ගෙයක් නෙවෙයි දැන් වැසිකිළියක්වත් හදලා ඉවරයි!… ඉදිකිරීම්කරුවන්ටත් අබ සරණයි…!

414

● ඉදිකිරීම්කරුවෝ අසරණ වෙති…

● බාස්ලා අත්උදවුකරුවන් නන්නත්තාරවෙති

රාජ්‍ය හෝ පුද්ගලික මට්ටමේ මේ සංවර්ධන ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සුවිශාල, මධ්‍යම හා සුළු පරිමාණ මට්ටමේ නාගරික, ග්‍රාමීය තලවල නිරත පිරිස්, ගිණිය නොහැකි ලක්ෂ සංඛ්‍යාත පිරිසකි. උදාහරණයක් ලෙස මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවකු ඉදිකිරීම්කරුවකු ගනිමු. ඔහු යටතේ රැකියා නැති නම් මුදල් උපයන පිරිස් ජාලයකි.සෘජුවම, මේසන්, වඩු, වෑද්දුම්කරු, කම්බි නැවුම්කරුවන්, භාණ්ඩ ප්‍රවාහකයන්, කම්කරු පිරිස්, ගඩොල් කපන්නන්, ඊට දර පෝරණුවලට දර සපයන්නන්, දර කපන්නන්, දැව, සිමෙන්ති හා ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන්නන් වෙළෙන්දන් ආහාර සැපයුම්කරුවන්, වැලි ගොඩ දමන්නන්, යන්ත්‍ර සූත්‍ර සපයන්නන්, ක්‍රියාකරුවන්, විදුලි යටිතල පහසුකම් සපයන්නන් අදාළ වැඩ පරිපාලකයන්, කාර්මික, තාක්ෂණික නිලධාරීන්, ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයන්, පමණක් නොව, ඉඩම්, නිවෙස් ඔවුනට කුලියට දෙන්නන්, මේ ආදී කී නොකී, පිරිස් සංඛ්‍යාත්මකව බැලූ කල (500) පන්සිය ඉක්මවා සෘජු හා වක්‍ර රැකියාකරුවෝ කොන්ත්‍රාත්කරු හා කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සේවය, ශ්‍රමය කැප කොට ජීවනය සරි කර ගනිති. ඊට අමතරව බැංකු, රජයේ ආදායම් බදු, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ඔවුනගෙන් ආදායම් ද ලබා ගනී. (දේශපාලක දඩ ද, පන්සල්, පල්ලි කෝවිල් ආධාර ද නිමක් නැත.)

ඉදින්, රටේ ලියාපදිංචි හා ලියාපදිංචි නොවූ ඉදිකිරීම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සිටින්නේ පහළොස් දහසක (15000) ප්‍රමාණයක් යැයි උපකල්පනය කළවිට ඔවුන් යටතේ, නැති නම්, රටට, රාජ්‍යයට බරක් නොවී, ආදායම් උපදවාගෙන ජීවත් වූ පිරිස ලක්ෂ හැත්තෑපහ (7500000) ඉක්මවයි. සැබැවින්ම මෙම පිරිස් මීට වඩා වැඩිය. මන්ද, මහා පරිමාණ හා ග්‍රාමීය මට්ටමේ පිරිස් ද මීට එක්විය යුතු බැවිනි.

අද දවසේ රටේ මෙපමණ පිරිසක් අනාථ වූ “අසරණ” වූ අයුරු කෙසේ සිදුවුණි දැයි සොයා බලමු.

මාස 03ක් ඇතුළත ද්‍රව්‍ය මිල ඉහළ යෑම් පහත දැක්වෙයි. විදුලි භාණ්ඩ ද, පිත්තල උපකරණ ද, විදෙස් උපකරණවල ද මිල ඇත්තේ ඉහළ අහසේය. (තව බොහෝය)

ගොඩනැඟිලි 2022 2022 වැඩි වීමේ

ද්‍රව්‍ය මාර්තු මුල ජුනි අග ගුණය

සිමෙන්ති කොට්ටය 950/= 3000/= 3 ගුණ

වැලි කියුබ් 01 7000/= 14000/= 2 ගුණ

කළුගල් 3/4” 8500/= 22000/= 3 ගුණ

හුණු කොට්ටය 150/= 450/= 3 ගුණ

තීන්ත ලී. 04 3200/= 7000/= 2 ගුණ

පිලර් ලී. 20 7200/= 16500/= 2-3 ගුණ

වයර් 1/044 රෝල 3000/= 8600/= 3 ගුණ ආසන්න

මේන් වයර් රෝල 17000/= 67000/= 4 ගුණ

යකඩ මෙ. ටොන් 1 470000/= 750000/= 2 ආසන්න

බයින්ඩින් කම්බි කි. 1 300/= 1000/= 3 ගුණ

ප්ලග් බේස් 01 320/= 1350/= 4 ගුණ

ඇණ කි. 01 250/= 900/= 4 ආසන්න

ජල නළ බාර් 01 180/= 650/= 4 ආසන්න

උක්කුටික පෝච්චි 2800/= 5650/= 2 ගුණ

කොමඩ් කට්ටලය 15000/= 75000/= 3 ගුණ

(3 වන පන්තියේ)

ටයිල් 2’.0”×2’.0’ 650/= 3200/= 5 ගුණ

කැට 01

සවල 01 650/= 1300/= 2 ගුණ

වීල්බැරෝ 01 3250/= 9000/= 3 ගුණ

වැලි කඩදාසි 01 85/= 160/= 2 ගුණ

ජල කරාම ප්ලාස්ටික් 01 70/= 210/= 3 ගුණ

පිත්තල ලොක් 3000/= 12000/= 4 ගුණ

බර්ඩ් ලොක් 600/= 1800/= 3 ගුණ

(නාගරිකව හා ප්‍රාදේශීයව නව මිල වෙනස් වනු ඇත.)

මෙයට ම මිනිස් ශ්‍රම කුලී වැඩි වීම ද, බදු ගැසීම් ද, ඉන්ධන මිල වැඩිවීම් ද එක් වීමෙන්, ඇති වුණේ සිතා ගැනීමට බැරි ඉහළ මිල අගයන්ය.

මේ නිසා කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම්කරුවන් පමණක් නොව, නිවසක් තනා ගැනීමේ සිහිනයෙන් කල්ගත කරන හා ඉදිකරමින් සිටි බොහෝ දෙනාට සිදු වී ඇත්තේ ඒ “බියකරු” සිහිනයෙන් ඈත් – මෑත් වන්නටය. උදාහරණයක් වශයෙන් සරල ඉදිකිරීමක් වූ 4’.0”×3’.0”×7’.0” ප්‍රමාණයේ වැසිකිළියක් ඉදිකර ගැනීමට වැය වන මුදල දෙස බැලූවිට අමුතු “බරක්” සෑදේ. වැලි, ගඩොල්, සිමෙන්ති, හුණු, කොනACරිට්, යකඩ, කළු ගල්, උක්කු ටික පෝච්චි, ජල නළ, ගවර වළ (SOAKGE PIT) ටයිල්, උළුවස්ස, දොර, සරනේරු, තීන්ත, විදුලි උපකරණ, ජල කරාම ආදී අංගෝපාංග යොදා වෙනදා වැසිකිළියක් සෑදීමට බාස් කුලි ද යොදා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැය වුව ද, අද දවසේ වැසිකිළියක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ පහ (05)ට අසාන්න හෝ වැඩි මුදලක් වැය වෙයි. ඉදින් සිරුර අපද්‍රව්‍ය බැහැරලන ස්ථානයට මෙපමණ මුදලක් වැය වේ නම්, සිරුර සතපවන, සනසවන, ජීවනය ගෙන යන කුටුම්බය සුරැකිව තබන ස්ථානය ඉදිකිරීමක් ගැන තව කවර කථා ද?

විවාහ අපේක්ෂිත යෞවන යෞවනියනගේ පළමු පැතුම විවාහය යි. දෙවනුව; නව නිවහනක තනිව විසුමයි. තෙවනුව, දරුවන් බිහි කිරීමයි. මේ අනාගත සිහින දාමයේ එක් බන්ධන දාම පුරුකක් වූ නිවෙසක් තනා ගැනීම මෙවන් මිල වැඩිවීම් නිසාවෙන් යථාර්ථයක් නොවී සිහිනයක්ම වුවහොත්?

අද දවසේ ඒ යෞවනයන්ට ද, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවනට ද නිවෙස් ඉදිකරගෙන යන්නවුනට ද, ඇති වී තිබෙන්නේ එකම සන්තෑසියම ය. මෙයින් පුද්ගලිකව නිවහනක්, තාප්පයක්, කම්බ් වැටක්, සුළු අලුත්වැඩියාවක් කර ගැනීමට අපේක්ෂා කළ ඇත්තෝ මදක් පසුබාති. කල් යල් හරිති. අඩියක් පස්සට ගනිති. ඒ මිල අඩුවීම්, ඉන්ධන මිල කෙදිනක හෝ අඩු වේවි යැයි සිතමිනි. මුදල් ඇත්තෝ, ගඩොල් රුපියල් 100/= ට ගණන් ගිය ද සිමෙන්ති කොට්ටයක් රුපියල් (පන්දාහ) 5000/- ට ගණන් ගිය ද, දෙමහල් තෙමහල් නිවහන් මන්දිර තනා ගනිති. එසේ වුවත් තුට්ටු දෙකේ වැටුපෙන් අඹු දරුවන් රකිමින් උගන්වමින් යාන්තමින් දිවි සරි කර ගන්නා මධ්‍යම පාන්තිකයාට “සිහින නිවහන” තනා ගත හැකි වේද?

කොන්ත්‍රාත්කරුවන්, ඉදිකිරීම්කරුවන්ට ඇත්තේ ඊට වඩා බරපතළ වූ අභියෝගයකි. ඔවුනට රාජ්‍ය හෝ වෙන්ත ආයතනික හෝ පුද්ගලික මට්ටමින් ඔවුනට පැවැරුණු ඉදිකිරීම්, ගිවිස ගත් පරිදි කලට වෙලාවට නිමාකොට භාරදිය යුතුය. ඔවුන් එම කොන්ත්‍රාත්තුව බොහෝ විට ලබා ගන්නේ අඩු මිල මට්ටමට ටෙන්ඩර් දැමීමෙනි. මෙවන් ද්‍රව්‍ය මිල ඉහළ යෑම් හමුවේ පෙර කී පරිදි ඔවුහු අසරණ වෙති. ලාභයක් ද ඇවැසි කොන්ත්‍රාත්තුවන් ඔවුනට විශාල වශයෙන් පාඩු සිදු කර ගැනීමට සිදුවන්නේ කෙසේ හෝ ගිවිස ගත් අභියෝගය ඉටු කළ යුතු නිසාවෙනි. ප්‍රමාද වූ කල දඩ ද, ඊට පොලී ද ගෙවිය යුතු වෙයි. ඒ නිසා අකැමැත්තෙන් හා වෙන සරණක් නොමැති නිසාවෙන් ඔවුහු ඉදිකිරීම්වලින් දැන් දැන් බැහැර වෙමින් සිටිති.

තරිඳු කන්ට්‍රැක්ටර්ස් අධිපති සුනිල් ජයසුන්දර මහතා පැවසුවේ මෙසේය.

මම දැන් කොන්ත්‍රාත් නවතා දමා තිබෙන්නේ. රොකට් වේගයෙන් ඉහළ යන මේ ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල එක්ක අපේ ව්‍යාපාර, ලාභ කෙසේ වෙතත්, පවත්වා ගෙන යන්නවත් බැහැ. ඉන්ධන නැති නිසා අපේ වාහන කාලයක ඉඳල ම ගරාජ්වල. අපි මහන්සි වෙලා ඉපැයූ සියල්ල අද වතුරේ. මේ අමාරුව තව අවුරුදු කීපයක් යන තුරුම පවතින බව හැඟෙන නිසාම දැන් කොන්ත්‍රාත් ඉදිකිරීම්කරුවන් බහුතරයක් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා. රජයෙන් මුදල් ගෙවන්නෙත් නෑ. අපට බෑ නම් දැඩි අසීරුකම් හැමදේටම මූණ දෙන්න. මොකද අපිත් විනාශ වනවා.

ඉදිකිරිම් ක්ෂේත්‍රයේ බාසුන්නැහේ කෙනකු වූ ඒ. එච්. එම්. අබේරත්න (මද්දු) මෙසේ පවසයි.

“අපේ ජීවත්වීමේ මාර්ගය දැන් වැහීගෙන යන්නේ. දවස් කුලිය රු. 3000/= ගැනීමට සිදු වෙලා. ඒත් ජීවන වියදම්, ඉන්ධන වැය එක්ක ඒ මුදලත් මදි. ඒ වගේම ඉස්සර වගේ වැඩත් නෑ. ලොකු පොඩි කොන්ත්‍රාත්කරුවෝ වැඩ නැතිව අපට වැඩ නෑ. මම දවස් දහයක් බයික් එකට පෙට්‍රල් ගහගන්න දවල් වගේම රෑත් නිදි මැරුවා. හම්බවුණේ පෙට්‍රල් නොවෙයි. කොළ (ටෝකන්) කෑල්ලක්. අපි වැඩ කරන කාලය පෝලිම්වල රස්තියාදු වෙනවා. අපියි, දරුවොයි ඉස්සරහට කොහොමද ජීවත් වෙන්නේ කිය – කියා ලතවෙනවා.”

දෛනික කුලීකරුවකු වූ අප්පු ද පැවුසවේ “අපට මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි හොයා ගන්නත් දැන් වැඩ පොළවල් නැහැ” කියාය.

රට බංකොළොත් වනවිට අන් දේ ගැන කවර කථාද? ඉදිකිරීම් ක්ෂේත්‍රය වළ පල්ලේය. ඉදිකිරීම්කරුවෝ ද සේවක පිරිස් ද වළපල්ලේ අසරණව මුර ගාති. ඔවුන් පසට යට වන දින වැඩි ඈතක නොවේය. වගකිවයුත්තෝ සුවසේ නිදති. එසේ වුව ද ඔවුනගේ හෘද සාක්ෂිය අවදිව මුර ගානු ඇත.

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment