ගුවන් සේවා අධිකාරිය කෝටි 2000ක් ගිලලා – විගණනයෙන් පෙන්නුවත් හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් පියවර අරගෙන නෑ

452

ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන විදේශ ගුවන්යානාවලින් අයකරගත් රුපියල් කෝටි දෙදහසකට (බිලියන 20) අධික මුදල් සම්භාරයක් මහා භාණ්ඩාගාරයට ප්‍රතිපූර්ණ නොකර සිවිල් ගුවන් සේවා අධිකාරිය එම මුදල් කාබාසිනියා කර ඇත.

රජයේ විගණන කාර්යාලය සිදුකළ විගණනවලදී මේ බැව් දිගින් දිගටම පෙන්වා දී තිබුණත් හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව නිසි පියවර ගෙන නැත.

මේ පිළිබඳව හෙළි කළ වාර්තා මත වහාම එම මුදල් මහා භාණ්ඩාගාරයට ප්‍රතිපූර්ණ කරන ලෙස මේ වන විට දැනුම්දී තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉකුත් වසර දහයක පමණ කාලයක් විදේශ ගුවන් සමාගම් මගින් අයකරගෙන තිබූ එම මුදල් වලින් විවිධ නිලධාරීන්ට විදේශ සංචාර ලබාදෙමින් විවිධ දේවල් සඳහා එම මුදල් වැයකර තිබූ බවද වාර්ෂික විගණනවලදී හෙළිකරගෙන තිබී ඇත.

මෙහි තවත් වැදගත්ම දෙයක් වනුයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ එක්තරා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් විශ්‍රාම යන තුරුම වසර විස්සක කාලයක් එම තනතුර දරමින් කටයුතු කිරීම යැයි ද වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

හිටපු ඇමැති ඇතුළු කාර්ය මණ්ඩල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරුන්ට ඩුබායි ඇතුළු රාජ්‍යවල පැවති ගුවන් යානා ප්‍රදර්ශනවලට සහභාගිවීම සඳහා රුපියල් කෝටි ගණන් මුදල් මෙම බදු මුදලින් වැයකර ඇතැයි වසර ගණනාවක විගණන වාර්තාවලින් තහවුරු කර තිබිණි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සුළු සේවකයන් හැර අනෙකුත් සියලු නිලධාරීන්ට වසර දහයක දී හය හත් වතාවක් අත්‍යවශ්‍ය නොවන විදෙස් සංචාර සඳහා ද මෙම මුදල් වැය කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment