ගෙට ගහපු දවසේ මන්ත්‍රී දුමින්දගේ පිස්තෝලය උස්සලා

261

මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට පහරදී ගිනි තබා දේපළ සොරකම් කිරීමේ සිද්ධීන්වලට සමගාමීව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලිසිය කියයි.

පසුගිය 9 දා රාත්‍රී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මවට අයත්, සැනසුම, අංක 630, ගුවන්තොටුපළ පාර, අනුරාධපුර ලිපිනයේ පිහිටා ඇති ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් එම නිවසේ සහ හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ තිබූ දේපළවලට හානි සිදුකර ගිනි තබා විනාශ කර තිබුණි.

එම අනර්ථය සිදුවන අවස්ථාවේදී නිවසේ කාමරයක තිබූ තමාට අයත් මි.මී. 09 වර්ගයේ ලියාපදිංචි ගිනි අවිය කලහකාරී පිරිස ගිය පසු, සොයා බැලීමේදී නොතිබූ බව පවසමින් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයකු විසින් පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව මෙම ගිනිඅවිය කලහකාරීව පැමිණි පිරිස් සොරාගෙන ගොස් ගියේද, නැතිනම් ගින්නෙන් විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment