ගෙදර කට්ටිය දත් කුට්ටම් සුප් බීලා

555

පොඩිමැණිකා විශ‍්‍රාමික මවකි. දැන් ඇයට වයස අවුරුදු හැත්තෑපහකි. දරු මුණුබුරන්ගේ ආදරය සෙනෙහස මැද ජීවිතයේ සැඳෑ සමය ගෙවන ඇයට තාමත් ඇගේ වැඩ තනියෙන් කරගෙන යන්නට තරම් ඇඟපත ශක්තිය ඇත.

දිනපතාම පුවත්පත් කියවන, රූපවාහිනි වැඩසටහන් නරඹන මේ වියපත් මව ගෙවමින් සිටින්නේ සතුට සැනසුම පිරි සැඳෑ සමයකි.

”අම්මේ… අපි අලුත් දත් කුට්ටමක් දාමු. අම්ම සතුටින් ඉන්න එක තමයි අපෙත් සතුට” දියණියත්, දියණියගෙ දරු පැටවුනුත් සමඟ දිවි ගෙවන මේ මවට දිනක් දුව එම යෝජනාව කළාය.

”මට මොකටැයි පුතේ දත්. දැන් ඉතින් මම ඉන්නෙ වළ පයයි ගොඩ පයයිනෙ” ඇය කීවේ සැහැල්ලුවෙනි.

නමුත් දියණියගේ පෙරැත්ත කිරීම මත අලුත් දත් කුට්ටමක් මවට ලැබිණි.

රාති‍්‍ර කාලයේදී දත් කුට්ටම ගලවා වතුර පිරුණු ප්ලාස්ටික් අඬු කෝප්පයකට දැමීමට මේ මව පුරුදු වූයේ ඔය අතරය.

”කාව්‍යා, දුවේ අර ගෑස් ලිප උඩ තියෙන සුප් එක බාල තාත්තටයි, නංගිටයි මල්ලිටයි දෙන්න. මම ටක්ගාල වොෂ් එකක් දාගෙන එන්නම් කියා මෙකී වියපත් මවගේ දියණිය නාන කාමරයට ගියාය.

ඒ අනුව මිණිපිරිය ලිප උඩ තිබූ සුප් එක ගෙන ප්ලාස්ටික් කෝප්පයකට දමා ඉතිරි ටික තවත් කෝප්පයකට දැමුවේ ඉවුම් පිහුම් කටයුතුත් දැනගත යුතු බව සිතමිනි.

ඒ අනුව පියාටත්, නංගිටත්, මල්ලිටත් ඒ අයගේ කෝප්පවලට සුප් දමා පිළිගැන්වීම ද කාව්‍යා දුව විසින්ම කරන ලදී.

ටික වේලාවකට පසු නාන කාමරයෙන් එළියට ආ කාව්‍යාගේ මව කෙළින්ම ගියේ කුස්සියටය.

‘‘අම්මේ ඔය කෝප්පයේ ඉතිරි සුප් ටික ඇති. අම්ම බොන්න ආච්චිටත් දෙන්න” තරුණ දියණිය කියා සිටියාය.

හත්වලාමයි. මේ මොකක්ද? තරුණ දියණිය සුප් ටික පුරවා ඇත්තේ ආච්චිගේ දත් කුට්ටම දමන කෝප්පයටය. ඒ බව කාටවත් නොකියා නිහඬ වීම හැර වෙන කරන්නට දෙයක් ඇයට ඉතිරි වී තිබුණේ නැත.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment