ගෙදර කාර් එකේ පැය 2 1/2 ක් සිරවී සිටි පිළියන්දල සිසුවා මියයයි

948

නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථය තුළ පිටතට ඒමට නොහැකිව පැය දෙකහමාරකට අධික කාලයක් සිරවී සිටි 17 හැවිරිදි සිසුවකු මෝටර් රථයෙන් පිටතට ගෙන පිළියන්දල රෝහලටත් පසුව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (01 දා) ඉතා අවාසනාවන්ත ලෙස මියගොස්
ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, මාම්පේ, ජයමාවතේ පදිංචිව සිටි එම්. ඒ. සඳුන් නිත්සර නමැති 17 හැවිරිදි සිසුවෙකි.

ඔහු පසුගියදා පැවැති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවකු බවද පොලිසිය කියයි.

30 වැනිදා මියගිය සිසුවාගේ මව අනෙක් දරුවා සමග දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ගොස් ඇත. සිසුවාගේ වැඩිමල් සොයුරිය හා පියා රැකියාවට ගොස් තිබේ.

මෙම සිද්ධිය වූ දින නිවසේ සිට ඇත්තේ මියගිය සිසුවා පමණක් බව පොලිසිය පවසයි.

එදින දහවල් යාබද නිවසක පදිංචි පාසල් මිතුරකු නිවසට පැමිණ තිබේ. එහිදී මියගිය සිසුවා සමග මොහොතක් කතාකර ඇති මිතුරා සුළු වේලාවකින් පාඩම් කිරීමට පැමිණෙන බව පවසා නිවසින් පිටවී ගොස් ඇත.

පසුව එම මිතුරා සවස 2.30 ට පමණ නැවත නිවසට පැමිණ ඇත. එහිදී නිවසේ ඉදිරිපිට ගේට්ටුව වසා තිබී ඇත. එහෙත් නිවසේ දොර විවෘත කර තිබීම නිසා ඔහු නිවස තුළට ගමන් කර තිබේ. එහිදී නිවස තුළ රූපවාහිනිය හා විදුලි පංකාව ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. නිවසේ සෑම තැනකම තම මිතුරා සොයා ඇති ඔහුට තම මිතුරා සොයාගත නොහැකිවූ තැන මේ ගැන අවට පදිංචිකරුවන්ට පවසා තිබේ.

අනතුරුව එම පදිංචිකරුවන් මේ ගැන එම සිසුවාගේ පියාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී තිබේ. අනතුරුව පියාද නිවසට පැමිණ දරුවා සොයමින් සිටියදී මෝටර් රථයේ ඉදිරිපස වම්පස අසුනේ දොරට හේත්තුවී සිහිසුන්ව වැටී සිටින ආකාරය දැක ඇත. සිසුවාගේ පාද දෙක රියැදුරු අසුන මත තිබී ඇත.

පසුව පියා යකඩ ඉන්නක් ගෙන වීදුරුව කැඩීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී තිබේ. අනතුරුව ඔහුට සිය මෝටර් රථයේ යතුර මතක්වී මෝටර් රථයේ දොර විවෘත කර සිසුවා පිටතට ගෙන තිබේ.

ඒ වනවිටත් සිසුවාගේ මුවින් සෙම පිටවී තිබී ඇත. අධික ලෙස දහඩිය ශරීරය පුරා තිබී ඇත. සිරුර අධික රස්නයෙන් යුතුව තිබී ඇත. අනතුරුව සිසුවාව පිළියන්දල රෝහලට රැගෙන ගොස් තිබේ. එම රෝහලින් සිසුවාව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියගොස් තිබේ.

මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත් සිදුකරන පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඒ ගැන හෙළිවනු ඇති බවත් පිළියන්දල පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ
ඥානතිස්ස ජයවර්ධන-බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment