ගුවනේ පියඹා ගිය සමනලිය ‘මත’ නිසා තටු කඩුණු හැටි

1555

මතට ඇලුණු ගැහැනු

ඇය වැදගත් පවුලක තරුණ කාන්තාවකි. කොළඹ ජනප්‍රිය බාලිකාවකින් සිප් සතර හැදැරූ ඇය දැනුමෙන් ද පෝෂිත ය. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් ඇය කොළඹ ජනප්‍රිය ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නීය. රූප සොබාව, දැනුම, බුද්ධිය මනාකොට කළමනාකරණය කරගත් ඇය කෙටි කාලයකින් වෘත්තීය ජීවිතය නැවුම් වෙනසකට පෙරළන්නීය. ඒ අහසේ පියඹා යන ගුවන් සේවිකාවක් බවට පත්වෙමිනි. එමෙන්ම රැකියාවෙන් ලැබුණු ඉහළ වැටුපත් සමග ඇය සුපිරි ජීවිතයක් ගත කළා ය. කුඩා අවධියේ සිට මවුපිය සෙනෙහස නො අඩුව ලැබීමට වාසනාවන්ත වූ ඇයගේ තරුණ ජීවිතයට ආදරණීය ප්‍රේමවන්තයෙක් ද තුරුලු විය. පොහොසත් පවුලක සෙල්ලක්කාර තරුණයෙක් වූ ඔහු ද ඇයගේ හදවත පිරෙන්න ආදරය කළේය. දුර රටක නිදහසේ අධ්‍යාපනය හදාරමින් සිටි ඔව්හු ලැබෙන සෑම මොහොතකම ආදරයෙන් වෙළුණහ. අවසානයේ ඔවුන්ට නොදැනීම ඇය මවක් විය.

පෙර පින් සේම පෙර කළ අකුසල් ද රියසක මෙන් ඇය පසුපස පැමිණීම ඇරැඹිණි. අයාලේ ගිය ආදරණීය සැමියා ඇය සහ කිරි කැටි පුතා අතහැර වෙනත් තුරුලකට ගියේය. සැමියාගේ වෙන්වීම දරාගැනීමට නොහැකි වූ ඇය පිස්සියක් විය. ප්‍රේමණීය ජීවිතය මතකයට නැඟෙන විට හඬා වැළපුණි. අවසානයේ වියෝ දුක තුනී කරගැනීමට ඇය මත්පැන් බීමට පටන් ගත්තා ය. මත් දියේ කිමිදුණු ඇයට එයින් ගොඩඒමක් නොමැති විය. මත්පැන්වලින් ඔබ්බට ගිය ඇය අයිස්, මත්ද්‍රව්‍යයට ද තදින්ම ඇබ්බැහි විය. මත් වතුර, මත්ද්‍රව්‍ය ජීවිතය කරගත් ඇයට රැකියාව අහිමි විය. එකම ආදායම මාර්ගය අහිමි කරගත් ඇය කාලයක් හරි හම්බ කර ගත් ධනය ද මතට ම දිය කර හැරියා ය. එකම දරුවා තම මවුපිය රැකවරණය යටතට පත් කළ ඇය හුදෙකලා ජීවිතයක් ගත කරන්නීය. මිතුරු, මිතුරෝ සංසදයේ මඟපෙන්වීම යටතේ පසුගිය දිනෙක ඇය අපට මුණගැසිණි. සොඳුරු ජීවිතයක් ගත කළ ඇය මිහිපිට අපායට වැටුණු හැටි අප ඉදිරියේ වචන කළා ය. මේ ඒ කතාව ය.

“අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා පෞද්ගලික ආයතනයක ඉහළ නිලධාරිනියක්. වතුපිටි, යාන වාහන සැප සම්පත්වලින් අපට කිසිම අඩුවක් තිබුණේ නෑ. ඒ වගේම අම්මයි, තාත්තයි අපිව හැදුවේ මල් වගෙයි. අපි පුංචි කාලෙ ගෙදරින් දොට්ට බැස්සුවේ ඉස්කෝලෙ යන්න විතරයි. ඉස්කෝලෙට ගියෙත් ගෙදර වාහනවලින්. අපි හැමෝම ඉගෙනගත්තෙ ප්‍රසිද්ධ පාසල්වල. ඒ වගේම අපි හැමෝම හොඳට ඉගෙන ගත්තා. මම ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම පාස් වුණා. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. උසස් පෙළ කළේ එක සැරයයි. බී – දෙකයි, සී – දෙකයි. ඊට පස්සෙ පෞද්ගලික ආයතනයක රැකියාවකට ගියා. රැකියා ස්ථානයකට ගිය, ආවේ ඥාතී ගෙදරක නතර වෙලා ඉඳගෙන. එහෙම යන අතරේ අපිට ඥාති වෙන පවුලක කොල්ලෙක් එක්ක මම ආදර සම්බන්ධයක් පටන් ගත්තා. මවුපිය සෙනෙහස ඈත්ව තිබුණු මගේ ජීවිතය ආදරයෙන් පිරුණා. ඒත් ඒ ආදරයට වැඩි ආයුෂ තිබුණේ නෑ. එයා මට වඩා වයසින් බාලයි. ඒ නිසා එයාගේ ගෙදරිනුයි, අපේ ගෙදරිනු කැමැති වුණේ නෑ. අපි දෙන්නගේම කැමැත්තෙන් ආදර සම්බන්ධය නතර කළා. ඒත් ඒක මට දරාගන්න අමාරු වුණා. ඇඬුවා, වැළපුණා… මැරෙන්න තරම් වේදනාවක් හිතට දැනුණා. ඒ තරමට ම අපි දෙන්නා ආදරයෙන් බැඳිලා හිටියේ. කාලයට ඉඩ දීලා අමාරුවෙන් හිත හදාගෙන ජොබ් එක කරගෙන ගියා. එහෙම ඉන්න අතරේ මම ගුවන් සේවිකාවක් විදිහට ගුවන් සේවා ආයතනයකට එකතු වුණා…”

“2005 අවුරුද්දෙ තමයි මම ගුවන් සේවයට එකතු වුණේ. මුලින් කරපු ජොබ් එකටත් වඩා ඒක නිදහස් රැකියාවක් වුණා. ඒ වගේම හිත පිරෙන සැලරි එකක් ලැබුණා. රට, රටවල සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. ජීවිතය ගෙවිලා යනවා තේරුණේ නෑ. එහෙම යනකොට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා උපාධියක් හදාරන්න මට අවස්ථාව ලැබුණා. මම වැඩ කරපු ගුවන් සේවා ආයතනයෙන් අවුරුදු දෙකකට නිවාඩු අරගෙන ඇමරිකාවට ගිහින් එරට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. මම ඇමරිකාවට ගියේ 2010 අවුරුද්දෙ. මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේම ලංකාවේ කොල්ලො, කෙල්ලො බොහෝ දෙනෙක් ඉගෙනගත්තා. ඒ අයගෙන් එක කොල්ලෙක් මට උනන්දු වෙන බවක් තේරුණා. මගේ හිතත් ඒ කොල්ලට ආශාවෙන් හිටියේ. නිදහසේ ජීවත් වෙච්ච අපි දෙන්නගේ ජීවිත ආදරෙන් වේළුණා. කෙටි කාලයක් තුළ අපි ආදරයෙන් දිගු ගමනක් ගියා. සීමා මායිම් නො තිබුණු අපේ ආදරයේදී නොදැනීම මම අම්මා කෙනෙක් වුණා. ඊට පස්සෙ අපි දෙන්නා කතා කරලා කසාද බැන්දා. එතකොට මට වයස අවුරුදු තිස් දෙකයි. මහත්තයට වයස විසිනවයයි. පළමු පෙම්වතා වගේම එයත් මට වඩා වයසින් බාලයි. එයා වයසින් බාලවීමත්, බෞද්ධවීමත් නිසා අපේ කසාදයට පවුල් දෙකෙන්ම විරුද්ධ වුණා. අපි කතෝලික. ඒත් ඒ කිසිම දෙයක් අපි දෙන්නට ප්‍රශ්නය වුණේ නෑ. අපි ලංකාවට ඇවිත් කසාද බැඳලා කුලියට ගෙයක් අරගෙන ආදරයෙන් ජීවත් වුණා. පවුල් දෙකෙන්ම කිසිම උදව්වක් තිබුණේ නෑ. දරුවා ලැබුණට පස්සෙ තමයි අපේ අම්මා ඇවිත් මාව ගෙදර එක්කරගෙන ගියේ…”

“මමයි, දරුවයි මහ ගෙදර නතර වුණා. මහත්තයා කොළඹ ඇවිත් අපේ ගෙදර ඉඳලා ඔෆිස් ගියා. එතකොටත් මහත්තයා හොඳ පිළිගත් ආයතනයක උසස් තනතුරක් දැරුවේ. දරුවා ලැබුණු මුල් දවස්වල සති අන්තයේ අනිවාර්යයෙන්ම මහත්තයා අපේ මහගෙදරට ආවා. නිවාඩු දවස් දෙකම ගෙදර ඉඳලා කොළඹ ආවේ සඳුදා උදේ. ඒත් දරුවා ලැබිලා මාස හයක් විතර යනකොට මහත්තයා ගොඩක් වෙනස් වුණා. නිවාඩු දවස්වලටවත් අපිව බලන්න එන්නෙ නැතිව ගියා. ඉඳලා හිටලා ආවාත් දරුවා, ගැනවත් මා ගැනවත් වැඩි සැලකිල්ලක් දැක්කුවේ නෑ. අපේ ගෙදර අයටත් ඒ වෙනස තේරුණා. ඒත් මමවත්, ගෙදර අයවත් ‘ඇයි එහෙම කරන්නෙ…’ කියලා මහත්තයාගෙන් ඇහුවේ නෑ. කාලය ගෙවිලා ගිහින් නිවාඩු ඉවර වෙලා මමත් ජොබ් එකට ගියා. අපේ අම්මා තමයි පුතාව බලා ගත්තෙ. පුරුදු විදිහට අපි දෙන්නා ගෙදර තනි වුණා කියලා මහත්තයා මා ගැන වැඩි උනන්දුවක් දැක්කුවේ නෑ. ‘මොකක්ද ප්‍රශ්නය…’ කියලා ඇහුවත් ඔෆිස් එකේ ප්‍රශ්නයක් කියලා මඟහැරියා. ඊට පස්සෙ මම වටින් පිටින් හොයලා බැලුවා. මහත්තයාගේ ෆෝන් එකේ මැසේජ් බැලුවා. එතකොට තමයි මට දැනගන්න ලැබුණේ මහත්තයාගෙ පරණ ආදර සම්බන්ධතාවයක් නැවත පටන්ගෙන කියලා. දරුව ලැබිලා අපි මහගෙදරට ගියාට පස්සෙ තමයි පරණ යාළුකම නැවත දලු දාලා තිබුණේ. ඒක දැනගත්තට පස්සෙ මට ඉවසුම් නැතිව ගියා. කේන්තියට වඩා හිතට දැනුනෙ කලකිරීමක්. ඊට පස්සෙ අපි දෙන්නා අතර නිතර ආරවුල් ඇති වෙන්න පටන් ගත්තා. සති ගණන් එයා ගෙදර එන්නෙ නැතිව ගියා. නිවාඩු දවසට මම ගෙදර තනි වුණා. එහෙම ටික දවසක් ඉඳලා එයා අපිව බලන්න එන්නෙම නැතිව ගියා. ඊට පස්සෙ මට කතා කරලා ඩිවොස් එක ඉල්ලුවා. ‘ඕන දෙයක් බෙදාගන්න පුළුවන්… ඒත් මගේ මිනිහව තවත් ගෑනියෙක් එක්ක බෙදාගන්න බෑ. ජීවිතේට මම එහෙම කරලත් නෑ. ඔයා අපේ ජීවිතවල ඉන්නවට වඩා යන එක හොඳයි…’ කියලා මම ඩිවොස් එක දුන්නා. 2011 අවුරුද්දෙ එයා මගේ ජීවිතයෙන් සදාහට ම අයින් වෙලා ගියා. මගේ මුළු ලෝකයම කඩා වැටුණා වගේ දැනුණා. වේදනාව දරාගන්න බැරි වුණා…”

“මගේ හිත පුංචි ම දේටත් ඇඬෙන සමනල හිතක්. මට ලොකු හිත් වේදනාවක් දරාගන්න අමාරුයි. ඒක මගේ දුර්වලකම. මහත්තයට ඩිවොස් එක දීලා මම කෙලින්ම ගියේ කෝච්චියට පනින්න. ඒත් අන්තිම මොහොතෙ දරුවා මතක් වෙලා කෝච්චිය දැක, දැක රේල් පාරෙන් අයින් වුණා. මම ගෙදර ගියාට පස්සෙ අම්මා, තාත්තා මගේ සහෝදරියො නොයෙක් දෙවල් කියලා මගේ හිත හැදුවා. දරුවයි, ගෙදර අයයි එක්ක ඉන්නකොට දුක වේදනාව යටපත් වුණාට රැකියාවට ගිය වෙලාවට, කුලී ගෙදර තනි වෙච්ච සෑම මොහොතකම මහා මූසල පාළුවක් දැනුණා. ඒ පාළුව, දුක වේදනාව නැති කරගන්න මම කළේ රෙස්ට්ටුරන්ට්වලට ගිහින් විස්කි, බ්‍රැන්ඩි වීදුරු හිස් කරපු එක. නිවාඩු දවසට උදේ ඉඳලා රෑ නින්දට යනකම් වෙරි මතින් හිටියා. හිත මත් වුණහම සියලු දේවල් අමතක වෙලා වෙන ලෝකයකට යනවා කියලා මට දැනුණා. මම ඒ මත් ලෝකයට ආදර කරන්න පටන් ගත්තා. හිතවත් පිරිමි යාළුවො එක්ක සෙට් වෙලා අරක්කු බොන අතරේ ගංජා, අයිස් මත්ද්‍රව්‍යයත් ගත්තා. ගංජාවලට ලොකු ආශාවක් ඇති වුණේ නෑ. ඒත් දෙතුන් දවසක් පාවිච්චි කරනකොට පුදුමාකාර විදිහට අයිස්වලට හිත ඇදිලා ගියා. අරක්කුවලටත් වඩා අයිස්වලට ඇබ්බැහි වුණා. අරක්කු, අයිස් පාවිච්චි නොකර හිටියේ රාජකාරි කරන අවස්ථාවලදි විතරයි. ඒ ජොබ් එක නැති වෙයි කියන බයට. ඒත් ගුවන් යානයෙන් බැහැලා හෝටලයට ගිය හැටියේ අරක්කු බොන්න ගන්නවා. අයිස් හොයාගෙන යනවා. රෑට යාළුවො එක්ක සෙට් වෙලා අයිස් පාර්ටි දැම්මා. කවුරුවත් නැති නම් තනියෙන්ම බීලා අයිස් ගහලා නිදාගත්තා. ලංකාවේ කුලී ගෙදර ඉන්න සමහර දවස්වලට අයිස් පැකට් දෙක තුනක් අරගෙන අපේ ගෙවල් පාරේ සොහොන් පිට්ටනියට ගිහින් බීලා නිදාගත්තා. කිසිම යකෙක් මගේ දිහා බැලුවේ නෑ. මිනිස් වෙස් ගත්ත යක්කු නම් මාව අත පත ගාන්න ආවා. මගේ පර්ස්, ෆෝන් අනන්තවත් උස්සලා තියෙනවා. ඒත් කාටවත් මගේ ඇඟට අත තියන්න දුන්නෙ නෑ. ‘මම එහෙම ගෑනියෙක් නෙමෙයි… මට කරදර කරන්න එපා…’ කියලා හොඳින් කිව්වා. එහෙම කියලත් තේරුම් ගන්නෙ නැති අයට නරකින් කිව්වා. පිරිමියෙක් එක්ක සෙට් වෙලා අරක්කු, සිගරැට්, ගංජා සුරුට්ටුවක්, අයිස් ටිකක් බිව්වට ඒ අයත් එක්ක නිදාගන්න මම සූදානම් වුණේ නෑ. කසාදය කැඩුණට පස්සෙ මගේ ජීවිතය වෙලා තිබුණේ මත් වතුර සහ අයිස් මත්ද්‍රව්‍ය විතරයි. මතට කොච්චර ඇබ්බැහි වුණා ද කිව්වොත් නිවාඩු දවස්වලට දරුවා බලන්න ගියෙත් නෑ. උදේ නැඟිට්ට වෙලාවේ ඉඳලා රෑ නින්දට යනකම්ම මත තමයි…”

“මම පියවි සිහියෙන් හිටියේ රාජකාරි කරන අවස්ථාවේ විතරයි. අනිත් සෑම මොහොතකම මම හිටියේ මත් වෙලා. අන්තිමේ මත නැතිව මට ඉන්න බැරි වුණා. රෑ එළිවෙනකම් අරක්කු, මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා සමහර දවස්වල උදේට රාජකාරියට යන්න බෑ. එතකොට බොරුවට අසනීපයි කියලා නිවාඩු දානවා. මෙඩිකල් ලිව් ප්‍රමාණය ඉක්මවා යනකොට ආයතනයට හේතු දක්වන්න ඕනෑ. හේතු දක්වන්න බැරි වුණොත් ඩොක්ටර් කෙනෙක් ළඟට දාලා බොඩි චෙකප් එකක් කරවනවා. මම නිවාඩු දානවා වැඩි වෙනකොට එහෙමත් කෙරෙව්වා. ඒත් රිපෝර්ට් එකේ කිසිම ලෙඩක් නෑ. ඊට පස්සෙ මට ඔෆිස් එකේ වැඩ කරන්න කියලා දඬුවමක් දුන්නා. ඒත් මම රෑට බීලා, බීලා උදේට නැඟිට ගන්න බැරි දවසට නිවාඩු දැම්මා. අන්තිමේ ඔෆිස් එකෙන් මගේ ලෆිෆ් එක ගැන හොයා බලලා මම තදින්ම මත්පැන්වලට, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න බව දැනගෙන තිබුණා. ආයතනයෙන් මාව ඉවත් කරන්න ඉස්සර වෙලා, මම අස්වීමේ ලිපිය දීලා ඉවත් වුණා…”

“එදා ඉඳලා මට කියලා රුපියලක ආදායමක් ලැබුණේ නෑ. වියදම විතරයි. මගේ බැංකු පොත්වල තිබුණු සල්ලි ටික, ටික අරගෙන එකවුන්ට් හිඳුණා. ඊට පස්සෙ අතේ කරේ තිබුණු රත්තරන් බඩු ටික උකස් කර, කර බිව්වා. ඒවත් ඉවර වෙනකොට මගේ පාවිච්චියට තිබුණු කාර් එකත් විකුණලා ඒ ගත්තු සල්ලිත් මතට ම දිය කර දැම්මා. ගේ කුලිය ගෙවා ගන්න සල්ලි නැති වුණා. අන්තිමට මට උදව් කළේ මගේ යාළුවකුගේ තාත්තා කෙනෙක්. අංකල් එවපු සල්ලිත් සේරම වියදම් කළේ අරක්කු අයිස්වලට. ටික කාලයක් යනකොට මගේ අතපය ගැහෙන්න ගත්තා. උදේට නැඟිට්ට ම අතපය වෙව්ලනවා. අරක්කු උගුරක් හරි අයිස් ෂොට් එකක් බිව්වම තමයි වෙව්ලන ගතිය නැති වුණේ. මම කවුද කියලා මට අමතක වුණා. මගේ හොඳ පුරුදු අමතක වුණා. මට නො ගැළපෙන මිනිස්සු එක්ක එක බංකුවේ වාඩි වෙලා අයිස් බිව්වා. අන්තිමට කුඩුත් බිව්වා. ඒවා දැකලා මිනිස්සු මට නින්දා කළා. ජීවිතය ගැන කලකිරුණා. අන්තිමේ මම ගෙදරට ගිහිල්ලා අම්මගේ කකුල් දෙක ළඟ වැටිලා ඇඬුවා. ඊට පස්සෙ තමයි අම්මයි, තාත්තයි මාව පුනරුත්ථාපනයට යොමු කළේ. ඒ ආයතන අමුතු තැනක්. ඉන්න බැරි තැන එතැනින් මම පැනලා ආවා. දැනටත් මම අරක්කු, අයිස් පාවිච්චි කරනවා. ඒත් මම මේ නරා වළෙන් ගොඩ එන්න කැමැතියි. දරුවත් සමග යහපත් ජීවිතයක් ගත කරන්න කැමැතියි. පුතා මතක් වෙනකොට මගේ හදවත පspaචෙනවා…” ඇය නිහඬ විය. ඉකිබිඳුම ප්‍රබල විය. අපි ඇයට සමු දුන්නෙමු.

නොසිතූ විරූ ආදරණීය බැඳීම් කැඩි බිඳී ගිය පසු කම්පනයට පත්ව සිත අයාලේ දිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් සිහි බුද්ධියක් ඇති මිනිසුන් ලෙස සිත පාලනය කිරීමට අප දක්‍ෂ විය යුතුය. ගුවන් සේවිකාවක් ලෙස ලෝකය පුරා සංචාරය කළ දැන උගත් ඇයට බිඳුණු සිත පාලනය කරගැනීමට බුද්ධියක් තිබුණා නම් අද මෙවැනි ඉරණමකට මුහුණ නොදෙනු නිසැකය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment