ගෙඩිය පිටින්ම සල්ලි මැෂිම උස්සයි – කල්ලිය සොයා මෙහෙයුම්

879

වෑන් රථය පේරාදෙණියේ දමා ගිහින් – රියැදුරු අත්අඩංගුවට

ගම්පොල නගරයේ පෞද්ගලික බැංකුවකට කඩාවැදී එහි ආරක්‍ෂක නිලධාරීන්ට ගිනිඅවි පෙන්වා පහරදී රුපියල් හැත්තෑ හයලක්‍ෂයක් (7600000) තැම්පත් කර තිබූ බැංකුවේ ඒටීඑම් යන්ත්‍රය පැහැරගෙන ගිය සන්නද්ධ කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇත.

ඒටීඑම් යන්ත්‍රය පැහැරගෙන යෑමට යොදාගත් කේඩීඑච් වර්ගයේ වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ. වෑන්රථ රියැදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

ගෙඩිය පිටින්ම සල්ලි මැෂිම උස්සයි - කල්ලිය සොයා මෙහෙයුම්

මෙම ඒටීඑම් යන්ත්‍රය පැහැර ගැනීම සිදුවී ඇත්තේ ඊයේ (25 වැනිදා) අලුයම 1.00ට පමණය.

මෙම වෑන් රථය හෙම්මාතගම අරණායක ප්‍රදේශයේ කුලියට වාහන සපයන ආයතනයක එකක් බව පොලිසිය සොයා ගෙන ඇති අතර එහි හිමිකරු ද ඊයේ දහවල් වන විට ගම්පල පොලිසිය වෙත කැඳවා තිබිණි.

ගෙඩිය පිටින්ම සල්ලි මැෂිම උස්සයි - කල්ලිය සොයා මෙහෙයුම්

හිමිකරුගේ ප්‍රකාශ අනුව මෙම වෑන් රථය අන්තර්ජාලය හරහා කුලී ගමනකට ඉල්ලා ඇති පිරිසක් එය පේරාදෙණිය ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන ඇත.

අනතුරුව පෙරේදා (24 දා) රාත්‍රි එම රියැදුරා සමග ගලහ දෙල්තොට ප්‍රදේශයට එම වෑන් රථය රැගෙන ගොස් ඇති මොවුන් එම ප්‍රදේශයේ තවත් දෙදෙනකු නංවාගෙන ආපසු එන අතරතුර රියැදුරුගේ දෑත් හා දෑස් ගැටගසා පාළු ස්ථානයක ගලක් උඩ රඳවා මොවුන්ගෙන් එක් අයකු සමග දමා ගොස් තිබේ.

ඉන්පසු ගම්පොලට පැමිණි මොවුන් මෙම බැංකු මංකොල්ලය සිදු කොට යළි දෙල්තොට ප්‍රදේශයට ගොස් රියැදුරු රැගෙන පැමිණ ඊයේ අලුයම පහට පමණ යළිත් ගලහ මංසන්ධියේ වෑන් රථය හා රියැදුරු අතහැර පලා ගිය බව පැවසේ.

රියැදුරු පවසන්නේ ඔහුගේ දෑස් බැඳ තිබූ නිසා ඔවුන් ගිය දිසාවක් නොදන්නා බවයි.

වෑන් රථය තිබූ ස්ථානයට ගම්පොල සොකො අංශය මහනුවර ඇඟිලි සටහන් අංශය හා නිල සුනඛ අංශය කැඳවා පරීක්‍ෂණ පවත්වා වෑන් රථය ගම්පොල පොලිසිය වෙත රැගෙන එන ලදී.

රියැදුරුගේ පරස්පර ප්‍රකාශ නිසා ඔහු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කොල්ලකරුවන් පලා ගිය ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා සීසීටීවී කැමරා පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇත. මේ අතර වෑන්රථ රියැදුරු කරන ප්‍රකාශ පරස්පර බැවින් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රඳවාගෙන ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ගම්පොල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment