලා සිටිය නොහැකි නිසා රුපියල් 25,000ක දීමනාවක් ඉල්ලා මෙම තීරණය ගත් බව ද විජේපතිරත්න මහතා කීය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ අනෙක් පාර්ශ්ව ඉකුත් කාල සීමාවේදී පවා ඔවුනගේ අයිතීන් වෙනුවෙන් සටන් කර ඉල්ලීම් දිනාගත් බවත් ආයතනය ලාභ ලබන මොහොතේදී සේවක ඉල්ලීම් දිනා ගැනීමේ සටනකට අවතීර්ණවීම වරදක් නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment