ගෙට පස් කන්දක් කඩා වැටී රඹුකේවෙල අම්මායි දුවයි යට වෙති

368
  • *මව මියයයි – දුව රෝහලේ

*වෙන කාමරයක සිටි සැමියාට අනතුරක් නෑ

මහනුවර, අංකුඹුර, රඹුකේවෙල ග‍්‍රාමයේ නිවසක් මතට 26 වැනිදා රාත‍්‍රී 9.30ට පමණ කඩා වැටුණු පස් කන්දකට යට වීමෙන් පනස් පස් හැවිරිදි කාන්තාවක මරණයට පත්ව ඇත.

මියගිය කාන්තාවගේ 09 හැවිරිදි දියණියද පස් කන්දට යටවී තිබේ. ප‍්‍රදේශවාසීන් මහත් පරිශ‍්‍රමයක් දරා ඇය ගොඩගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

පස් කන්දට යටවී අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ චන්ද්‍රානි පේ‍්‍රමලතා නමැති තැනැත්තියකි. සිද්ධියෙන් බරපතළ තුවාල ලත් කුෂානි අබේසිංහ නමැති දැරිය මොරන්කන්ද විදුහලේ හතර වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. ඇය ප‍්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. මියගිය කාන්තාවගේ සැමියා නිවසේ වෙනත් කාමරයක නිදා සිට ඇති බැවින් ඔහුගේ දිවි ගැළවී තිබේ.

අධික වර්ෂා සහිත තත්ත්වයත් සමග අදාළ නිවසට ඉහළින් වූ පස් කන්ද නිවසේ පිටුපස බිත්තියක් ද කඩා ගෙන පහළට පැමිණ තිබෙන බවත් මව සහ දියණිය ඊට යටවී තිබෙන බවත් පොලිසිය පවසයි. පවුලේ ඥාතියෙක් මෙසේ කීවේය.

‘‘මියගිය චන්ද්‍රානිගේ සැමියා මහ වැස්සේ කෑ ගහලා කිව්වා අනේ අපේ ගෙට පස් කන්දක් වැටුණා, ඉක්මනට එන්න කියලා. මමයි පුතයි වැස්සෙම ඒ ගෙදරට ගියා. චන්ද්‍රානියි දරුවයි නිදාගෙන හිටි කාමරය පස්වලින් යට වෙලා තිබුණා. කවුරුවත්ම පේන්න හිටියේ නැහැ.

අපි පස් පාදලා බලන කොට චූටි දුවගේ අතක් අහුවුණා. එයාව කොහොම හරි උඩට ගන්න උත්සහ කරන අතරේ උදව් ඉල්ලලා කෑගැහුවා. වැස්ස නිසා කාටවත් අපි කතා කරනවා ඇහිලා නැහැ. පස්සේ උඩ ගෙදර නංගිට කතා කළා. ඒ නංගි එයාගේ මල්ලිට කෝල් එකක් දීලා ත‍්‍රීවිල් එකක් ගෙන්න ගත්තා. ඉස්පිරිතාලෙට යන කොට දුව යම්තම් කතා කළා. චන්ද්‍රානි මොනවත්ම කතා කළේ නැහැ.

බොක්කාවල රෝහලට ගෙනිච්චට පස්සේ චන්ද්‍රානි මියගිහින් කියලා වෛද්‍යවරයා කිව්වා. පස්සේ දුවව මහනුවර ජාතික රෝහලට මාරුකර යැව්වා. සිද්ධිය සම්බන්ධයෙන් අංකුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment