ගුවන් හමුදාව, නාවික හමුදාව,  හැව්ලොක්ස් සහ මහනුවර ජයග‍්‍රහණ වාර්තා කරති – අන්තර් සමාජ රග්බි තරගාවලිය

207

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයෙහි මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජයීය රග්බි පාපන්දු තරගාවලියේ දෙවන සතියේ තරග ආශ‍්‍රිතව ජයග‍්‍රහණ සටහන් කර ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය සහ මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් විය.

ඒ අනුව මෙවර තරගාවලිය යටතේ තමන් මුහුණ දුන් තරගය දෙකම ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන්ම පසු වන්නට මහනුවර ක‍්‍රීඩා සමාජය සහ කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය යන දෙපිලට හැකි විය.

ආරම්භක සතියේ පැවති තරග ආශ‍්‍රිතව පරාජයේ අමිහිර අත්විඳි ගුවන් හමුදාව සහ නාවික හමුදාව

පසුගිය සති අන්තයේ දී නිවැරදි රිද්මයට අනුවර්තනය වූ ආකාරයක් දැක ගන්නට හැකි වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථම ජයග‍්‍රහණය සටහන් කර ගනිමින් ප‍්‍රසාද ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට මෙම දෙපිල සමත් විය.

පූර්ව දැනුම් දීමට අනුව නියමිත දින ආරම්භ කෙරුණු මෙවර ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියට අවතීර්ණ වී සිටින සෑම කණ්ඩායමක්ම සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයට ශක්තියක් වෙමින් මෙතෙක් පැවති තරගවලට සහභාගි වීම විශේෂයෙන් අගය කළ යුතුය.

පූර්ණ හෝ නිල අනුග‍්‍රාහකත්වයක් නොමැතිව මෙවර තරගාවලිය පවත්වාගෙන යෑමට සංවිධායකයන් මුල පුරා තිබීම ඒ අතරේ කැපී පෙනේ.

දිවයිනේ ප‍්‍රමුඛතම රග්බි පාපන්දු සමාජ 08 ක සහභාගිත්වයෙන් මෙවර ලීග් ශූරතා ‘‘ඒ’’ කොටසේ තරගාවලිය ක‍්‍රියාත්මක කෙරේ.

හැව්ලොක්ස් 36 – යුද හමුදාව 14

අගනුවර හැව්ලොක් පෙදෙසේ පැවති තරගයේ දී යුද හමුදාව පරදා ලකුණු 36 – 14 ක පහසු ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට හැව්ලොක්ස් පිල නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ. හැව්ලොක්ස් පිල ගෝල් දිනුම් 04 ක් උත්සාහක දිනුම් 01 ක් සහ දඬුවම් පහර 01 ක් මගින් ලකුණු රැුස් කර ගත් අතර පරාජිත පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02 ක් ආශ‍්‍රිතව සටහන් විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමාවන විට ලකුණු 19 – 00 ක් ලෙස පෙරමුණේ පසු වූ හැව්ලොක්ස් පිල දෙවන භාගයේ දී තවත් ලකුණු 17 ක් තම පිල වෙනුවෙන් එකතු කර ගැනීමට සමත් වෙමින් මෙවර දෙවන ජයග‍්‍රහණය වාර්තා කර ගත්තේය.

හැව්ලොක්ස් පිලට එරෙහිව දෙවන භාගයේ දී තියුණු සටනක් දුන් යුද හමුදාව ලකුණු 14 ක් රැුස් කර ගැනීම කැපී පෙනුණි. හැව්ලොක්ස් පිල වෙනුවෙන් අස්මීර් ෆාජූඞීන් 03 මිතුන් හපුගොඩ 01 සහ මලීෂ ජයරත්න 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කර ගත් අතර එහි ප‍්‍රවර්තන 04 ක් සමග එක් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කරමින් කැපී පෙනෙන්නට සංදේශ් ජයවික‍්‍රම සමත් විය.

යුද හමුදාව වෙනුවෙන් කැපී පෙනුණු ධනුෂ්ක තල්වත්ත උත්සාහක දිනුම් 02 ක් වාර්තා කර ගත් අතර එහි ප‍්‍රවර්තන නිවැරදි එල්ලයට යොමු කරන්නට තරිඳු මධුශාන්ට හැකි විය.

ගුවන් හමුදාව 19

සී.ආර්.ඇන්ඞ්එෆ්.සී. 11

ගුවන් හමුදාව හමුවේ ලකුණු 19 – 11 ක් ලෙස පරාජය වැළ`ද ගැනීමට ලොන්ඩන් පෙදෙසේ පිහිටි තම හුරු පුරුදු ක‍්‍රීඩාංගණයේදීම සී.ආර්. පිලට සිදු වීම මෙම තරගයේ කැපී පෙනුණි.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 11 – 10 ක් ලෙස පෙරමුණේ පසු ඔහු සී.ආර්. පිල දෙවන භාගයේ දී අසාර්ථක වෙමින් ලකුණු 19 – 11 ක් ලෙස පරාජය ලැබීම ද විශේෂත්වයකි.

ජයග‍්‍රාහී පිල ගෝල් දිනුම් 01 ක් සහ දඬුවම් පහර 04 ක් සාර්ථක කර ගනිමින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත සී.ආර්. කණ්ඩායමේ ලකුණු එකතුව උත්සාහක දිනුම් 01 සහ දඬුවම පහර 02 ක් මගින් සටහන් වුණි.

ගුවන් හමුදාව වෙනුවෙන් එකම උත්සාහයක දිනුම අංජුල රවිඳු හෙට්ටිආරච්චි වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තනය සමගින් දඬුවම් පහර 04 ක් නිවැරදිව ගෝල් කණු අතරින් යොමු කිරීමට නුවන් පෙරේරාට හැකි විය.

සී.ආර්. පිල වෙනුවෙන් කැපී පෙනුණු ගැමුණු චේතිය එකම උත්සාහක දිනුම වාර්තා කළ අතර දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගැනීමට කවිඳු ද කොස්තා සමත් විය.

නාවික හමුදාව 12- පොලිසිය 00

ප‍්‍රතිවාදී පොලිස් පිල ලකුණු බිංදුවේ තබා පරාජය කිරීමට නාවික හමුදාව සමත් වූයේ මෙවර තරගාවලිය යටතේ තම පළමු ජයග‍්‍රහණය ද සටහන් කර ගනිමිනි.

තරගය ඇරඹී ප‍්‍රථම භාගයේ දී දෙපිලම ලකුණු 00 – 00 ක් ලෙස සම දක්ෂතා අතර පසුවූ නමුත් නියමිත කාලය නිමා වන විට ලකුණු 12 – 00 ක් ලෙස නාවික හමුදාව ජයග‍්‍රහණය සටහන් කර ගැනීම කැපී පෙනුණි.

ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් ආශ‍්‍රිතව ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට නාවික හමුදාවට හැකි විය.

අධීෂ වීරතුංග 01 සහ තිළිණ වීරසිංහ 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප‍්‍රවර්තනයක් සාර්ථක කිරීමට ඉසුරු කෝන්ගහවත්ත සමත් විය.

මහනුවර 39 –

සී.එච්.ඇන්ඞ්.එෆ්.සී 03

ඊයේ (30) නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති මහනුවර පිල සහ සී. එච්. පිල අතර තරගයෙන් ලකුණු 39 – 03 ක පහසු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට මහනුවර කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ලකුණු 06 – 03 ක් ලෙස පෙරමුණේ පසුවන්නට මහනුවර කණ්ඩායමට හැකි විය.

මහනුවර ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු තරින්ද රත්වත්තේ 03 සහ ශ‍්‍රීනාත් සූරිය බණ්ඩාර 02 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප‍්‍රවර්තන 04 ක් සහ දඬුවම් පහර 02 ක් නිවැරදි එල්ලයට යොමු කිරීමට තරගයේ කැපී පෙනෙනම චරිතයට පණ පෙවූ තරින්ද රත්වත්තේට හැකි විය.

පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ද`ඩුවම් පහර තේනුක නානායක්කාරගේ පාදයෙන් සටහන් වුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment