ගෙවීයන 2022 රනිල් වික්‍රමසිංහගේ වසරයි!

186

දෙදහස් විසිදෙක එජාප නායක රනිල් වික්‍රමසිංහගේ වසරයි. ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේදී ලබා ගත් ජන්ද මිලියන 6.9 ක ශූන්‍ය වූ ජනවරම වැඩබලන ජනාධිපති නීතිඥ වික්‍රමසිංහ තහවුරු කර ගත්තේ ජුලි මාසයේ 20 මැති-ඇමති ජන්ද 134 කිනි. එය කිසිසේත්ම නව ජනවරමක් නොවේ.

වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත්වූයේ ජුලි 13 දිනය. ඒ ගෝඨාභය රාජපක්ෂ තම ජනාධිපති ධුරයෙන් විදේශ රටකදී ඉවත් වීමෙන් පසුවය. 2021 ජුනි 21 වන දින ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නැවත පත්වූ වික්‍රමසිංහ, මැයි 12, 2022 අග්‍රාමාත්‍ය, මැයි 25 මුදල් අමාත්‍ය, ජුලි 13 වැඩබලන ජනාධිපති සහ ජුලි 20 අටවන විධායක ජනාධිපතිවරයා ලෙසත් පත්වීම අවධාරණය කරන්නේ එජාප නායකයා 2022 වසර තමන්ගේ කරගත් ආකාරයයි.

සමස්ත විනාශයට වගකිව යුතු පාර්ලිමේන්තුව පළමු වරට ජන්දයකින් ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගනු ලැබුවේ අතිශය අර්බුදකාරී ආර්ථික-දේශපාලනික-සමාජීය ව්‍යසනයක් මධ්‍යයේය.

වසර 1977 සිට පාර්ලිමේන්තුව නොකඩවා 2020 අගෝස්තු දක්වා නියෝජනය කළ අග්‍රාමාත්‍ය ධුරයද දැරූ වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අසාර්ථක භාවය (පාර්ලිමේන්තු ක්‍රමයේ පිරිහීම) සම්බන්ධයෙන් නැගෙන චෝදනාවට ලක්වීම වැළැක්විය නොහැක. සාමුහික වගකීම කැබිනට් මණ්ඩලයට පමණක් නොවන බව අවධාරණය කළ යුතුය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) අපේක්ෂක වික්‍රමසිංහ ලබාගත් ජන්ද 134 ට ඔහුගේ ජන්දයද ඇතුළත්ය. එය එජාපයට හිමි එකම ජන්දයයි. එයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි. (ඊට පෙර පාර්ලිමේන්තුවේ එජාප ලාංජනයෙන් පත්වූ මන්ත්‍රීවරු 106 සිටිය බව එම පක්ෂයටත් අමතකය. මන්ත්‍රීවරු 106 නියෝජනය කළ පක්ෂයක්, එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට සීමාවීම වෙනමම විමසා බැලිය යුතුය.)

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ මෙහෙයුම ව්‍යවස්ථානුකුලය. නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කළ ආකාරය කිසිසේත් ව්‍යවස්ථානුකූල නොවේ. විශේෂයෙන්ම එම තත්ත්වය තුළ මැති සබය හරහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ සුජාත භාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ තේරුමක් නැත. ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට පාර්ලිමේන්තුවේදී පැවැත්වූ රහස්‍ය ජන්දයේදී වික්‍රමසිංහගේ ප්‍රතිවාදියා වූ ඩලස් අලහප්පෙරුමට තම ජන්දය පාවිච්චි කර පවතින ක්‍රමවේදය අභියෝගයට ලක් කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම විහිළුවකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂය අලහප්පෙරුමට ජන්දය දීමට තීරණය කළ බව වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කිරීම සමස්ත දේශපාලන ක්‍රමයේ රැවටිලි ස්වභාවය අවධාරණය කර ඇත. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාවත් අලහප්පෙරුමට ජන්දය නොදුන් බවට සැකයක් නැත. අලහප්පෙරුමට පක්ෂව ජන්ද 82 කි. අරගලයට සක්‍රිය දායකත්වයක් දුන් ජාතික ජන බලවේගය අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට පක්ෂව ජන්ද 03 ප්‍රකාශ විය. ඒම ජන්ද තුනෙන් එකක් ඔහුගේය.

එජාප නායකයා ගෝඨාභය රාජපක්ෂ ලබා ගත් වසර පහ සම්පූර්ණ කරනු ඇත. දෙදෙනාම පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිවරුය, නමුත් විශේෂත්වය ඔවුන් එම පක්ෂයේ සාමාජිකයන් නොවීමය. වික්‍රමසිංහ පොහොට්ටු සාමාජිකත්වය නොගැනීම පුදුමයට කාරණයක් නොවේ. ඔහුට එසේ කළ නොහැකිය. නමුත් ගෝඨාභය රාජපක්ෂ කිසිදා එම පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ නැත.

කෙසේවෙතත් 2019 ජනාධිපතිවරණයට තරග නොකළ වික්‍රමසිංහ විධායක ජනාධිපති වී ඇත. දෙදහස් විසිදෙක වසර තමන්ගේ කර ගෙන ඇත. අභියෝගාත්මක ලබන වසර තම අණසකට නතුකරගැනීමේ ක්‍රියාවලියක ජනාධිපතිවරයා නියැළී සිටී. විධායක බලතල දරමින් ආරක්ෂක සහ මුදල් අමාත්‍යවරයා ලෙස ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමද වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති බලය ස්ථාවර කර ගැනීමේ මෙහෙයුමේම කොටසකි. අනෙකුත් පක්ෂ දමනය කර ගැනීමේ උපාය මාර්ගයකි. එජාප නායකයාට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ධුර පිරිනැමුවේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව නොසලකා වර්තමාන දේශපාලන තත්ත්වය විග්‍රහ කළ නොහැක.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාසට එජාප නායකයට පෙර අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම සහ නොයෙකුත් කොන්දේසි පනවමින් විපක්ෂ නායකයා එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම සමස්ත දේශපාලන චිත්‍රය උඩු යටිකුරු කළ බව අවධාරණය කළ යුතුය. අරගලකරුවන් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර වෙනසක් නොදුටු බව රහසක් නොවේ. ඔවුන් සමගි ජන බලවේගය සහ එජාපය අතර වෙනසක් දුටුවේ නැත. එජාප නායකයා මෙම තත්ත්වය හොඳින් දනී. අටවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් වහාම අරගලය මර්දනය කළේ ඒ නිසාය.

පොහොට්ටු සාමාජිකයන් මැයි 09 දින අරලියගහ මන්දිරය ඉදිරිපස සහ ගාලු මුවදොර සිටි අරගලකරුවන්ට එලව එලවා පහර දීමෙන් පසුව එහි ගිය සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල වූ ප්‍රහාරය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට අරගලය කළ අනතුරු ඇඟවීමකි. එය අනිවාර්යෙන්ම එජාප නායකයාටත් අදාළය.

නමුත් මෙම වසර අරගලකරුවන්ගේ වසර ලෙස හැඳින්විය යුතු බව අවධාරණය කරන පිරිසක්ද සිටිති.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අරගලය ක්‍රියාත්මක කළේ වික්‍රමසිංහ ජනාධිපති කිරීමට නොවන බව තේරුම් ගැනීම අපහසු නැත. අරගලයට අවශ්‍ය වූයේ එජාප නායකයා නම්, වික්‍රමසිංහ 8 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේදීම ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදා ගැනීමේ අවශ්‍යතාවක් නව ජනාධිපතිවරයාට නැත.

නමුත් අරගලය මෙහෙයවූ පිරිස එජාප නායකයාව අවතක්සේරු කළ බව ඉතාමත් පැහැදිලිය. එතුමාගේ කොල්ලුපිටියේ නිවාසය ගිනි තබා විනාශ කිරීම සැලසුම් සහගත ක්‍රියාවක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

වේගයෙන් වර්ධනය වෙමින් තිබූ ව්‍යාකූල භාවය මැඬපැවැත්වීමට නව ජනාධිපතිවරයා කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක විය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස හමුදාව සමග ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක විය. එසේ නොවන්නට මෙම වසර අරගලකරුවන්ට හිමි වීමට තිබිණි.

ආරක්ෂක හමුදා අරගලයට එරෙහිව යෙදවීම සම්බන්ධයෙන් ජූලි චන්ග් ඇමෙරිකානු තානාපතිවරිය කළ විරෝධතාව ජනාධිපතිවරයා නොසලකා හැරියේය. තම රජයේ අවසරය නොගෙන ක්‍රියාත්මක කරන කිසිදු විරෝධතාවකට අවස්ථාව නොදෙන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අවධාරණය කර ඇත.

එජාපය අරගලය තුළ යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක විය. එජාප පාක්ෂිකයන් අරගලයට දායක විය. හිටපු එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ අරගලයට මුල සිටම සම්බන්ධ විය. එජාප නායකයා බලයට පත්වීමත් සමගම මහාචාර්යවරයා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු භාර නිලධාරියා ලෙස පත්කිරීම විමසා බැලිය යුත්තේ එම පසුබිමේය.

අරගලයේ තීන්දු තීරණ ගැනීමේ බලයක් එජාපයට තිබුණේ නැත. මැති සබය සම්බන්ධයෙන්ද එජාපයේ තත්ත්වය සෝචනීය ය. ඇත්ත වශයෙන්ම ජවිපෙ ඇතුළු මැති සබය නියෝජනය කරන කිසිදු පක්ෂයකට පිරිසිදු බලයක් අරගල භූමියේ නොතිබිණි. නමුත් එජාපයට තිබූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය, විධායක ජනාධිපති ධුරයට හරවා ගැනීම වශයෙන්ම ප්‍රාතිහාර්යකි. අරගලයට නායකත්වය දුන් ජවිපෙන් කැඩීගිය පෙරටුගාමී පක්ෂය එම තත්ත්වය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත.

විපක්ෂයේ යම් කොටස් කථානායක මහින්ද යාපා අබේවර්ධන වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කළ යෝජනාව පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ සමස්ත චිත්‍රයට අවධානය යොමු කරමිනි.

අරගලයට නැවතත් පණ පෙවීමට ජවිපෙ ඇතුළු කණ්ඩායම් කළ උත්සාහයන් සාර්ථක වූයේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වික්‍රමසිංහ – රාජපක්ෂ රජය බලාපොරොත්තුවන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ලබන වසරේ පළමුවන කාර්තුවේ නොලැබුණහොත් තත්ත්වය නැවතත් කණපිට පෙරළිය හැක. ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති වීම තුළ නැවතත් ජනතා නැගිටීමක් විය හැක. එය ගෝඨාභය රාජපක්ෂ මුහුණ දුන් අභියෝගයට වඩා දරුණු විය හැක.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තම වගකීම් නිසිලෙස ඉටු නොකරනතාක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙන්නේ නැත. එම තත්ත්වය රට කරවන එම ‘ආයතන’ තුනටම ප්‍රත්‍යක්ෂ විය යුතුය. වර්තමාන ජනාධිපතිවරයා විධායකය, ව්‍යවස්ථාදායකය සහ නීතිඥ ප්‍රජාව නියෝජනය කරයි. බංකොලොත් රට නැවතත් නිවැරදි මාර්ගයට ගැනීමේ වගකීම ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ මත පමණක් රඳා පවතින්නේ නැත. ඊට හේතුව ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම් ශ්‍රී ලංකාව තුළ පමණක් නොමැති නිසාය. ප්‍රශ්නය මෙන්ම පිළිතුරුද විදේශ බලවේගවල උපාය මාර්ග තුළ ‘සිරවී’ ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment