‘ගේබ්‍රි‍යල්’ සුළි කුණාටුවෙන් නවසීලන්තයේ පහක් මරුට

204

ඉකුත් ඉරිදා දිනයේ නවසීලන්තයට කඩා වැදුණු ‘ගේබ්‍රියල්’ සුළි කුණාටුවේ ප්‍රතිපලයක් වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති අතර තවත් දහස් ගණනක් මහා මාර්ග කඩා වැටීම හා දරුණු ජල ගැලීම් හේතුවෙන් අවතැන්ව සිටින බව නවසීලන්ත රජය විසින් ඊයේ (16දා) නිවේදනය කර තිබේ. මෙම සුළි කුණාටුව කඩා වැදුණු නවසීලන්තයට අයත් උතුරු දූපතේ එරට මිලියන පහක් පමණ වන ජනගහනයෙන් හතරෙන් තුනක් පමණ වාසය කරන අතර කුණාටුව කෙතරම් දරුණුද යත් ජලගැලීම් හටගත් ප්‍රදේශවල බොහෝ දෙනෙකුට සිය ජීවිත බේරා ගැනීම සඳහා ජලයේ පිහිනා යෑමට සිදුව තිබිණි.

කුණාටුවත් සමගම හටගත් ජලගැලීම් හේතුවෙන් ඕක්ලන්ඩ් ඇතුළු බොහෝ ප්‍රදේශවල නිවාස වහලය දක්වාම ජලයෙන් යට වී තිබීම නිසා නිවැසියන්ට වහලය මතට වී පැය ගණනක් කොටු වී සිටීමට සිදුව තිබිණි. කෙසේ වුවද මෙසේ වහලවල් මත කොටු වී සිටි සියලු දෙනා මුදා ගෙන ඇති බව නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් පවසා තිබේ. කුණාටුව කඩා වැදුණු ප්‍රදේශවල සිදු වූ නායයාම් හේතුවෙන් එම ප්‍රදේශවල සිටි 1400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබේ. කුණාටුව පෙරේදා (15දා) දිනයේ නවසීලන්තයෙන් ඉවත්ව ගියද ඉන් හටගත් බලපෑම අඩු වී නොමැති නිසා ව්‍යසනයට මුහුණ පෑ ප්‍රදේශවල ජනතාවගෙන් නැවත දැනුම් දෙන තුරු සිය නිවෙස්වලට යෑමෙන් වළකින ලෙස බලධාරීන් විසින් ඉල්ලීම් කර තිබේ. ගේබි්‍රයල් සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තවමත් නිශ්චිතව ගණනය කර නොමැති අතර කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් වීම සඳහා සති

ගණනක් ගත වනු ඇතැයි නවසීලන්ත රජය පවසයි. සහන කණ්ඩායම් විසින් විපතට පත් වූවන් සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර පවතින වැසි හා ජලගැලීම් හේතුවෙන් එම කටයුතුවලට බාධා පැමිණ තිබේ. ව්‍යසනයෙන් පීඩාවට පත් ප්‍රදේශවල වෙසෙන එක් ලක්ෂ හතලිස් දහසකගේ නිවෙස්වල විදුලිය ඊයේ (16දා ) වන විටද ඇනහිට තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment