ගෙවත්තේ අත්බෝම්බයක් වළ දැමූ කාන්තාව පොලිසි යයි

160

මීගහවත්ත මාහේන ප‍්‍රදේශයේ නිවෙසක ගෙවත්තේ වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් සමග කාන්තාවක් ඊයේ(14) මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ(14) පෙරවරුවේ මීගහවත්ත පොලිසියට පැමිණි නුවර කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් තමා විවාහ වීමට පෙර පදිංචිව සිටි මීගහවත්ත මාහේන ප‍්‍රදේශයේ තම මහගෙදර ගෙවත්තේ තමා විසින් ජීව අත්බෝම්බයක් වළලා ඇති බවත් එම බෝම්බය තම සහෝදරයා විසින් නිවසට රෑගෙන ආ බවත් ඇය විසින් පොලිසියට පවසා ඇත.

ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් එම කාන්තාව පැවසූ පරිදි වළදමා තිබූ විදෙස් රටක නිෂ්පාදත ජීව අත්බෝම්බය ගොඩගෙන ඇත. මෙම කාන්තාව විසින් ඉතා ආරක්ෂිතව පොලිතින් දවටනයකින් මෙම බෝම්බය ඔතා අයිස්කී‍්‍රම් භාජනයක දමා අඩි දෙකක් පමණ ගැඹුරින් වළ දමා තිබූ බව පොලිසිය පවසයි. ඇය වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ තම මහගෙදර ඉඩම සහ ගෙවත්ත පිළිබඳ තම සහෝදරයා සහ ඇය අතර ඉඩම් ආරවුලක් පැවැති බවත් ඒ හේතුවෙන් තමාට අනතුරක් වේ යැයි බියෙන් දැනට වසර හතකට පමණ පෙර 2014 වර්ෂයේ මෙම ස්ථානයේ තමා විසින් මෙම අත්බෝම්බය වළ දැමූ බවයි. විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් මෙම අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීමට නියමිතව තිබූ අතර මේ වනවිට එම නිවෙසින් බැහැරව ගොස් ඇති ඇගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරයි. වයස අවුරුදු 34 ක් වන දෙදරු මවක වන මෙම කාන්තාව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, සැඟවීම හා තොරතුරු වසන් කිරීමේ චෝදනා මත මහර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න, පොලිස් සැරයන් (6015) අබේසිංහ, කාන්තා පොලිස් සැරයන්(3509) නිලන්ති, පොලිස් කොස්තාපල්වරුන් වන (53666) දුමින්ද, (88789) රාජපක්ෂ යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

බියගම – සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ – ඩබ්ලිව්.ඞී.එම්. විතාන දෙල්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment