ගෙවල් කුලී පනත රටේ දියුණුවට බාධාවක් අහෝසි කිරීමට ළගදීම නීති ගේනවා

742
  • අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ

රටේ දියුණුවට බාධාවක් වී ඇති ගෙවල් කුලී පනත අහෝසි කිරීම සඳහා අවශ්‍ය නීති ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන එන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙමගින් දේපළ හිමියන්ගේ මූලික අයිතිවාසිකම්ද ආරක්ෂා වන බව ඒ මහතා කියා සිටියේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (05 දා) පෙරවරු 9.30 ට රැස්විය.

නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසා තිබූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ. අනතුරුව 27/2 යටතේ අසා තිබූ විශේෂ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූහ. ඉන්පසුව බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ විය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා –

පළමුවෙන් 2023 වසර සඳහා අප රැස්වෙන පළවෙනි අවස්ථාවේ රජය වෙනුවෙන් කතානායකතුමාට, උප කතානායකතුමාට සහ සියලුම මන්ත්‍රීතුමන්ලාට අපේ සුභාශිංසන මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි. ඒ වාගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශයන් පරිදි ඉදිරි වසර හැටියට අප මේ අභියෝග ජයගත හැකි වසරක් බවට පරිවර්තනය කිරීමට කැප වී කටයුතු කිරීමට රජය වශයෙනුත්, පාර්ලිමේන්තුව වශයෙනුත් එක්සත්ව එකමුතුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව සඳහා එකට වැඩ කිරීමේ අභිලාෂය මේ අවස්ථාවේ යළිත් ප්‍රකාශ කර සිටිනවා.

ඒ වෙනුවෙන් මේ අවස්ථාවේදී නව අවුරුද්දේ සුභාශිංසන පමණක් නොව, සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩ වඩාත් යහපත් රටක් ගොඩ නඟන්නට අප කැප වී කටයුතු කරමු. විශේෂයෙන් ආහාර සුරක්ෂිතභාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනිත් සෑම අංශයක් සඳහාම සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීයව කටයුතු කරමු. ජන ජීවිතයට බලපාන දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපාය මාර්ග තුළ කටයුතු කරමින් නව වසරේ වඩාත් සුබදායී රට නැඟීමේ රටවැසි ජනතාවගේ ඒ බලාපොරොත්තුව සමඟ එකට අත්වැල් බැඳගෙන වැඩ කරන්නට රජය වෙනුවෙන් යළිත් අප ආයාචනා කරනවා.

අප රට 75 වෙනි නිදහස් දින සංවත්සරයට මසක් ඇතුළතදී ගමන් කරනවා. ශ්‍රී ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගනිමින් සර්වජන ඡන්ද බලය ජනතාව විසින් තමන්ගේ අභිමතය ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු ඇති කිරීමට, ආණ්ඩුවල ගමන් මාර්ග තීරණය කිරීමට ගත්තා වූ ක්‍රියාදාමය අතර ලෝකයේ සර්වජන ඡන්ද බලයක් 91 වසරක් පාවිච්චි කළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ගරු සියලු මන්ත්‍රීතුමන්ලාගේ සහාය මේ ඉතාම වැදගත් අවස්ථාවේ 75 වෙනි නිදහස් සැමරු අවස්ථාවට පිවිසෙන අප යළිත් සිහිපත් කරන්න කැමතියි.

පසුගිය කාල පරිච්ඡේදය නියෝජ්‍ය කතානායකතුමනි, ඇතිවුණු අර්බුද හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන රජය ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් නීතිය පිරිහී යෑම අතින්, ඒ වාගේම රට ජාත්‍යන්තරව ඇති කළ යුතු විශ්වාසය හා ශක්තිමත් භාවය වෙනුවෙන් පියවර රාශියක් ගෙන ප්‍රගතියක් ඇති කර තිබෙන බව විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි.

විවේචනයන්ට ඉඩ දෙමින්, විවේචනයන්ද සලකා බලමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කොට තිබෙනවා. විශේෂයෙන් ආර්ථික අවුලක තිබුණු ජූලි මාසය වෙනස් කරගෙන අද එදිනෙදා මහජනතාවගේ අවශ්‍යතාවන් ඇති කරදීමට පුළුවන් තත්ත්වයක් ඇති කර තිබෙන අතර ඒ විශ්වාසය රට පුරාම පවතිනවා.

ජීවන වියදමේ ගැටලු ඇති. ජීවන වියදම වැඩිවීම පිළිබඳ බර ඇති. නමුත් රජය මේ අභියෝගයෙන් ගොඩඒම සඳහා සියලු දෙනාට එකමුතුවෙන් කාරණා හරහා ගමන් කරන්නටත්, විසඳුම් සෙවීමටත් අපි යළි කැප වෙනවා.

ඒ වගේම ගරු කතානායකතුමනි, ඒ කාල පරිච්ඡේදයේ වූ ප්‍රධාන ඉල්ලීමක් තමයි අපි පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇති කොට වෙනස් කොට අලුත් මඟක් ගත යුතු බව. ඒ වෙනුවෙන් රජය ඇති කළ කාරක සභා ක්‍රමය උපරිම ක්‍රියාකාරී බවට පත් කරන්න 2023 වසර පාර්ලිමේන්තුව කටයුතු කරයි කියන එක අපි මේ අවස්ථාවේදී යළිත් ප්‍රාර්ථනය කරනවා. කතානායකතුමා විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙන එම කාරක සභාවල්වල කටයුතු එලෙසම සක්‍රීයව කරගෙන යෑමට පාර්ලිමේන්තුවේ සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගය අපි මේ අවස්ථාවේදී අපේක්ෂා කරන බව සඳහන් කරන්නට කැමැතියි.

ඒ වගේම පසුගිය කාල පරිච්ඡේදයේ ඇති වුණු මහත් වූ ආණ්ඩුක්‍රම ආන්දෝලනය වූ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මතකොට එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති, ප්‍රතිපාදනයක් ඇති කිරීම සඳහා වූ ක්‍රියාවේදී 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඇති කළයුතු ක්‍රියාමාර්ග සාර්ථකව ඉදිරියට ගෙන යන්නට රජය කැප වී තිබෙන බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන් ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට එකඟතාවයෙන් හා කැපවීමෙන් එක්ව ක්‍රියා කරන ලෙස පාර්ලිමේන්තුවට මම යළිත් වරක් ආයාචනය කරන්න කැමැතියි.

අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ – ගෙවල් කුලී නීතිය වෙනස්කම්වලට භාජනය කිරීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා. ප්‍රේමදාස ජනපති සමයේ නිවාස උපරිම පනත අහෝසි කළා. දේපළ බදු හෝ කුලියට දීමේදී ඉඩම් හිමියා යම් එකඟතාවකට ලබා දෙනවා. මීට නීතියෙන් ගැටලු මතු වී තිබෙනවා.

දේපළ ගෙවල් කුලී පනතට අයත්. ඊට දීර්ඝ වැඩපිළිවෙළක් ඇති වී තියෙනවා. නඩු හබ රැසක් අද ඒ පිළිබඳ පවතිනවා. මේ ගැන දීර්ඝ අධ්‍යයනයක් අලි සබ්රි අධිකරණ ඇමැති සමයේ සිදුවූවා.

ගිවිසුමක් මත දුන් දේපළක් කාලය අවසන් වූ පසුව හෝ ගිවිසුම කඩකළ පසු නැවත දේපළ අදාළ හිමියාට හිමිවීම පහසුවීම පිණිස මේ පනත් කෙටුම්පත ගෙනවිත් තියෙනවා.

දේපළ නඩු සඳහා වසර හත අටක් කල්ගත වෙනවා. මිල මුදල් විශාල ලෙස වැය වෙනවා.

ගෙවල් කුලී පනත යටතේ පවතින නිවාස දියුණු කරගන්න කුලී හිමියාට අයිතියක් නෑ. ඒවගේම දේපළ හිමියාට දියුණුවක් කර ගන්නත් බැහැ. ඒ නිසා නගරවල විශාල ලෙස වටිනා ඉඩම් නාස්තිවෙලා. වසර 45ක් ගියත් මේ පනත තාම පවතිනවා. මේවා වෙනස් කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් නිසා පනත ගෙනාවා.

බදු ගිවිසුම අවසන් වීම හෝ ගිවිසුම කඩකිරීම මත නිවෙස් හිමියා හා කුලීකරුවා අතර පවතින නඩුව කඩිනමින් අවසන් කරන්න නීති ගෙනාවා. ලිඛිත
ගිවිසුම ඇති අයට පමණයි නීති අදාළ වන්නේ.

ගෙවල් කුලී පනත අහෝසි කිරීමට අවශ්‍ය නීති අපි ළඟදීම ගෙන එනවා. නීති කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ගේනවා. ගෙවල් හිමියාට ගෙවල්
ලබාගන්න අවස්ථාව තිබිය යුතුයි.

සමත මණ්ඩල ක්‍රමය අද සාර්ථකයි. එදා සියයට 10ක් වූ ඒ සාර්ථකත්වය සියයට 70 දක්වා වැඩි වුණා. ඒ අපි කාලීන නීති හඳුන්වාදීම නිසයි.

විපක්‍ෂයේ සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල – ආණ්ඩුව කියන දේ නොවෙයි කරන්නේ. අරගලයට කලින් හිතුවක්කාරී ලෙසයි ආණ්ඩුව කටයුතු කළේ. රාජ්‍ය සේවය ස්වාධීන කර තිබුණත් ඒවා සියල්ල විනාශ කළා. අධීක්‍ෂණ කාරක සභා අත්හිටෙව්වා.

20 සංශෝධනය ගෙනත් හිතුවක්කාරි ලෙස කටයුතු කළා.

මුළු රටම බංකොළොත් කළා. දැන් මොනවත් කරලා වැඩක් නෑ. අවුරුදු 75ටම කවුරුත් නොකළ ආකාරයට රට විනාශ කළා.

ආහාර සුරක්‍ෂිතතාව නැතිවීමේ ප්‍රතිඵල දැනෙන්නේ
තව පරම්පරා දෙක තුනකට පසුයි – හරිනි අමරසූරිය

පත්කළ මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) – අද බදු දීම කෙසේ වෙතත් එදා වේල හොයාගන්නවත් බැරි තත්ත්වයක් පවතින්නේ. අද ආහාර සුරක්‍ෂිතතාව හා මන්දපෝෂණය එක පිරිසකට පමණක් සීමා වී නෑ.

තෝරාගත් දරුවන් වෙනුවෙන් ආහාර දුන්නත් සමස්තය තේරුම් ගෙන සැලසුම් සහගත විශේෂ වැඩපිළිවෙළක් ඉක්මනින් අවශ්‍යයි. තෝරාගත් ප්‍රාථමික පාසල් මෙන්ම පොදුවේ ශිෂ්‍ය ප්‍රජාවටම අවශ්‍යයි. ඒවගේම විශ්වවිද්‍යාල දරුවන්ටත් පෝෂණය අවශ්‍යතා සපුරාලීම අවශ්‍යයි.

අද වනවිට විශ්වවිද්‍යාලවලට දරුවන් ඒම අඩුවෙලා. ඊට හේතුව විශ්වවිද්‍යාල තුළ දරුවන්ට කෑම ගැනීමේ අපහසුතා නිසයි. ආහාර සුරක්‍ෂිතතාව නැතිවීමේ ප්‍රතිඵළ අද හෙට නොවෙයි දැනෙන්නේ සමහර විට පරම්පරා දෙක තුනකට බලපානවා. මීට වඩා සැලසුම් සහගතව මේ අර්බුදයට මැදිහත් විය යුතුයි. ඒ සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) – මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් කන්දකාඩුවල පුනරුත්ථාපනය වෙනවා. එදා වසර එකහමාරක් පුනරුත්ථාපනය වූ අය දැන් මාස 6කට සීමාවෙලා. අද එන වැඩි පිරිස අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්. අයිස් ජාවාරම කරපු අය මේ තැනින් රිංගා ගිහින් කියලා ආරංචියි. මත් කුඩුවලට වඩා අයිස් මත්ද්‍රව්‍ය අඩු මුදලට ලබාගත හැකි නිසා ශීඝ්‍රයෙන් පැතිරෙන බව ඔවුන් කියනවා.

රටේ තියෙන මේ අර්බුදයට හේතුව දේශපාලනඥයන්. පුනරුත්ථාපන පනතක් ගෙනල්ලා දේශපාලකයන් පුනරුත්ථාපනය කළ යුතුයි. දේශපාලකයාගේ දැක්ම තියෙන්නේ ඡන්ද දිනීමට පමණයි. එය වෙනස් විය යුතුයි. රට දැන් ගරාවැටුණු වලව්වක් වගෙයි. මර්දනය නැවැත්විය යුතුයි. අරගලය යළි පනගැන්විය යුතුයි. අද හැමෝම අරගලය අනුමත කරනවා. ශක්තිමත් අරගලයක් ඇවිත් මේ දේශපාලනය වෙනස් විය යුතුයි.

රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල් – රටම දූෂිත නම් පාර්ලිමේන්තුවත් තමනුත් දූෂිතයි කියලා ෆොන්සේකා සිතාගත යුතුයි.

එදා 71 අරගලකරුවන්ව මරා දැම්මා. අද අරගලකරුවන්ව අත්අඩංගුවට ගැනීම පමණයි සිදුවන්නේ. දැන් අරගල අවශ්‍ය නෑ, දැන් අවශ්‍ය හැමෝම එකතුවී රට දියුණු කිරීමයි. සිස්ටම් එක වෙනස් කරන්න ක්‍රියාකළ යුතුයි. ගැඹුරින් සංවාද කර රට අලුත් තැනකට ගෙනයා යුතුයි.

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් – මේ වනවිට අධිකරණය නිවැරැදි කරන්න පනත් රැසක් ඉදිරිපත් කළා. රටේ ජීවත්වන හැම ජාතියක්ම එක වගේ මිනිස්සු. ඒත් හැමෝම බෙදිලා. දුප්පත් රටක් වුණේ අපේ බෙදීම නිසයි. රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්කයි සෙල්ලම් කරන්නේ.

මත්ද්‍රව්‍ය රටට ගේන්නේ කවුද? රටේ ආරක්‍ෂක අංශ ඉන්නවා ඔවුන් හරියට ක්‍රියාකළා නම් නිලධාරීන් හරියට ක්‍රියා කළානම් මත්ද්‍රව්‍ය රටට ගේන්න බෑ. බලය උදෙසා කරන අරගල නිසා ගම්වල ඉන්න මිනිස්සු අසරණ වෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ) – ව්‍යාපාරවලට දැඩි ගැටලුවලට මුහුණ දීමට සිදුවෙලා. ව්‍යාපාරවලට ගොඩනැගිලි බදු දීමෙන් නැවත ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. අනික් පැත්තෙන් බද්දට ගන්න ගොඩනැගිලිවලට බදු ගෙවා ගන්න ව්‍යාපාරිකයන්ට බැරිවෙලා. ඒ මේ වසර දෙකහමාර තුළ මේ ආර්ථික බංකොළොත්භාවයට හේතු හොයන්න කමිටුවක් අවශයයි. හරි තත්ත්වය රටට හෙළිකරන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත – පළාත් පාලන ඡන්දය වෙනම ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාදායකය ලෙස නීති හැදීම වෙනම ක්‍රියාත්මක වෙනවා. තරුණ නියෝජන ගැන අවධානය යොමු කළ යුතුයි. ඊළඟ මැතිවරණවලට තරුණ නියෝජන තිබිය යුතුයි. මේ මැතිවරණයට තරුණ නියෝජනය තිබුණා නම් හොඳයි.

පනත් කෙටුම්පත සම්මත විය.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා පෙරවරු 9.30 ට යළි රැස්වෙයි.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment