ගෙවල් වෙනුවට  සෙල්ලම් ගෙවල් හදමු

1386

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (07) සිට තවත් ඉහළ දමා ඇත. මේ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 3000 කි. ඩොලර් අර්බුදය රට වෙලා ගන්නට පෙර සිමෙන්ති මිල තිබුණේ රුපියල් 1500 ටත් වඩා අඩු මිලකටය. නුදුරු අතීතයේ දී මේ මිල රුපියල් 1000 කටත් වඩා අඩුවෙන් තිබුණා අපට හොඳටම මතකය. එසේ නම් කෙටි කලක් තුළ සිමෙන්ති මිල දෙගුණ, තෙගුණ වීමෙන් දැන් ඉතින් ඉදිකිරීම් කර්මාන්තයට සිදුවී ඇති බිඳවැටීම ගැන අපට කියන්නට ඇත්තේ කුමක්ද…? ඉදිකිරීම් හා ඉදිකිරීම් කර්මාන්තයක් ගැන හිතාගන්නටවත් බැරි තැනකට රට පැමිණ ඇත.

 ගෑස් මිල රුපියල් 6000 ඉක්මවා ඇති මෙවන් මොහොතක, පෙට්‍රල්, ඩීසල් මිල ලීටරය රුපියල් 500 කට ආසන්න වෙමින් පවතින මොහොතක, කිරිපිටි කිලෝව රුපියල් 1500 ඉක්මවා ඇති මොහොතක, හාල් මිල රුපියල් 230 පමණ දක්වාත්, පරිප්පු කිලෝව රුපියල් 600 දක්වාත්, කරවල, එළවළු යනාදියේ මිල ඉහළ යෑම කතා කරලාම වැඩක් නැති තැනකට පැමිණ ඇති මොහොතක සිමෙන්ති මිල ගැන පමණක් මේ මොහොතේ කතා කර වැඩක් තියේද යන්න ගැන සමහරුන් තුළ නොසතුටක් ඇතිවන්නට පුළුවන. නමුත්, රජය මගින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර ඇති, එනමුත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන සිමෙන්ති මිල මෙසේ ළඟ ළඟ ඉහළ යනවිට එක පැත්තකින් රටේ සංවර්ධනය කඩාවැටෙන අතර, ඒ සමගම ගමේ මේසන් බාස්ගේ, අත්උදව්කාරයාගේ සිට ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්, ස්ථිර වැටුප් නොලබන ඉන්ජිනේරුවාගේ සිට සියලු තරාතිරම්වල ක්ෂේත්‍රයේ රැකියා අහිමිවීම මගින් මහා විශාල ඛේදවාචකයක් රටට සිදුවෙමින් පවතී. ඒ ගැන අපට නොසලකා සිටිය නොහැකිය.

 සිමෙන්ති කොට්ටයක් හෝ සිමෙන්ති තාච්චි ගණනට මිලදී ගෙන ගෙදර දොරේ පොඩි පොඩි වැඩක් පලක් කරගන්නා අයට පවා මෙසේ මිල වැඩිවීම දරාගන්නට නොහැකිය. අප දන්නා තරමින් විදේශීය සමාගම් විසින් සිදුකරනු ලබන අධිවේගී මාර්ග තැනීම වැනි මහාපරිමාණ ව්‍යාපෘති හැරෙන්නට අනෙකුත් ලොකු කුඩා සියලුම ආකාරයේ ඉදිකිරීම් ව්‍යාපෘති මේ වන විට සිමෙන්ති මිල හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රශ්නය නිසා ඇනහිටින තත්ත්වයට පත්ව තිබේ. කොළඹ ආශ්‍රිතව කටයුතු කරන ඇතැම් මහාපරිමාණ දේශීය කොන්ත්‍රාත් සහ ගොඩනැගිලි උපදේශන සේවා සමාගම් සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යෑම ඇතුළු ආර්ථික අර්බුද නිසා තම මෙහෙයුම් කටයුතු හරි අඩකින් කපා දමා ඇති බව වාර්තා වන අතර, එම ආයතනවල සේවය කළ සේවකයන්ගේ වැටුප් කප්පාදුවකට කටයුතු කෙරෙමින් පවතින බවද කියනු ලැබේ.

 කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩ ලේඛනයෙන් ඉවත් කිරීම මෙසේ මිල ඉහළ යෑමට හේතුව බව නව වෙළෙඳ ඇමැතිවරයා (නලින් ප්‍රනාන්දු) කියන නමුත්, සැබැවින්ම සිමෙන්ති යනු අත්‍යවශ්‍ය භාණ්ඩයක් බව අපගේ පිළිගැනීමයි. මන්ද මේ මොහොත වනවිටත් අලුතින් ගෙයක් අටවාගන්නට පෙරුම් පුරමින් සිටි කී දාහක් මෙසේ සිමෙන්ති මිල ඉහළ යෑම නිසා අත්තිවාරම් තුළම දැන් තම නව නිවස පිළිබඳ සිහිනය වළ දමමින් සිටිනවා ඇත්ද…? යන්තම් අත්තිවාරමක් දමාගෙන නිවසේ කොටසක් අටවාගෙන සිටි කී දාහක් තම නව නිවසේ සිහිනය බිඳවැටීමෙන් සුසුම් හෙළනවා ඇත්ද…? ණය තුරුස් වී දුක් මහන්සියෙන් හදා ගත් නිවසේ අඩුපාඩු මකාගන්නට, නිවසේ, කුස්සියේ, වැසිකිළියේ පළුදු මකාදමා පිළිසකර කරගන්නට සිමෙන්ති කොට්ටයක් ගන්නට නොහැකිව අද ලතැවෙනවා ඇත්ද…? පෙර කී පරිදි, මේ සියලු කටයුතු ඇනහිටීම නිසා රැකියාව අහිමි වූ මේසන් බාස්වරු, අත් උදව්වක් දී එදිනෙදා දිවිය ගැටගසා

 ගත් සිය දහස් ගණනක ශ්‍රම හමුදාව රැකියා වියුක්තිය හේතුවෙන් මහමගට වැටෙමින් සිටිති. ඒ නිසා වෙළෙඳ ඇමැතිවරයා කියන අත්‍යවශ්‍ය නොවන ලේඛනයේ ඇති සිමෙන්ති, මිල ඉහළ යෑම නිසා ඒ ආශ්‍රිත කර්මාන්තය ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතින බව ආණ්ඩුව පිළිගත යුතුව ඇත. මේ තත්ත්වය දැවැන්ත සමාජ බිඳවැටීමේ ආරම්භයකි. ඒ නිසා සිමෙන්ති (මෙන්ම ගෑස් හා කිරිපිටි ද) අත්‍යවශ්‍ය භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර වහාම මිල පාලනයක් අවශ්‍ය වන අතර, සිමෙන්ති දේශීයව නිෂ්පාදනය සඳහා වැඩි ඉඩ ප්‍රස්තාවක් දීම අවශ්‍ය වේ.

 මේ මොහොතේ ආහාර ප්‍රශ්නය, ඉන්ධන අර්බුදය, ඖෂධ සඳහා මුදල් සොයාගැනීම වැනි ප්‍රමුඛතාව දිය යුතු නහුතයක් ප්‍රශ්න තිබෙන බව සැබෑවක් නමුත්, ඉදිකිරීම් කර්මාන්තය සඳහා බහුලව භාවිත කරන සහ අවශ්‍යම අමුද්‍රව්‍ය වන සිමෙන්ති සපයා ගැනීමේ අර්බුදය රටට ඉතා නරක අයුරින් බලපානු ඇති බව මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

 මේ සඳහා ඇති විකල්පය නම් සිමෙන්ති මිල අඩුවන තෙක් සියලු ආකාරයේ ඉදිකිරීම නවතා දැමිය යුතු බව ඉදිකරන්නන්ගේ සංවිධාන පවසන නමුත්, මේ මිල ඉහළයෑම ඔස්සේ රැකියා අහිමි වන අයගේ දරු-පවුල් කන්නට නැති දුක දරාගන්නේ කෙසේද යන්නවත් මේ මොහොතේ අවධානයට බඳුන් විය යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment