ගෙවල්වලට යන්නෙත් කර්මාන්තවල ගෑස්… ගැසට් එක නැති නිසා වැටලීම් බෑ

166

මෙරට ගෘහස්ථව භාවිතා කරන්නේ කර්මාන්ත සඳහා වැඩිපුර භාවිතයට ගන්නා ගෑස් යැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය.

මේ නිසා පුපුරා යෑමේ සම්භාවිතාව වැඩිවීම, ආහාරයක් පිසීමට ගතවන කාලය වෙනදාට වඩා වැඩිවීම ඇතුළු ගැටලූ රැසක් පවතින බව ද ඒ මහතා කීය. මීට පෙර ගෑස් සිලින්ඩරයක බියුටේන් වායුව සියයට 80 ක්ද ප්‍රොපේන්  වායුව සියයට 20 ක් ලෙස ද පැවතියත් වර්තමානයේදී ගෑස් සිලින්ඩර් තුළ පවතින්නේ බියුටේන් සියයට 50 ක් සහ ප්‍රොපේන් සියයට 50 ක් බව ද ඒ මහතා කීය.

ප්‍රොපේන් වායුව වැඩිපුර භාවිතයට ගන්නේ කර්මාන්ත සඳහා බවත් ගෑස් සිලින්ඩර් තුළ ප්‍රොපේන් වායුව වැඩිපුර පවතින බවට දැන ගත්තත් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ගෑස්වල තිබිය යුතු ප‍්‍රමිතිය ගැසට් කර නොමැති නිසා වැටලීම් කිරීමේ හැකියාවක් නැති බවත් ඒ මහතා කීය.

වෙනත් රටවල නම් ප‍්‍රමිති ආයතනය මගින් ගෑස්වල ප‍්‍රමිතිය නීතිගත කර ඇතත් අපේ රටේ මෙතෙක් එය සිදුකර නැති නිසා එය සිදු කරන ලෙස ප‍්‍රමිති ආයතනය දැනුවත් කර ඇතැයි ද හෙතෙම කීවේය. රටේ ගෑස් සපයන ආයතන දෙකක් පවතින බවත් ගෑස්වල ප‍්‍රමිතිය ගැසට් කරන්නේ නම් එය උල්ලංඝනය කරන ගෑස් සමාගම්වට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පාරිභෝගික අධිකාරියට පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment