ගුවන, සයිබර් අවකාශය, සමුද්‍රීය ආරක්ෂාව දැන් තවත් තහවුරුයි: ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ

431

රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් 1951 මාර්තු පළමු වැනිදා ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙවර සිය හැත්තෑ දෙවැනි සංවත්සරය සමරයි. සුරකිමු ලකඹර ලෙස සිය වගකීම කර දැරූ ගුවන් හමුදාවේ වත්මන් කාර්යභාරය කවරේද…? මේ සඳහා ‘දිවයින’ සමග සංවාදයට එක්වූයේ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ය. දහ අට වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව භාර ගනිමින් ඔහු ප‍්‍රකාශ කරන ලද්දේ, ගුවන් හමුදාවේ ශක්තිය වර්ධනය කිරීම චතුර්විධ ප‍්‍රයාමයක් තමන් දියත් කරන බවය. එම චතුර්විධ ප‍්‍රයාමය සහ ගුවන් හමුදාව හමුවේ මේ මොහොතේ ඇති අභියෝග සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා සමග ‘දිවයින’ සිදු කරන ලද සංවාදය මෙසේය.

ප‍්‍රශ්නය – ඔබ ගුවන් හමුදාපති ධුරය සඳහා පත් වූ විට, ක්‌ෂේත්‍ර හතරක් ඔස්සේ ගුවන් හමුදාව මෙහෙයවන බවට සඳහන් කළා. එම අරමුණු සඳහා ඔබ මේ වන විට ළඟා වී තිබෙනවාද…?

පිළිතුර – මම මේ අරමුණු හතර පෙළ ගස්වන ලද්දේ ඔදවත් තෙදවත් අපගේ ගුවන් හමුදාවේ ඉදිරි ගමන තව තවත් ශක්තිමත් කිරීම උදෙසායි. එහි පළමු අරමුණ වූයේ, අපගේ ගුවන් හමුදාවේ ශක්තිය නැවත නඟා සිටුවීම සඳහා අපගේ ගුවන් ශක්තිය වර්ධනය කර ගැනීමටයි. දෙවැන්න වූයේ අපගේ සමුද්‍රීය ආරක්ෂණය වැඩිකර ගැනීම. එයින් මම බලාපොරොත්තු වුණේ, මේ රටේ සමුද්‍රීය සම්පත මතු පරපුර සඳහා ආරක්ෂා කරදීමයි. තාක්ෂණික හමුදාවක් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය වන සයිබර් ආදී තාක්ෂණික ආරක්ෂක පිළිවෙතින් සන්නද්ධව මේ ජාතිය ආරක්ෂා කිරීමේ වගකීම තමයි මගේ තුන්වැනි ප‍්‍රතිපත්තිය බවට පත් වුණේ. හතර වැනි අංකය බවට පත් වුණේ ස්වාභාවික අනතුරු සඳහා අපගේ ක‍්‍රියාකාරිත්වය වේගවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය. මෙම අරමුණු සතර අනුව අපි ප‍්‍රගතිගාමී ගමනක් මේ වන විට පැමිණ තිබෙනවා. අපගේ ගුවන් ශක්තිය වැඩි දියුණු කර ගැනීම අවශ්‍යම පිළිවෙතක් බවට මෙහිදී පත් වුණා. විශේෂයෙන්ම ගුවන් හමුදාවක් සතු ගුවන් බලය වැඩි දියුණු කර ගැනීම, එම හමුදාවේ ශක්තිය සහ ක‍්‍රියාකාරිත්වය ඉහළ නංවනවා. මේ සඳහා අපි ඇන්ටනොෆ් 32 වර්ගයේ ගුවන් යානා තුනක් අලුත්වැඩියා කරලා යළි ක‍්‍රියාකාරිත්වය සඳහා ලබාගෙන තිබෙනවා. මේවා වසර හත අටක් බිම තිබුණු ගුවන් යානා… ඒ වගේම එම්.අයි. – 17 ගුවන් යානා රාශියක් අපි යළිත් සේවය සඳහා යොදාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපගේ ප‍්‍රබල කෆීර් යානා බලඝනය යළිත් අපි සාඩම්බරයෙන් නඟා සිටුවා තිබෙනවා. ඊශ‍්‍රායල් රජය සමග එකතුවෙලා, අපි කෆීර් යානා පහක් අලුත්වැඩියා කරලා, අපේ කෆීර් බලඝනය යළි ශක්තිමත් කරලා තිබෙනවා.

ප‍්‍රශ්නය – ඔබ මෙසේ ගුවන් බල ඇණිය ශක්තිමත් කරන බවට ප‍්‍රකාශ කළත්, සමහරු මේ පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කරන බව පෙනී යනවා. විශේෂයෙන්ම බීච් ක‍්‍රාෆ්ට් ගුවන් යානා සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබෙනවා.

පිළිතුර – මෙම බීච් ක‍්‍රාෆ්ට් යානා දෙකම අපිට එක්සත් ජනපදය ලබාදෙන්නේ පූර්ණ වශයෙන්ම නොමිලේ. එහෙම තියෙද්දී මේ පිළිබඳව ප‍්‍රශ්න කිරීම තමයි, මට නම් ප‍්‍රශ්නයක් වෙලා තියන්නේ. එක්සත් ජනපද ආණ්ඩුව අපි කරපු ඉල්ලීමක් අනුව, අපේ සමුද්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා එම යානා ලබා දෙන්නේ නොමිලේ. අපි ඔවුන්ගෙන් ගුවන් යානා දෙකක් ඉල්ලුම් කර තිබෙනවා. එයින් එකක් ලබාදීමට එක්සත් ජනපද රජය අපිට පොරොන්දු වෙලා තිබෙනවා. අපේ සමුද්‍රයේ ආරක්ෂාව සඳහා මෙසේ නොමිලේ ලැබෙන යානා සම්බන්ධයෙන් මෙසේ චෝදනා කිරීම මට නම් හිතා ගන්නත් අමාරුයි. ලබන වසර මුල වන විට, මෙම එක් යානයක්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු දැනගැනීමේ උපකරණ සමගම, අපිට නොමිලේ ලබාදෙනවා.

ප‍්‍රශ්නය – යුද්ධයක් නොමැති මේ අවස්ථාවේ, විශේෂයෙන්ම අපිට ඩොලර් අර්බුදයක් තිබෙන අවස්ථාවක, මෙසේ හදිස්සියේ ගුවන් යානා අලුත්වැඩියා කිරීම අවශ්‍ය ද යන්න සමහරු ප‍්‍රශ්න කරනවා.

පිළිතුර – කිසිම හදිස්සියක් නැහැ. ඉතාම පරික්ෂාකාරී ලෙස, මනා සැලසුමකට අනුව තමයි අපි මෙම අලුත්වැඩියා කටයුතු සඳහා යොමු වෙන්නේ. අත්‍යවශ්‍යම නඩත්තු කිරීම් සඳහා පමණයි අපි මේ සඳහා යොමු වෙන්නේ. මේ අවස්ථාවේදී අපි මෙම අලුත්වැඩියා කටයුතු සඳහා යොමු නොවුණොත් මීට වඩා වැඩි වියදමක් අපිට දරන්න වෙනවා. සමහර විට මේ වගේ පස් හය ගුණයක වියදමක් අපිට ඒ සඳහා අනාගතයේදී දරන්න වෙන්න පුළුවන්. අපි අවම ලංසුවක් යටතේ, අත්‍යවශ්‍යම නඩත්තු කිරීම් පමණයි මේ අවස්ථාවේදී සිදු කරන්නේ. විශේෂයෙන්ම මෙම කටයුතු සඳහා අපි දැන් කටුනායක නඩත්තු අංගනයක් ඇති කර තිබෙනවා. වෙනදා විදේශයන් වෙත ගිය නඩත්තු කටයුතු එමගින් දැන් ඉතාම අඩු වියදමක් යටතේ අපිම සිදු කරනවා. විදේශයන්හි මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙන පිරිස් අපි මේ සඳහා සම්බන්ධ කර ගන්න අවස්ථා තිබෙනවා. එමගින් අපේ ශිල්පීය ඥානය අපි ඉහළ නංවාගෙන තිබෙනවා. අපි වෙනදාට පිටරටවලට ඩොලර් දීලා කරගත්ත දේවල්, අපේ රට තුළම අපි දැන් කරගෙන යනවා. ඒත් සමහර දේවල් තිබෙනවා, අපිට එතෙර යවලා, අලුත්වැඩියා කරන්න සිද්ධ වෙන. එම ගුවන් යානය නිෂ්පාදනය කරපු රටටම යවලා කළ යුතුම අලුත්වැඩියා කටයුතු තිබෙනවා. ඒ හැරුණු කොට අපිම තමයි මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරන්නේ.

ප‍්‍රශ්නය – රුසියානු – යුක්රේන් අර්බුදය සමග අපගේ ගුවන් යානා නඩත්තුව සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රට මිලදී ගෙන තිබෙන රුසියන් සහ යුක්රේන් නිෂ්පාදිත ගුවන් යානා සඳහා අවශ්‍ය අමතර කොටස් ආදිය සම්බන්ධයෙන් අපිට ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකියි නේද…?

පිළිතුර – ඇත්ත වශයෙන්ම අපිට ඒක ප‍්‍රශ්නයක්… ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා විශාල ප‍්‍රමාණයක් අපි ලබාගෙන තිබෙන්නේ, රුසියාව, යුක්රේනය හෝ ඒ අවට රටවලින්… මේ අවස්ථාවේදී යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන තත්ත්වය සහ රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීම මත, අපි මේ සම්න්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. මේ නිසා අප සතුව ඇති අමතර කොටස්, වඩාත් ප‍්‍රවේශම් සහගත ආකාරයෙන් පරිහරණය කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා. එසේම යුක්රේනයත් රුසියාවත් සහිත කලාපයේ අනිකුත් රටවල් සමග සම්බන්ධ වෙලා, එම රටවල් සමග මෙම අමතර කොටස් ලබා ගැනීම සඳහා වන අවස්ථාව නිර්මාණය කර ගැනීමට අපි බලපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය – සමුද්‍රීය ආරක්ෂණය සම්බන්ධයෙන් ඔබ ගුවන් හමුදාපතිවරයා ලෙස විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පෙනෙනවා. මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සහ අනවසර ධීවර කටයුතු සඳහා මෙම සමුද්‍රීය ආරක්ෂණය අත්‍යවශ්‍ය පියවරක් වී තිබෙනවා. මේ සඳහා ගුවන් හමුදාවේ දායකත්වය කෙබඳුද…?

පිළිතුර – පසුගිය වසරේ සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ගුවන් හමුදාව ඍජු දායකත්වයක් ලබාදී තිබෙනවා. නාවික හමුදාව, ශ‍්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය සමග අපි මේ සඳහා සක‍්‍රිය දායකත්වයක් ලබාදී තිබෙනවා. මේ සඳහා අපගේ දායකත්වය තව වැඩි කර ගැනීම සඳහා තමයි, අපි එක්සත් ජනපදයෙන් බීච් ක‍්‍රාෆ්ට් ගුවන් යානා ඉල්ලුම් කර තිබෙන්නේ. ඊට අමතර අපි ඉන්දියාව සමගත් මේ පිළිබඳව සාකච්ඡා කර, සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් නොමිලේ ලබාදීම සඳහා ඉන්දියාව අපට කැමැත්ත දැනට ලබාදී තිබෙනවා. එම ගුවන් යානයත් අපිට මෙම වසරේ ලැබීමට නියමිතයි.

ප‍්‍රශ්නය – තාක්ෂණික ලෙස බල ගැන්වුණු ගුවන් හමුදාවක් සහ සයිබර් ආරක්ෂාව යන සංකල්පය ඔබ ගුවන් හමුදාව සඳහා අනුගමනය කරන්නේ ඔබ ගුවන් හමුදාපති ලෙස පත්වී ඉදිරිපත් කළ සැලසුමේ තුන්වෙනි අංගය ලෙසය. විශේෂයේම සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් හමුදාමය මැදිහත්කරණයක් මීට පෙර අපේ රට අත්දැක නැති තරම්. මෙතැනදී ගුවන් හමුදාවේ කාර්යය කුමක්ද…?

පිළිතුර – පසුගිය කාලය පිළිබඳව ඔබ පසු විපරමක් කළහොත්, මේ රට සයිබර් ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අප කරන ලද කාර්යය කොතරම් ද යන්න ඔබට අවබෝධ කර ගත හැකියි. ඒ තරමට අපි මේ රට සඳහා සයිබර් ආරක්ෂණය පවත්වාගෙන යනවා. ඒ වගේම අපිට වින කරන, සයිබර් අවකාශයන් හි ඇති ස්ථාන හඳුනාගෙන, ඒ සඳහා ප‍්‍රහාර කල් තියා එල්ල කරලා, මේ රටට හානි කරන්න පෙර එම සතුරන් පරාජය කර තිබෙනවා. තාක්ෂණික වශයෙන් සහ ඒ සඳහා පළපුරුදු පිරිස් බඳවා ගනිමින් අපි මෙම බලඝනය තව තවත් දැන් ශක්තිමත් කර ගෙන තිබෙනවා. ඒ වගේම අනිකුත් තාක්ෂණික බල ගැන්වීම් ද අපි වැඩි දියුණු කරගෙන තිබෙනවා. ඒ වගේම නියමුවන් රහිත ගුවන් යානා බල ඇණිය මේ වන විට සැතපුම් පනහක වපසරිය කරා අපි දැන් ළඟා වෙමින් පවතිනවා. එය එක්තරා අතකින් ආරක්ෂාවට සේම සංවර්ධනය සඳහා ද අපි උපයෝගී කරගෙන තිබෙනවා. අපේම වූ ලිහිණියා නම් නියමුවන් රහිත ගුවන් යානා මගින් මුතුරාජවෙල ප‍්‍රදේශය සිතියම්කරණය සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අවශ්‍ය සිතියම් සම්පාදන සහය අපි ලබා දුන්නා.

ප‍්‍රශ්නය – ආපදා සහන සේවා යන සංකල්පයේදී පහසුවෙන් සහ ඉක්මනින් ළඟාවිය හැකි යන ආස්ථානය සමග බැඳී සිටින්නේ ගුවන් හමුදාව. මෙම කර්තව්‍යය ජාතිය වෙනුවෙන් වැඩි දියුණු කිරීමත් ඔබගේ සංකල්පයක්…

පිළිතුර – මේ සඳහා අපි විශේෂ පුහුණුවල යෙදී සිටිනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපේ විශේෂ සෙබළු, ගුවන් යානා සහ ගුවන් නියමුවන් මේ සඳහා දිගින් දිගටම අපි පුහුණුව සඳහා භාජනය කර තිබෙනවා. ගංවතුර වැනි අපි සුලබව මුහුණ දෙන ආපදා සඳහා කල්තියා මුහුණ දීමේ සූදානම ඇතිව, ඒ සඳහා ලක්විය හැකි ප‍්‍රදේශ කල් තබා හඳුනාගැනීම, ඒ සඳහා යෙදවිය හැකි විකල්ප ස්ථාන ආදිය සිතියම් ගත කරමින් අප විසින් නිමවා තිබෙනවා. එවැනි අවස්ථා ඇති නොවේවා යැයි මම ප‍්‍රාර්ථනා කරනවා. යම් හෙයකින් එවැනි අවස්ථාවක් අත් විඳින්නට සිදුවුවහොත්, ඒ සඳහා මුහුණදීමට හැකි ශක්තිවන්තභාවයක අපි සිටින බව මට කියන්න පුළුවන්. වැස්ස පටන් ගත්විට එම ආපදා ස්ථාන කරා ගුවන් යානා යැවීමට නොහැකිවීමේ අත්දැකීම අනුව, මේ වන විට කල් තබා එම ආසන්න ස්ථානවල ගුවන් යානා නවතා, කල්තබා ආපදාව සඳහා මුහුණදීමට අපි අවශ්‍ය ස්ථාන සූදානම් කර තිබෙනවා.

ප‍්‍රශ්නය – ගුවන් හමුදාව සිය හැත්තෑ එක් වැනි සංවත්සරය සඳහා, කැබිතිගොල්ලෑව, කණුගහවැව ගම්මානය විධිමත් පහසුකම් අනුව යළි ගොඩනැගුවා, ඒ වගේම වන්නි ගුවන් හමුදා පරිශ‍්‍රය මගින් කාබනික පොහොර නිපදවීම සඳහා වන ව්‍යාපෘතියක් මේ වන විට දියත් කර තිබෙනවා. මෙවැනි සේවා සපයමින් ගුවන් හමුදාව මහ පොළොවේ සිදු කරගෙන යන කාර්යයන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා නම්…

පිළිතුර – ගුවන් හමුදාව ලෙස අපි ප‍්‍රමුඛ වශයෙන් මේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන අතර තුර, මේ රටේ මහජනතාව යම් ප‍්‍රශ්නයක් සඳහා මුහුණ දෙන අවස්ථා ඇත්නම් ඒ සඳහා ඔවුනට අපිට දිය හැකි සහය උපරිම ලෙස ලබා දෙනවා. කණුගහවැව ගම්මානය සඳහා අපගේ කාර්ය භාරය ඉටු කරන ලද්දේ, ජනාධිපතිතුමාගේ ඍජු උපදෙස් මතයි. අපි එම ගම්මානය සහ එහි ජන ජීවිතය සඳහා පෙරළිකාර සේවයක් සිදු කළා. එසේම පොහොර ප‍්‍රශ්නය පැමිණි අවස්ථාවේ, අපගේ මුලතිව්, වන්නි, ඉරණමඩු වැනි කැලෑබද ප‍්‍රදේශවල වැටෙන කොළ, ඔහේ පොළොවට දිරන්නේ දෙන්නේ නැතුව, මේවා පොහොර බවට පත් කරලා, ලක් පොහොර සමාගම මාර්ගයෙන් ගොවි ජනතාව වෙත බෙදාහැරීමේ කර්තව්‍යයක් ඉටු කරනවා. මේ වන විට අපි ටොන් විස්සක් පමණ මේ පොහොර ලබාදීලා තිබෙනවා. මාසයකට අපි ටොන් දහයක්, පහළොවක් පමණ නිෂ්පාදනය කරනවා. ඊළඟ යල කන්නය වන විට ටොන් අසූවක්, සියයක් පමණ, ගොවි ජනතාව අතට මෙම කොම්පෝස්ට් පොහොර පත් කිරීම සඳහා අපි කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහිව සටනේදී ගුවන් හමුදාවේ සක‍්‍රීය ලෙස සේවය කරන ලද කෆීර් යානා නියමුවෙක් ලෙස ඔබෙන් මෙම ප‍්‍රශ්නය අසන්නට කැමතියි. විශේෂයෙන්ම යුද සාහිත්‍ය සඳහා අඩුම දායකත්වයක් ලබා දී ඇත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කිසිවකු, මෙම යුද ජයග‍්‍රහණය පිළිබඳව කිසිදු සාහිත්‍යමය පළ කිරීමක් සිදු කර නැහැ. දැන් මෙම යුද ජයග‍්‍රහණය සඳහා වසර දහතුනකටත් අධික කාලයක් ගතව තිබෙනවා. ඒ නිසා එම අඩුව පිරිමැසීම සඳහා ඔබ ගුවන් හමුදාපති සමයේදී හෝ කටයුතු කරන්නේ නැද්ද…?

පිළිතුර – ඇත්තටම මේ පිළිබඳව බොහෝ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සලකා බලා, එහි පළමු පියවර ලෙස මෙම ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව, ගුවන් හමුදාවේ මූලික න්‍යාය හෙවත් එයාර් ෆෝස් ඩොක්රින් එළිදැක්වීම සඳහා කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම ජාතික සැලසුමේ ගුවන් හමුදාව සඳහා ඇති කර්තව්‍යය සේම එය ඉටු කිරීම සඳහා අපට තිබෙන සැලසුම මේ වසරේ අපි එළි දක්වනවා. අපි කාලයක් තිස්සේ මෙය ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටියා. විශේෂයෙන්ම තිස් අවුරුදු යුද අත්දැකීම් සමග අප නිම කරන ලද එම ඩොක්රින්ය මේ වසරේ ගුවන් හමුදා දිනය වෙනුවෙන් අපි එළි දක්වනවා. මම හිතන්නේ, එය මේ සඳහා හොඳ ආරම්භයක් සටහන් කරනු ඇති බවයි.

ප‍්‍රශ්නය – ඔබ මෙතෙක් ප‍්‍රකාශ කළේ, රටට ගුවන් හමුදාව සිදු කළ සේවය. ගුවන් හමුදා පවුලේ පියා ලෙස ඔබ, ගුවන් හමුදාවට සිදු කළ සේවය සඳහන් කළහොත්…

පිළිතුර – ප‍්‍රථමයෙන්ම අපි ගුවන් හමුදාවේ සුබසාධනය සහ ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම විධිමත් තාක්ෂණික පසුබිමක් යටතේ, නිරවුල් මනසකින් සිය රාජකාරි ඉටු කිරීම සඳහා අවශ්‍ය පරිසරය අපි සහතික කර තිබෙනවා. පසුගිය කාලය පුරා අපි මුහුණ දුන් වසංගත ස්වභාවයේදී, අපේ මානුෂික සම්පත සඳහා විධිමත් රැකවරණයක් ලබා දීමට මම කටයුතු කළා. ගුවන් හමුදාපති ලෙස මම වැඩ භාර ගත්තේ පසුගිය වසර තුළ, මගෙන් විය යුතු වගකීම, මගේ වටිනාම සම්පත වන, මගේ මානුෂීය සම්පත වෙත මම ලබාදී තිබෙනවා. ඒ වගේම, ගුවන් හමුදාව සඳහා මෙතෙක් ප‍්‍රධාන රෝහලක් තිබුණේ නැහැ. අපිට සෙසු මට්ටමේ රෝහල් තිබුණත්, ප‍්‍රධාන රෝහලක් සඳහා වන අවශ්‍යතාවය තිබුණා. මේ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් පසු එතුමා අපට මේ සඳහා අවශ්‍ය සුවිශේෂ භූමි භාගයක් කොළඹ, නාරාහේන්පිට ප‍්‍රදේශයෙන් ලබා දුන්නා. ඒ අනුව මේ වසරේ මුල, අපි ගුවන් හමුදා ප‍්‍රධාන රෝහල සඳහා, ආරක්ෂක ලේකම්තුමාගේ දෑතින් මුල්ගල තබා. දැන් එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ රෝහල ගුවන් හමුදාවේ විශ‍්‍රාම ගිය පිරිස් සහ දැනට සේවය කරන පිරිස් සේම, ඔවුන්ගේ පවුල් සඳහා ද වටිනා සම්පතක් බවට පත් වෙනවා ඇති.

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment